
බලු වැඩ කරන්න එපා අයිසේ සල්ලි දෙන්නේ ලෙඩා බලාගන්නනේ... එතන තියන හැම දෙයක්ම හොරකම් කරන් යනවා ඒ මදිවට එක තැනක ඉන්නේ නැතුව තවත් කොන්ත්‍රාත් බාර අරගෙන කරන්න යනවා.
කවුද හලෝ හොරකම්කරේ නිකම් හොරා හොරා කියන්න ලෑස්ති වෙන්න එපා හරිද අපිටත් ආත්ම ගරැත්වයක් තියෙනවනෙ.
අනේ මේ ඔහේලගේ තියෙන ආත්ම ගරුත්වේ මම කම්පැණියට කතා කරන්නම්කෝ.
මහත්තයා මේ කම්පැණියට බැරි නම් ඕන මඟුලකට කතා කරන එකයි ඇත්තේ... මහලොකුවට කයිවාරු ගහනවා. ඒ වුණාට තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉන්න බෑ. මහලොකු මහත්තුරු, මහත්තුරු නෙවෙයි තමුසෙලා මහත් හොරු.
විනාඩි ගණනක් පුරාවට ප්‍රසිද්ධ රෝහලක සිදුවූ මෙම සිදුවීම දෙස බොහෝ දෙනකු බලා සිටියේ ඇස්පිල්ලම් පවා ගැසීම මොහොතකට අමතක කරමිනි.
මොකක්ද මහත්තයෝ ප්‍රශ්නේයැයි මෙම සිදුවීමට මූලික වූ තැනැත්තාගෙන් ලියුම්කරු විමසා සිටියේය.
නෑ... මල්ලී අපේ තාත්තා ඉස්පිරිතාලේ නවත්තලා දැන් සතියක් විතර වෙනවා. අපි කාටත් ළඟ නවතින්න බැරි නිසා මේ ඉස්පිරිතාලේ ළඟ තියන උපස්ථායක කම්පැණි එකකට කතා කරලා කෙනෙක් ගත්තා.
ඉතිං?
ඒ කම්පැණියෙන් එවපු එකාට තමයි මම කෑ ගැහුවේ.
ඇයි ඉතින් කෑ ගැහුවේ?
ඌ මහ හොරෙක් මල්ලි. තාත්තා බලන්න ආපු කට්ටිය ගෙනාව බිස්කට් පිටි ඔක්කොම විකුණලා තාත්තා නිදා ගන්නකම් ඉඳලා. ඒ විතරක්නම් මදැයි? මේ පෝරිසාදයා තාත්තා බලාගන්න ගමන් තව වාට්ටුවක ලෙඩෙක් බලාගන්නත් බාර අරගෙන. මම කම්පැණියට කථාකරලා විස්තරේ කියනවා. නිකම් නෙවෙයිනේ මල්ලි දවසට 2000ක් දීලනේ අපි තාත්තා බලාගන්න තිබ්බේ. අඩුගාණේ බෙහෙත් ටිකවත් දෙන්න ඉන්න එපැයි මල්ලි...
ලියුම්කරැ සමඟ තවත් තොරතුරු ගොන්නක් පැවසූ ඔහු පෞද්ගලික උපස්ථායකයාට සහ එම ආයතනයටත් දෙස් දෙවොල් තබමින් එම ස්ථානයෙන් පිටව ගියේය.
මිනිසුන් මුලාකාර සල්ලි ගනිමින් සිදුකරනා ඇතැම් පෞද්ගලික උපස්ථායක සේවයන් ගැන සොයා බැලීමට ලියුම්කරැට සිත්විය.
පෞද්ගලික උපස්ථායක මධ්‍යස්ථානයක සේවය කරන සහායකයකු එම ස්ථානවල කෙරෙනා කාරිය පිළිබඳ තොරතුරැ කීමට කැමැත්ත පළකළද සිය අනන්‍යතාවය හෙළි කිරීමට ඔහු මැලිවිය.
“මම මෙතන වැඩට ඇවිල්ලා දැන් අවුරුදු දෙක තුනක් වෙනවා. මීට කලිනුත් මම තැනක (පෞද්ගලික උපස්ථායක මධ්‍යස්ථානයක නම සඳහන් කරමින්) වැඩ කළා එතන අපිට ගෙවන ගාණ අඩුයි. ඒකයි මෙතන වැඩට ආවේ. මෙතන ගෙවනවා හොඳයි.
කොහොමද ඔයගොල්ලන්ගේ චාර්ජස් එහෙම?
මෙහෙමයි අපේ කම්පැණි එකෙන් නම් දවසකට රුපියල් 1700ක් ගන්නවා. කෑම දීලා නම් 1400යි ගන්නේ හැබැයි ඒ පිරිමි කෙනෙක්ට
ඒ කියන්නේ ගෑනූ අයට වෙනම චාර්ජස් තියනවද? කොහොමද ගණන් එහෙම?
ගෑනු අයට දවසට 1400යි කන්න නොදී නම් 1200යි ඒවට යවන්න ගෑනු කට්ටිය ඉන්නවා ඕන තරම්. තව තව ඒවගේ එක එක ගණන් ගන්නවා පැකේජ් එක රුපියල් 3000 වෙන ඒවා පවා තියනවා.
ඔහු පැවසූ ආකාරයට කල දුටු කල වල ඉහගන්නාක් මෙන් ඇතැම් උපස්ථායක සේවා මධ්‍යස්ථානවලින් අය කරන්නේ ගිනි ගණන්ය.
මේකම විතරක් නෙවෙයිනේ මල්ලී මේක ඇතුළේ ඉඳලා ගාණ කපන විදි කොච්චර තියෙනවද?
ඒ මොනවද ඒ?
ඇයි ඔය ලෙඩ්ඩුන්ගේ බෙහෙත් ගේන්න දෙන ඒවා එතකොට ඔය ඊසීජී, ලේ රිපෝට් චෙක් කරන ඒවා එහෙම කරගෙන එන්න තියෙන්නේ අපිටනේ. ඒවගෙනුත් පොඩි ගාණක් එහෙම තියාගන්න පුළුවන්නේ ලොක්කා.
එතකොට මේ ලෙඩ්ඩු දෙන්නෙක් බලාගන්නවා කියලා මොකක්ද කියන්නේ?
ඒක මෙහෙමනේ දැන් එක ඉස්පිරිතාලෙක වාට්ටු දෙකක ලෙඩ්ඩු බලාගන්න දාන්නේ නෑ. කොහොමත් අපි කරන්නේ එක ලෙඩෙක් බලා ගන්න ගමන් ඉස්පිරිතාලේ ඇතුළේ පොඩි විසිට් එකක් දාලා බලන එකයි මොකද වෙන්නේ කියලා.
ඒ වෙලාවට ඉතින් ඔය දුර පළාත්වලින් ආපු ලෙඩ්ඩු ළඟ එහෙම නතර වෙන්න කට්ටිය නැතුව දගලන කොට අපිට ඉතින් තේරෙනවනේ මල්ලි ඒ වෙලාවට ඉතින් අපි ඒ අය ළඟට කිට්ටු වෙලා බටර් පාරක් එහෙම දාලා ලයින් එකක් ගහගන්නවා ඒ ලෙඩා බලන්න. හැබැයි එක වාට්ටුවේ දෙන්නෙක් එහෙම බලන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ අහුවෙනවා.
අනික අපි කොයි වෙලෙත් විසිට් එකේ ඉන්නේ කම්පැණියෙන් අපිට බලාගන්න කියපු ලෙඩා ගැන. අපි ඇතුළෙදි බලාගන්න ලෙඩා ගැන ලොකුවට ළඟ ඉන්නේ නැහැ පොඩියට ඇහැ දාලා බලනවා. අපි බාරගත්ත ලෙඩාගෙන් අපි ගන්නේ බලාගන්නවට රුපියල් 800ක් 1000ක් ඔය වගේ ගාණක් ඊට අමතරව මෑන් කොයි වගේද කියලා බලලා මෑන් බලන්න එන අය ගේන පිටි බිස්කට් වගේ දේවල්වලට හිමීට ගේම දෙනවා. හැබැයි හොරෙන් නෙවෙයි. අපේ දුක තමයි ඉතින් මාර්කට් කරන්නේ ඒ වෙලාවට. කියනවා ඉතින් ගෙදර ආයේ දුක මෑන්ට ඇඳෙන් බැහැලා ඇවිත් අපිට සලකන්න තරම් වෙන විදියට. එහෙම වුණාම හිත උණු වෙලා අර ගේන බඩුවලින් පිටි පෙට්ටියක් බිස්කට් එකක් දෙනවා. ඒක හම්බුණ ගමන් කඩේකට දීලා සල්ලි කරනවා සින් ගාණ කොට.
වර්තමානයේ සියල්ල විකිණෙන්නේ මුදලටය. ඇතැම් උපස්ථායක මධ්‍යස්ථානවල එකම පවුලේ මව, පියා, පුතා, දුව යන මුළු පවුලම සේවය කරති. කෙටියෙන්ම පැහැදිලි කරහොත් මොවුන්ට අවශ්‍ය වන්නේ කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීමක් පමණි.
පෞද්ගලික රෝහල් අසල මෙන්ම රජයේ රෝහල් අසලද බොහෝ පෞද්ගලික උපස්ථායක මධ්‍යස්ථාන අද වනවිට අඩියෙන් අඩිය ඇත. මෙය අද වනවිට මහා ජාවාරමක් බවට පත්වී ඇත. මෙය නතර කීරීමට නොහැකි වුවත් රෝහල් පාලනය කරන වග කිව යුත්තෝ රෝහල් තුළ සිදුවන ජාවාරම් මැඩ පැවැත්වීමට ක්‍රියාකළ යුතුය.
හසිත් අංජන