2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මොබයිල් ෆොන් අැඳේ; මොළේ කොළොප්පම් වැඩේ

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 2

ජංගම දුරකතන අද රටේ නැතිවම බැරි භාණ්ඩයක් වී ඇත. මෙරට ජනගහනයෙන් වැඩි දුරකතන සංඛ්‍යාවක් තරුණ, බාල, මහලු, ගිහි-පැවිදි සියලු දෙනාඅත රුඳී ඇත. එමෙන්ම අද සමාජයේ බොහෝ දෙනා මතට ඇබ්බැහි වූවන් සේ එයට ඇබ්බැහි වී සිටිති.

වාහනයක ගමනක් යනවිටත්, රිය පදවන විටත් මෙන්ම නිදි ඇදේදීත් සැලකිය යුතු පිරිසක් ජංගම දුරකතන පරිහරණය කරති. රිය පැදවීමේදී ජංගම දුරකතන භාවිතය තහනම් වුවද බොහෝ රියදුරන්ට ඒ බව නිරන්තරයෙන් අමතක වෙයි. එය අනතුරුවලට ද ප්‍රබල ලෙස බලපාන සාධකයක් බවට පත්ව තිබේ. මේ අතර ජංගම දුරකතනය තුළ නිරන්තරයෙන් රැඳී සිටිමින් එය පරිහරණය කරන විට අතුරැ ආබාධ රැසක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ මීට වසර කිහිපයක පෙර සිටමය. ජංගම දුරකතනය රාත්‍රී කාලයේ දිගුවේලාවක් කාමරය තුළ තබාගැනීම මෙන්ම නිදන කාමරය තුළදී ජංගම දුරකතන භාවිත කිරීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතු විය හැකි බව පසුගියදා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පැවසීය. විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම මොළයට සහ ස්නායු පද්ධතියට හානිකර වියහැකි බව වෛද්‍යවරියගේ නිගමනයයි.

ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇති කරන විද්‍යුත් චුම්බක තරංගවලට නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා මෙම තත්ත්වය ඇති විය හැක. රාත්‍රී නින්දට යෑමට පෙර සිය නිදන කාමරයෙන් ජංගම දුරකතන වැනි විද්‍යුත් තාක්ෂණික උපාංග ඉවත් කර තැබීමට හෝ ක්‍රියා විරහිත කර තැබීමට කටයුතු කර තැබීම වැදගත් බවද වෛද්‍යවරියගේ මතයයි.

කෙසේ වෙතත් ජංගම දුරකතයට පරිගණක තිරයන් හී නිවි නිවී පත්තුවන හා දර්ශනය නොපෙනෙන තරම් වන ඉලෙක්ට්‍රොනික් උපකරණ ඒ අතර අඩංගු වී මෙලෙස රාත්‍රී කාලයේ ආලෝකයට නිරාවරණය වී සිටීම සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ප්‍රධානතම හේතුවකි.

අද සමාජයේ බොහෝ දෙනකු සිතා සිටින්නේ රාත්‍රී කාලයේ ජංගම දුරකතන භාවිතයේ දී එහි ඇති විකිරණ සහිත ස්වභාවය පමණක් අප ශරීරයට අහිතකර වනු ඇති බවයි. නමුත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ජංගම දුරකතවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. මෙලෙස ජංගම දුරකතන රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර පාවිච්චි කිරීම් මගින් බොහෝ ලෙඩ රෝග රාශියක් මිනිසුන්ට වැළදෙනු ඇති බවද සෞඛ්‍යය අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

එම රෝග අතර හදවත් රෝග, ප්‍රතිචාර දැක්වීමේ පමාව, කෙටි අමතක වීම්, මානසික ආතතිය, සම ඉක්මනින් වයසට යාම, ශරීරයේ බර වැඩි වීම සහ පිළිකා ඇති වීමේ අවදානම වෙයි. මෙවැනි රෝග රාශියක අවදානමක් රාත්‍රී කාලයේ ජංගම දුරකතන සහ පරිඝණක තිර දෙස බලා සිටීමෙන් ඇති විය හැකියි.

ඇසට බරපතළ හානි -

රාත්‍රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට කහ බිංදුවට දැඩි ලෙස හානි විය හැකිය. විශේෂයෙන්ම කහ බිංදුවට දැඩි ලෙස හානි වෙයි. විශේෂයෙන්ම කහ බිංදුව පරිහානියට පත්වීම නිසා අප ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වීමට පටන් ගැනේ. ජංගම දුරකතන තිර මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සිටින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොඳවී පෙනෙන්නේ මේ හේතුවෙනි. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඇසේ සුද මතුවීමේ අවදානමකුත් මේ නිසා ඇතිවීමට ඉඩ ඇත.

පිළිකා ඇතිවීමේ අවදානම

මෙය රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද දුරකතන සහ පරිගණක තිරය දෙස බොහෝ වෙලා බලා සිටීමෙන් එමගින් නිකුත් වන විකිරණවලට ගොදුරු වී ඇතිවන තත්ත්වයක් වන අතර බොහෝ සෞඛ්‍ය නිලධාරීන්ගේ මතය වී ඇත්තේ ද ජංගම දුරකතන භාවිත කරන්නන් 2%ක පමණ ප්‍රමාණයකට මෙලෙසින් පිළිකාවලට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බවයි.

එමෙන්ම ඉලෙක්ට්‍රෝනික උපාංග පිළිබඳ විවිධ සමීක්ෂණ ආයතන මගින් ද අවස්ථා ගණනාවකදී හෙළිකරන ලද වාර්තා පෙන්වා දෙන්නේ ජංගම දුරකතන රාත්‍රී කාලයේ හිස අසලින් තබා ගැනීමේදී මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍යය කිරීමට තරම් විකිරණ ප්‍රබල බවයි. එමෙන්ම සිරුරට හානි කරන මෙම විකිරණශීලී බව නිසාවෙන් රාත්‍රී කාලයේදී ජංගම දුරකතන හැකිතාක් ඈතින් තැබිය යුතු බවට ද ඔවුන් විසින් අනාවරණය කර තිබේ.

ලොව පුරා විසිරී සිටින බිලියන 02කට අධික ජංගම දුරකතන භාවිතා කරන්නන් මෙම අවදානමට මුහුණ දී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත හෙළි කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙලෙස රාත්‍රී කාලයේ ජංගම දුරකතන හිස අසල තබාගෙන නින්දට යාමේදී මොළයේ ස්නායු ආබාධ සහ ඇසේ සංකූලතා පිළිබඳ වාර්ෂිකව තොරතුරු වාර්තා වන බවයි. එමෙන්ම විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය නිස මොළයේ පිළිකා හටගත් අවස්ථා ගණනාවක් ද වාර්තා වී තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

සිය මානසික සෞඛ්‍ය විනාශ කරගන්නා මේ අවිචාරවත් ජංගම දුරකතන ලෝලීන් සිය කායික සෞඛ්‍යය ද විනාශ මුඛයට යාමට ඉඩ දෙමින් සිටින බව පැහැදිලිය. මින් දැන්වත් මිදුණේ නැත්නම් මානසික - කායික රෝගීන් පිරිසක් විශේෂයෙන් තරුණ පරපුර අතරින් බිහිවීම නොවැළැක්වියහැකි වනු ඇත.

හසිත් අංජන