2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

අලි මරණ කෝච්චි

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 209

දේශය පුවත්පතේ අපි මෙයට වර්ෂයකට පමණ පෙර දුම්රිය අලි අනතුරැ වැළැක්වීමේ පද්ධතියක් පිළිබඳ ලිපියක් පළ කළෙමු. නව නිර්මාණයක් වන එය වනජීවී භාරය සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ව නියාමන ව්‍යාපෘතියක් ලෙස 2017 මාර්තු මාසයේදී ස්ථාපිත කෙරුණේ සෙට්ටිකුලම - මඩුපාර - දුම්රිය ස්ථාන දෙක අතරය. අප නම් සිතුවේ මෙම ව්‍යාපෘතිය දිගින් දිගටම ක්‍රියාත්මක වී දුම්රියේ හැපී මැරෙන අලි බිංදුවට බසී කියාය. එහෙත් පසුව විමසා බලන විට එම පද්ධතියේ උපාංග ද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බවත් නියාමන ව්‍යාපෘතිය ලොප් වී ඇති බවත් අසන්නට ලැබුණි.

මට ඉහත සිද්ධිය මතක් වුණේ පසුගිය සති දෙක තුළ යළිත් දුම්රියේ හැපී සිදුවන අලි මරණ සංඛ්‍යාව ඉහළ යාම නිසාය. ආසන්නම සිදුවීම පසුගිය 6දා මඩකලපුව කොළඹ බලා මගීන් 600ක් සමඟ ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටී වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී අනතුරට පත්වීමයි. මෙම අනතුරින් කෙනරැන් දෙදෙනකු සහ අලියකු මරණයට පත්වී තිබුණු අතර අනතුරින් දුම්රිය පෙට්ටි 2ක් සහ එන්ජිම පීලි පැන තිබුණි. අනතුර නිසා දුම්රිය මාර්ගයේ සිල්පර කොට 117කට හානි සිදුව ඇත. අනතුරින් අතරමං වූ මගීන් බස්රථ මගීන් ප්‍රවාහනය කර තිබේ.

අලි රංචුව දුම්රියේ ගැටී ඇත්තේ මාදුරැඔය ජාතික උද්‍යානයේ සිට ත්‍රිකෝණමඩු රක්ෂිතයට මාරැවෙමින් සිටිදීය. අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරැදු 7-10 වයස් කණ්ඩයේ යෞවන අලි තිදෙනකි.

එම සිද්ධියෙන් දින තුනකට පසු පසුගිය 9දා ද රාත්‍රී 10.00ට පමණ වැලිකන්දේ දී මීනගයා දුම්රියට තවත් අලියකු හැපුණි. ඌත් අවුරුදු 10ක ගැටවරයෙකි. එම අලියා අසාධ්‍ය තත්ත්වයෙන් වනජීවී වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මාසයකට පෙර අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේදී ද දුම්රියේ ගැටීම නිසා තවත් අලි තිදෙනකුට ජීවිතය අහිමි විය. මේ අනුව 2018 වසරේ මේ දක්වා දුම්රියට බිලිවී ඇති අලි ඇතුන් සංඛ්‍යාව 10කි. එයට අමතරව අලි මිනිස් ගැටුම සහ වෙනත් ස්වභාවික හේතු නිසා වසරේ මේ දක්වා මරණයට පත් අලි සංඛ්‍යාව 195 දෙනෙකි.

අලි ඇතුන් සංරක්ෂණය සඳහා ප්‍රතිපත්ති සකසමින් මහා සමුළු පවත්වමින් තිබෙන රටක අලි මෙලෙස නිකරැණේ මිය යන්නේ බල්ලන් බළලුන් ගාණනටය. දුම්රිය දෙපාර්තමේන්තුව අලි ඇතුන්ගේ මාරයෙක් වී සිටින බවකි, පසුගිය වර්ෂ කිහිපයක දත්ත විමසන විට පේන්නේ. දුම්රියේ මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේද ලාංඡනවල සිටින්නේ අලියෙකි. එහෙත් එලෙස උජාරුවෙන් අලි ලාංඡනයේ ගහගෙන සිටියත් උන්ගේ රැකවරණය වෙනුවෙන් ඒ දෙපාර්තමේන්තු තවදුරටත් වෙහෙසිය යුතු බවයි අපට හැගෙන්නේ.

සංඛ්‍යා ලේඛන පවසන ඇසුරින් 1992 සිට 2016 දක්වා අලි ඇතුන් 144 දෙනකු යකඩ යකාට බිලිවී ඇත. ඉන් 100 දෙනකු මියගොස් ඇත්තේ මහවැලි වනජීවී සහකාර අධ්‍යක්ෂ කලාපය තුළය. ඊට අමතරව දුම්රියේ හැපී තුවාල ලබන අලි සංඛ්‍යාවද අතිවිශාලය. ගල්ඔය හන්දිය කේන්ද්‍ර කර ගනිමින් කන්තලේ කිතුල්උතුව දෙසටත්, පලුගස්වැව හබරණ, මින්නේරිය, මනම්පිටිය ආදී ප්‍රදේශවල දුම්රිය මාර්ග ආශ්‍රිතවත් අලි මරණ සුලබය. පොළොන්නරැව, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල අලි දුම්රියට බිලිවීම නිතර වාර්තා වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසන්නේ අලි දුම්රියේ ගැටෙන ස්ථාන 80ක් හඳුනාගෙන ඇති බවයි.

“ඒ අතරින් 50%ක් වඩාත් අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. හබරණ, මනම්පිටිය, වැලිකන්ද ඇතුළුව. ඒවායේ සිදුවන අලි හැසිරීම් දුම්රිය බලධාරින් නිරීක්ෂණය කරන අතර යම් ව්‍යුහමය ක්‍රියාමාර්ගයන් ගතයුතුව පවතිනවා.” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

වන අලි දුම්රියේ හැපෙන තවත් ස්ථානයක් වන්නේ මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලම අවටයි. 2015දී සිට අලි එහිදී දුම්රියේ හැපී මරණයට පත්වන අතර 2016 අගෝස්තු මාසයේදී එකවර අලි 4 දෙනෙකු දුම්රියට බිලිවෙති. අලි මරණ වැළැක්වීම සඳහා අවධානම් පවතින ස්ථානවල දී වේග සීමා ක්‍රියාත්මක කිරීමට යෝජනා වුවද එය සිදුවන පාටක් නැත. තැනිතලා පෙදෙසක වේගයෙන් ධාවනය වන මඩකලපුව දුම්රියේ නලා ශබ්ද කිරීම පවා නිසි ලෙස සිදු නොකරන බව සමහර මගීහු පවසති.

දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මෙසේ පවසා සිටී.

“හදිසියකදී දුම්රිය මාර්ගය හරහා අලි මාරැවන විට දුම්රිය නතරකර ගැනීමට හැකියාවක් නැහැ. අලි පාරේ ඉන්නව ද බල බලා දුම්රිය ධාවනය කිරීමටත් බැහැ. වේග සීමා යොමුකර තිබෙනවා. නමුත් කිසිම වේග සීමාවක් පිළිපදින්න පුළුවන් තත්ත්වයක දුම්රින් මාර්ග පද්ධතිය හෝ දුම්රිය එන්ජින් නැහැ. දුම්රිය අනතුරට පත්නොවන වේගයකින් තමයි, අපි ධාවනය කරන්නේ. අපේ එන්ජින්වල වේග මාපක නැහැ. දැනට ප්‍රධාන මාර්ගවල දුවන දුම්රිය ධාවනයට සුදුසු ඒවා නොවෙයි. ආරක්ෂක උපාංග නැති තත්ත්වයක තමයි දුම්රිය ධාවනය කරන්නේ. ඒ නිසා නියමිත වේග සීමා අකුරටම පිළිපදින්න අපට හැකියාවක් නැහැ.”

මහා මාර්ගවල මෙන්ම දුම්රිය මාර්ගවලද ආරක්ෂාව පැවරුණ වෙනම ආයතනයක් ලංකාවේ පවතී. ඒ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. එම ආයතනය පවසන්නේ අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමේ ක්‍රමවේදයක් මාස 2ක් තුළ සකස් කරන බවයි. එම ක්‍රමවේදය සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ පැවසුවේය.

මේ ඛේදවාචකය ගැන තවදුරටත් විස්තර දැන ගැනීමට අපි කතා කළේ පරිසරවේදී නයනක රන්වැල්ලටයි. “මුලින්ම දුම්රියවලට වේග සීමාවක් දාන්න වෙනවා. මඩකලපුව මාර්ගයේ දුම්රිය හතරක් යනවා. ඉන් එකකට හැරෙන්න අනෙක් ඒවාට වේග මීටර් නැහැ. දුම්රියේ ප්‍රධාන විදුලි පහනේ එළිය මදි. ඒ වගේම අලින්ට දැනෙන ලෙස අඩු ශබ්ද සංඛ්‍යාතයකින් යුත් නලාවක් හඬවන්න වෙනවා. දුම්රියේ ඉදිරිපස තාප සංවේදී කැමරාවක් සවි කිරීමටත් අපි යෝජනා කළා. එවිට එන්ජින් රියැදුරන්ට අලි වගේ සතුන් මාර්ගය අද්දර ඉන්නවා නම් දුරදීම බලාගන්න පුළුවන්. අලින්ට අඩු ශබ්ද සංඛ්‍යාත නලාව කී.මී. 10ක් දුරකට ඇහෙනවා. එවිට අලින්ට යම් අනතුරක් ගැන හෝඩුවාවක් දැනෙනවා.

අලින්ට සංවේදී වන විදුලි ආලෝකයක් දුම්රියේ සවිකිරීමත් අපේ යෝජනවක්. ඒ වගේම මේ ආරක්ෂක පියවර ක්‍රියාත්මක වෙනවාදැයි විපරමක් කිරීමත් අවශ්‍යයි. ඉන්දියාවේ වේග සීමා ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බොහෝ වනබද ප්‍රදේශවල අලි-දුම්රිය අනතුරැ වළක්වාගෙන තිබෙනවා.”

දුම්රිය - අලි ගැටුම දැන් උච්චම අවස්ථාවකට පත්ව ඇත. කමිටු පත්කරමින් සිටිනවාට වඩා දැනට ඉදිරිපත් වී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උනන්දු විය යුතුය.

සේයාරූ I අන්තර්ජාලයෙනි

 කුසුම්සිරි විජයවර්ධන