
රුපියල් ලක්ෂ හයක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කොටු වූයේ පසුගිය 05 වැනිදාය. මැල්සිරිපුර ගොවිපොළේ අවන්හල කුලී පදනම මත මහනුවර ප්‍රදේශයේ ව්‍යපාරිකයකුට ලබාදීම සඳහා අල්ලස් මුදල ලබාගත් මොහොතේ ජාතික පශු සම්පත් මණ්ඩල සභාපති කොමිසමේ නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. අල්ලස් සිද්ධියට අදාළව සභාපතිවරයාට අයත් පෞද්ගලික සමාගමක ගිණුම් සහායකවරයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
ගත වූ කාලවකවානුව තුළදී රජයේ ඉහළ නිලතල දරන නිලධාරීන් කීපපොළක්ම අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේදී කොටු වී තිබුණේ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය රට හමුවේ දිය කර යවමිනි. රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් උගත් බුද්ධිමත් විනයගරුක පිරිසක් බවට ජනතාව විශ්වාස කළද මෙකී අල්ලස් සිද්ධීන් සමඟ ඔවුන් සොරුන්, දූෂිතයන් බවට හංවඩු ගැසී හමාරය. ඒ අතරට රාජ්‍ය පරිපාලන සේවයේ දෙවැනි ප්‍රධාන තනතුර වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මෙන්ම රාජ්‍ය සංස්ථා සභාපතිකමත් රජයේ ඉහළ තනතුරුය. එවැනි පිරිස් අල්ලස් ගැනීමේදී කොටු වී තිබියදී ඒ ගොඩට එක් වූ අලුත්ම තනතුර පශු සම්පත් සංවර්ධන මණ්ඩල සභාපතිවරයාය.
පසුගිය 5 වැනිදා සිකුරාදා පස්වරුවේ කොළඹ 5, නාවල පාර, නාරාහේන්පිට පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සභාපතිවරයා සහ ඔහුගේ පෞද්ගලික සමාගමක ගිණුම් සහායකවරයා අත්අඩංගුවට පත්වූයේ ඔවුන් කිසිවිටෙකත් විශ්වාස නොකළ පසුබිමකදීය.
මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් විය. ඔහු ආහාර පාන, අලෙවිසල් සහ විවිධ ආපන ශාලා කීපයක් පවත්වාගෙන යමින් සිටි අයෙකි. විශේෂයෙන් රාජ්‍ය ආයතනවලට අයත් ආපනශාලා ටෙන්ඩර් ක්‍රියා පටිපටිපාටිය මත ලබාගෙන සිය සේවකයන් යොදවා ඒවා පවත්වාගෙන යන අයෙකි. මේ ව්‍යාපාරිකයා කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ පිහිටි මැල්සිරිපුර පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළේ ආපනශාලාව පවත්වාගෙන යාම සඳහා කැඳවන ලද ටෙන්ඩරයට ඉල්ලුම් කර තිබුණේ දින ගණනාවකට පෙරය. ටෙන්ඩර් පත් කීපයක් අතුරින් වැඩිම ලංසුව තබා තිබූ කටුගස්තොට ව්‍යාපාරිකයාට අවස්ථාව හිමිව තිබුණේ වසර දෙකක් සඳහා බදු කුලී පදනම මත ලබාගැනීමටය. එහෙත් ඔහුට අවස්ථාව මගහැරී යමින් මාස කීපයක් ප්‍රමාද වී තිබුණේ ඊට පෙර අවන්හල පවත්වාගෙන ගිය පුද්ගලයා එතැනින් ඉවත් නොවී සිටීම නිසාය. මෙහිදී පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එම පාර්ශවයට විරුද්ධව නීතිමය කටයුතු කරමින් ඔවුන් පලවා හැර කටුගස්තොට ව්‍යාපාරිකයා වෙත අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබිණි.
ඒ සඳහා වන ගිවිසුම් පත්‍රය අත්සන් තැබීම සඳහා නියමිතව තිබී ඇත්තේ ඉකුත් 5 වැනිදාය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට ව්‍යාපාරිකයා සභාපතිවරයා හමුවී තිබුණේ ඊට පෙරය. එහිදී සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ටෙන්ඩරය හිමිව ඇතත් එය ලබාදීම සඳහා තමාට මාසයකට රුපියල් 50,000 බැගින් වසර දෙකකට ලක්ෂ 12ක් අවශ්‍ය බවය. මෙහිදී ව්‍යාපාරිකයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණේ තමුන්ට ටෙන්ඩරය හිමිව තිබියදී මෙසේ මුදල් ඉල්ලා බලපෑම් කිරීම අනවශ්‍ය බව පෙන්වමිනි. එහෙත් සභාපතිවරයාගේ තීරණය වෙනස් නොවන තැනදී ව්‍යාපාරිකයාගේ ඉල්ලීම මත මුදල රුපියල් ලක්ෂ 6 දක්වා අඩු කරගෙන තිබිණි.
ඒ අනුව ව්‍යාපාරිකයා විසින් පශු සම්පත් සංවර්ධන මණ්ඩල සභාපතිවරයාට මුදල ලබාදීමට අවස්ථාව යොදාගෙන තිබුණේ පසුගිය 5 වැනිදාය. ගනුදෙනුව ස්ථිරවම සිදුවන බව පසක් කරගත් සභාපතිවරයා තමාට අයත් පෞද්ගලික සමාගමක හිතවත් සේවකයෙක් වන ගිණුම් සහායකවරයෙකුට දැනුම් දී ඔහු ගෙන්වාගෙන තිබුණේ අදාළ මුදල බාර ගැනීමටය. මේ අතර සූක්ෂම ලෙසින් ක්‍රියා කළ ව්‍යාපාරිකයා අදාළ කාරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ සභාපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පසුගිය 3 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ සභාපති විසින් එහි විමර්ශන අධ්‍යක්ෂකවරයාටත් විමර්ශන ස්ථානාධිපතිවරයාටත් තොරතුරු දන්වා එහි නිලධාරීන් විසින් වැටලීමට පියවර සකස් කරනු ලැබීය.
නියමිත දිනය පැමිණ තිබියදී නිලධාරීන් හා ව්‍යාපාරිකයා සාකච්ඡා කළ පරිදි රුපියල් ලක්ෂ හයක මුදල රැගෙන පශු සම්පත් සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයට යායුතු විය. එහිදී ව්‍යාපාරිකයා විසින් පශු සම්පත් මණ්ඩල සභාපතිට දන්වා තිබුණේ සිය දියණියක විසින් අදාළ මුදල රැගෙන එන බවත් එය බාරගෙන තමාගේ ටෙන්ඩරය ලබාදෙන ලෙසත්ය. ඒ අනුව ව්‍යාපාරිකයාගේ දියණිය වශයෙන් සැරසී සභාපතිවරයාගේ නිල කාමරය වෙත ගොස් තිබුණේ අල්ලස් කොමිසමේ තරුණ නිලධාරිනියකි. ඇය සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ පසුව ඔහු ප්‍රකාශ කර තිබුණේ තමාගේ සේවකයෙක් ආයතනය ඉදිරිපිට මාර්ගයට එන බවත් ඔහුට මුදල් පාර්සලය බාරදෙන ලෙසත්ය.
ඇය ඉදිරියේම ඒ බව සිය සේවකයාට දැනුම් දුන් සභාපතිවරයාගෙන් සමුගෙන මාර්ගයට ගිය තරුණිය හමුවට පැමිණි පුද්ගලයෙකි. ඔහු කදිරේසු සිවනේෂන් බවට හඳුන්වා දී ඒ බව සනාථ කරගැනීමෙන් පසුව ඔහු අතට අදාළ මුදල ලබා දී තිබුණි. ඒ අවස්ථාවේදී එහි ස්ථානගත වී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු එසැණින් ඔහු අත්අඩංගුවට ගත්හ.
නිලධාරීන් හමුවේ ඔහු කියා තිබුණේ අදාළ මුදල් පාර්සලය තමාගේ ආයතන ප්‍රධානියාට අයත් බවත් ඔහුගේ ඉල්ලීමට පැමිණ බාරගත් බවත්ය. ඒත් සමඟ නිලධාරීහු පශු සම්පත් සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ පිහිටි ඔහුගේ නිල කාමරයේදී සභාපතිවරයා ද අත්අඩංගුවට ගත්හ. සැකකාර සභාපතිවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුට අයත් පෞද්ගලික ව්‍යාපාර කිහිපයකි. ඔහු සමඟ අත්අඩංගුවට පත්වූ සේවකයා රක්වාන ප්‍රදේශයේ අයෙකි. සභාපති මුත්තුවිනායගම් යන අය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකුගේ පියෙක් මෙන්ම වතුකරය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයකුගේ ළඟම ඥාතියෙකි.
අල්ලස් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර එහි ප්‍රගතිය ලබන 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර