
“කියන්නත් ලැජ්ජයි... එහෙම කියලා නොකියා ඉන්නත් බෑ... මට අතවරයක් වුණා මහත්තයෝ... දුවයි මමයි ගෙදර ඉද්දි කව්දෝ සල්ලාලයෝ දෙන්නෙක් ගෙදරට කඩා වැදිලා දුව කාමරයක හිරකරලා මට අතවර කළා....”
මීගමුව මූලස්ථාන පොලීසියට පැමිණි මැදිවියේ කාන්තාවක තමන් මුහුණ පෑ ඇබැද්දිය පිළිබඳව ඇඬූ කඳුළින් මෙසේ කියමින් පැමිණිල්ලක් සටහන් තැබුවාය. කරුණු අවබෝධ කරගත් ස්ථානාධිපතිවරයා සිද්ධිය පිළිබඳව විමර්ශනයට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත යොමු කළේය.
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබුණේ බලහත්කාරයෙන් නිවසට ඇතුළු වූ පුද්ගලයෝ දෙදෙනෙක් තමාට අතවර කිරීමට අමතරව නිවසේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ ද සොරාගෙන ගොස් ඇති බවකි. පැමිණිල්ල විමර්ශනයට ලක්කළ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා පැමිණිලිකාරියගේ කටඋත්තරය මත තොරතුරු විමසීමට ලක්කළේය.
අතවරයට පත්වූ කාන්තාව සිය දියණිය සමග මීගමුව නගරයට ආසන්න ප්‍රදේශයක පදිංචිව සිටියාය. ඇගේ ස්වාමියා විදෙස්ගතව සේවය කරමින් සිට ඇති අතර මොවුන් දෙන්නා පිටස්තර පුද්ගල ආශ්‍රයකින් තොරව නිදහසේ කාලය ගත කළ පවුලක් විය. පවුලේ එකම දියණිය 17 හැවිරිදි යෞවනියකි. ඇය මීගමුව ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබුවාය. දියණියට අවශ්‍ය කරන සම්පත් සියල්ල ලබාදෙමින් ඇයව සතුටින් තබන්නට හැකි සෑම පියවරක්ම මව්පියන් විසින් ගෙන තිබුණි. ඒ අතර ඇය වෙත නවීන ජංගම දුරකතනයක් හා පරිගණකයක්ද තෑගි කරන්නට කටයුතු කර තිබිණ. පාසල් අධ්‍යාපනය අතරතුර ඇය පරිගණකය මෙන්ම ජංගම දුරකථනය ද හරි හරියට භාවිතා කළාය. ඒ අතර අන්තර්ජාලයේ මුහුණු පොත රිසිසේ පරිහරණය කළාය.
මුහුණු පොතේ ප්‍රධාන හඳුනාගැනීමේ ඡායාරූපය සඳහා රූමත් ඡායාරූපයක් ඇතුළත් කර තිබූ දියණියගේ ෆේස්බුක් ගිණුමට කඩවසම් තරුණයකුගේ රුව සහිත අයෙක් මිතුරු ඉල්ලීමක් යොමුකර තිබුණි. දෙවතාවක් නොසිතූ දියණිය ඔහු සිය මිතුරු ලැයිස්තුවට එක්කරගෙන තිබුණේ වැඩි ඇල්මක් හෝ තැකීමක් නැතිවය.
මේ ආකාරයට දින කිහිපයකට පසුව මුහුණු පොතේ සාකච්ඡාවට ආ තරුණයා තරුණ දියණිය හා අදහස් හුවමාරු කර ගත්තේය. මේ හිතවත්කම නොබෝ දිනකින් දෙදෙනා පෙම්වතුන් වන තරමට වැඩී තිබිණ. තමාටත් හොරා සිය හිත තරුණයා කෙරේ බැඳී තිබූ බැවින් ඇය නිරතුරුවම ෆේස්බුක් නැතිනම් මුහුණු පොත සමඟ ගනුදෙනු කළාය.
තවත් දින කිහිපයක් ගත වෙද්දී තරුණියටත් තරුණයාටත් දෙදෙනා හමුවීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබුණි. ඒ අනුව දිනෙක පාසල් ඇරී නිවෙසට එන අතරමගදී ඇය හමුවීමට තරුණයා පැමිණියේය. එහෙත් මුහුණු පොතේ දිස්වන ප්‍රධාන හඳුනාගැනීමේ ඡායාරූපයට සමාන රුවක් ඔහුගෙන් දිස්වූයේ නැත. තරුණයාට තමා රැවටී ඇතැයි සිතාගත් දියණිය ඔහු මගහැර ගියාය. එහෙත් අමතර පන්තියට හෝ පාසලට යන එන අතරමඟ රැඳී සිටි පෙර කී තරුණයා ඇය සමඟ බලෙන් කතාවට වැටෙන්නට උත්සාහ දැරීය. ඔහුගෙන් සිදුවන කරදරය නිසා තරුණිය ඔහු මගහැර යාමට සිතා සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු ඉවත්කර දැමුවාය.
ඉන් කෝපයට පත්ව සිටි තරුණයා සිය පෙම්වතියට දුරකථනයෙන් අමතා කීවේ “ඔයා මාව බ්ලොක් කළාට කමක් නෑ.... ඔයාගේ හොඳ ෆොටෝ එකක් මගේ ළඟ තියෙනවා. ඔයා මැසේජ් කළ ෆොටෝ එක මතකයිනේ. මම ඒක ෆේස්බුක් එකට දානවා. එහෙම නොකරන්න නම් මට සල්ලි ඕනෑ....”
බියට පත් තරුණ දියණිය ප්‍රකාශ කර තිබුණේ තමා ළඟ මුදල් නොමැති බවත් එවැන්නක් සිදුනොකරන ලෙසත්ය. එහිදී තරුණයා පවසා තිබුණේ “ඔයාට සල්ලි නැතිනම් අම්මා ළඟ ඇතිනේ.... රත්තරන් බඩු උගස් කරලා හරි මට සල්ලි ඕනෑ...” යනුවෙනි.
එහිදී තරුණිය කියා ඇත්තේ ගෙදර රත්තරන් බඩු ඇති බවත් ඒවා අම්මාට හොරෙන් ලබාදිය හැකි බවත්ය. එහිදී තරුණයා පවසා තිබුණේ බඩු ලබාගැනීම සඳහා තමන්ගේ මිතුරන් දෙදෙනෙක් එවන බවත් ඔවුන්ට භාණ්ඩ ලබාදී පිටත් කරන ලෙසත්ය.
යොදාගත් දිනයට නිවසට පැමිණි දෙදෙනෙකි. යතුරුපැදියකින් පැමිණි ඔවුහු නිවසට ඇතුළු වූ වහාම තරුණ දියණිය කාමරයකට දමා ඉබියතුරු දමා හිර කළහ. ඒත් සමඟම ඇයගේ මව තවත් කාමරයකට දමා ඇයට බරපතළ ලිංගික අතවරයක් සිදුකළහ. ඒ අතර අයෙක් සිදුවීම ජංගම දුරකතනයකින් පටිගත කරගෙන ඇති අතර අතවරය අවසානයේ උල්පිහියක් පෙන්වා තර්ජනය කර අල්මාරියේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ කීපයක් රැගෙන දෙදෙනා පලාගොස් තිබුණි.
සිද්ධියෙන් භීතියට පත්ව සිටි මව හා දියණියට කළහැක්කක් නොවීය. පැමිණි පාපතරයන් කවුරුන්දැයි මවට නිච්චියක් නොවීය. බිය නිසා දන්නා යමක් පැවසීමට දියණිය ඉදිරිපත් වූයේ ද නැත. විසඳුමක් නොවූ තැන පොලීසියට පැමිණිලි කිරීමේදී විමර්ශනය අරඹා තිබුණ ද දියණියගෙන් යමක් අසා ගැනීමට ලැබුණේ නැත. පසුව පොලීසිය දුරකතන විශ්ලේෂණ වාර්තාවක් මගින් කරුණු අනාවරණය කරගෙන සැකකාර තරුණයාව අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසුව ඔහු හෙළිකළ තොරතුරුවලට අනුව දියණිය කටඋත්තරයක් ලබාදුන්නාය. ඇය සිද්ධියේ මුල අග මැද සියල්ල හෙළිකළේ ඉන්පසුවය.
මෙහිදී අනාවරණය වූයේ සල්ලාල පෙම්වතා මත්කුඩු පානයට ඇබ්බැහි වූ අයකු බවත් ඔහු 26 හැවිරිදි තරුණයකු බවත්ය.
මවට අතවර කර ඇත්තේ ඔහුගේ හිතවතුන් දෙදෙනෙකි. ඉන් අයෙක් 29 හැවිරිදි විවාහකයෙකි. සැකකාර පෙම්වතාගේ තොරතුරු මත අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකය.
ඉකුත් සැප්තැම්බර් 12 දහවල් වූ සිදුවීම වාර්තා වන්නේ සල්ලාල පෙම්වතා හමුවන්නේ මුහුණු පොතේ වසරක පමණ තිබූ සබඳතාවයකින් අනතුරුව බවය. මේ සමඟ පොලීසිය අවධාරණය කරන්නේ අන්තර්ජාලය පරිහරණයේදී ඉතා ප්‍රවේශම් වන ලෙසය. එසේම අන්තර්ජාලය භාවිතා කරන දරු දැරියන් පිළිබඳව වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතු බවද පෙන්වා දෙයි.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන අතර මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක, සැරයන් රවුෆ් 63188, හේරත් 34064, පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග 31877, වන්නිනායක 37928, ගයාන් 82756, ප්‍රභාත් 78142, හපුවිට 88441 සහ පොලිස් රියැදුරු ජයකොඩි 85438 යන අය වැඩිදුර විමර්ශන සිදුකරති.
►සමන්ත ප්‍රදීප් විල්තෙර