
කොළඹ කුණු නගරයට පමණක් නොව, මුළු මහත් පරිසර පද්ධතියට ද විපතකි. කොළඹ මහ නගර සභාවට අර්බුදයකි. එහෙත් එය ඇතැම් දේශපාලකයන්ට ඉල්ලමක්ය.
දිනපතා නගරයේ එක්රැස් වෙන කසළ මෙට්‍රික් ටොන් ප්‍රමාණය 600කි. කසළ එක්රැස් කිරීම, ප්‍රවාහනය හා කෙරවළපිටිය අංගනයට බැහැර කිරීමට පමණක් මෙට්‍රික් ටොන් එකකට නගර සභාවට දිනකට ගෙවන්නට සිදු වී ඇති මුදල රුපියල් 6000කි. ඒ අනුව නගර සභාව එක දවසකට පමණක් නගරයේ බදු ගෙවන ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ 36ක් කුණුවලට යට කරන බව වැඩි දෙනකු දන්නේ නැත.
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හිඟ මුදල් නොගෙවූ බව කියමින් කෙරවළපිටිය කසළ අංගනයට කොළඹ කසල භාරගැනීම අත්හිටවූයේ ඉකුත් 6 වැනිදාය. කොළඹ කළඹන්නට සමත් වූ එම නියෝගයත් සමඟම නගරය කසළ කඳුවලින් යට වූයේ පවතින නොනවතින වර්ෂාව ද සමඟය. තෙදිනක් තිස්සේ පැවති කසළ අර්බුදයෙන් නගරය කුණු කඳුවලින් වැසී යන්නටත් වූයේ ක්ෂණයකිනි. කොරේ පිටට මරේ කීවාක් මෙන් වැසි ජලයට මුහුණ දී සිටින ජනතාව කුණු කඳුවලින් ද පීඩාවට පත්වූයේ, නගර සභාවට ද දෙස් දෙවොල් තබමිනි.
නගරයේ කසළ භාරගැනීම අත්හිටුවීමෙන් කලබලයට පත්වූ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය ද ජනතාව පත්ව සිටින අසරණ තත්ත්වය දැකබලා ගැනීමට ගියාය.
අනේ මැඩම් අපිට මොකවත් එපා. ගෙවල් හදලා දෙන්න. මේ අපායෙන් මුදවන්න. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ එපමණක් බවට ඇය කරුණු හෙළි කළේ ඉකුත් 8 වැනිදා නගර සභාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කොළඹ මහ නගර සභාව සංස්ථාවට ගෙවිය යුතු සියලුම ගෙවීම් මේ වනවිට ගෙවලා අවසන්. අපි සත පහක් ණය නැහැ. එහෙම තියෙද්දි සංස්ථාවේ සභාපතිවරයා හිඟ මුදල් කියමින් තවත් රුපියල් මිලියන 207ක් ඉල්ලා නගර සභාව බිත්තියට හේත්තු කරලා. මේක හරියට කප්පම් ඉල්ලීමක් වගෙයි. අපි කසළ වෙන් කරලා දෙන්නේ.
නගරයේ ජීවත් වන සියයට 60ක්ම අන්ත දුප්පතුන්. මේ මුදල්වලින් ඒ අයට ගෙවල් කීයක් හදාලා දෙන්නට පුළුවන්ද? රජයේ ආයතනයක් තවත් රජයේ තැනකට අයත් ඉඩමකට කසළ බැහැර කිරීම භාර නොගන්නා බවට කරන්නේ තර්ජනයක්. මේක සහගහන අපරාධයක්. 2017 මැයි සිට 2018 ජූලි දක්වා අපි සංස්ථාවට ගෙවා ඇති මුදල රැපියල් මිලියන 526.47ක්.
මේ පිළිබඳව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඉකුත් 7 දා කීවේ මෙබඳු කතාවකි.
පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ ජූලි 7 දක්වා කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව රුපියල් මිලියන 207ක් ගෙවිය යුතුව තිබුණා. එයින් මිලියන 50ක් ගෙවලා තියෙනවා. හිඟ මුදල රුපියල් මිලියන 157යි. නගර සභාව සමඟ ඇති කරගත් වැඩි එකඟතාවය මත වෙන් කළ කසළ මෙට්ට්‍රික් ටොන් එකකට අපි රුපියල් 3000ක් ද වෙන් නොකළ කසළ මෙට්‍රික් ටොන් එකකට රුපියල් 5000ක් ද වශයෙන් දෛනිකව කසළ මෙට්ට්‍රික් ටොන් 600ක් භාරගන්නවා. හිඟ මුදල් ලබාදෙන ලෙස ඉකුත් 1 දාත්, ජූලි 1 දාත් දැනුම් දුන්නා. කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඉකුත් 4 දා කළ දැනුම්දීමට නගරාධිපතිනිය ප්‍රතිචාර දැක්වූයේ අපි කප්පම් ඉල්ලීමක් විදිහටයි. සාමාන්‍යයෙන් වසරකට රුපියල් මිලියන 20000ක පමණ ආදායමක් ලබන නගර සභාවක් මෙවැනි කතා නොකියා හිඟ මුදල ගෙවිය යුතුයි. තමන්ගේ දේවල් තමන් කරගන්නට කියා අපි නගර සභාවට කියා තිබෙනවා. අපට මේ ප්‍රශ්නය බලෙන් පැටවූ එකක්.
කොළඹ කුණු කසළ නගරයේ ජනතාවගේ බදු මුදලට වින කටින්නට පටන් ගත්තේ අද ඊයෙක නෙවේ.
බ්ලූමැන්ඩල් හා මීතොටමුල්ල කුණු කඳු බිහිවූයේ ද කොළඹ කුණු නිසාය. ඒ පිළිබඳ අතීතය වසර ගණනකට එහා යන්නකි. කොළඹ කුණු පෞද්ගලික අංශයේ කළමනාකරණයට භාරදී ඇත්තේ 1997 වසරේදීය. ඒ වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා කොළඹ පුරපති සමයේදී බවද සඳහන්ය.
කොළඹ කුණු මාෆියාවට දොර කවුළු විවර වූයේ එදා සිට බවට ද කතා ඇත. පෞද්ගලික සමාගම් දෙකකට කොළඹ නගරයේ කසළ එක්රුස් කිරීම හා ප්‍රවාහනය භාරදී ඇත්තේ ඒ අනුවය.
නගරයේ පවිත්‍රභාවය හා අලංකරණය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කසළ කළමනාකරණය පිළිබඳ මෙම යෝජනාව එදා ගෙනෙන්නට ඇත්තේ සද්භාවයෙන් යුතුව වන්නට ඇත.
කොළඹ කුණු එදා බැහැර කරනු ලැබූයේ බ්ලූමැන්ඩල් කසළ කන්දටය. එම භූමියට එදා සුළු මුදලක් ගෙවූ බවට පුරසබේ නියෝජිතයෝ සඳහන් කරති. බ්ලූමැන්ඩල් කුණු කන්ද ගිනිගත් වාර අනන්තය. එවැනි පාරිසරික විනාශයකට මඟ පෑදීමත් සමඟම අධිකරණ නියෝජිතයන් එහි කසළ බැහැර කිරීම ද නතර වූ බවට එහි මහජන නියෝජිතයෝ අතීතය අවදි කරමින් හඬ නගති.
2009 වසරේදී මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය වූයේ ඉන්පසුවය. එහි ආරම්භය 1989 දක්වා දිවෙන්නෙකි. මහා පරිමාණයෙන් කොළඹ කුණු එතැනට වැටෙන්නට විය. අධිකරණය මඟින් ඊට අවසර දුන්නේ අක්කර 2ක වපසරියකට යටත්වය. ඒ ස්ථිර විසඳුමකට යනතෙක්ය. ඊට එල්ල වූ දැඩි ජනතා විරෝධය හා උද්ඝෝෂණ රැල්ල ද නොතකා 2017 වසර වනවිට මීතොටමුල්ල කුණු කන්ද අක්කර 23ක් දක්වා විහිදා ගියේ දේශපාලන අධිකාරියේ ද ආශිර්වාදය ඇතිවය. 2017 අප්‍රේල් මුල් භාගය වනවිට කසළ කන්දේ උස මීටර් 48.5ට නැග තිබුණි. වැල්ලම්පිටිය පැත්තේ කුණු මාෆියාව ද ඊට අත ගසා තිබුණේ එය ඉහළම ආදායම් මාර්ගය හා ඉල්ලමක් ද කරගනිමිනි.
කොළඹ කුණු මුවාවෙන් පෞද්ගලික ආයතන විසින් බැහැර කරනු ලබන කුණු රැගත් ලොරියකට පාතාල කණ්ඩායම් විසින් රැපියල් 8000ක් දක්වා මිල ගණන් අය කළ බවට ද වාර්තා වූයේ එක දිගටය.
මීතොටමුල්ලට ගෙනයන කසළ තොග සමතලා කරන්නට පෞද්ගලික යන්ත්‍ර සූත්‍ර යෙදවීම සඳහා නගර සභාව එතෙක් වැය කළ රුපියල් මිලියන 54 මුදල 2016 වනවිට රැපියල් මිලියන 237 කට ඉහළ ගියේ කුණු කන්දටත් වඩා වේගයෙනි. මේ පිටුපස නිලධාරීන් කිහිපදෙනකු සිටි බවට ද එකම කොන්ත්‍රාත්කරැවකුට එය ලබාදුන් බවට ද චෝදනා එල්ල විය. 2004 වසර වන විට කුණු කොන්ත්‍රාත්තුව ඉදිරි වසර 4 සඳහා අලුත් කිරීමේ කාලය එළඹිණි. එකම සමාගම් දෙකකට මෙම ටෙන්ඩරය ඉතා විශාල මිල ගණන් යටතේ දෙන්නට නාගරික මන්ත්‍රීවරුන් ගණනාවක්ම දැඩි උත්සාහයක් ගෙන තිබුණේ මේ අතරය. සභා රුස්වීම්වලදී උගුර ලේ රහ වනතුරැ රූ දහවල් නැතිව කෑමොර දුන්නේ ද ඔවුහුය.
මෙම කුණු කොන්ත්‍රාත්තුවේ විශාල මුදල නගර සභාවට කිසිසේත්ම ඔරොත්තු නොදෙන සියයට 200ක මිල වැඩිවීමක් වීම නිසාත්, මෙහි සැඟවුණු මිල ගණන් ඇති නිසාත් එය නිර්දේශ කළ නොහැකි බවට හිටපු නාගරික භාණ්ඩාගාරික කේ. ටී. චිත්‍රපාල මහතා 2014.07.10 වැනි දින ඉදිරිපත් කර ඇති මුදල් පිළිබඳ ස්ථාවර කාරණා සභා වාර්තාවේ දැක්වේ. එහි උපදෙස් අතර මෙසේද සඳහන් වේ. දෙපාර්තමේන්තු ඇස්තමේන්තු මුදල යළි සළකා බලා සංශෝධන කළ යුතුය. පවත්නා මිල ගණන්වලටම ටෙන්ඩරයේ කාලය දීර්ඝ කළ යුතුය. ටෙන්ඩරය පිරිනැමීමේදී කසළ ඉවතලන භූමිය ටෙන්ඩර්කරැට සොයා ගැනීමට පැවරිම අනිවාර්යය කළ යුතුය.
කොළඹ නගර සභාව මේවාට පිළිතුරැ දිය යුතු වන්නේ තමන්ට කසළ කළමනාකරණය පිළිබඳව නිශ්චිත වැඩ පිළිවෙළක් ඇත්නම් පමණි. තැත්නම් කුමක් කළ යුතුද? බදු ගෙවන ජනතාව විමසන්නේ ඒ ටිකය.
ඒ සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබා නොදීමට හිටපු භාණ්ඩාගාරික කේ. ටී. චිත්‍රපාල මහතා තීරණය කළේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචන මධ්‍යයේය. ඉතිහාසයේ විශාලම කුණු කොන්ත්‍රාත්තුව එදා වැඩි ඡන්දයෙන් අනුමත වෙද්දී ඇතැම් මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ ගණනින් දොළ පිදෙනි ලබා දෙන්නට එම සමාගම් ද ඉක්මන් වූ බවට සභාවෙන්ම දැඩිව හඬ නැගෙන්නට විය. එම මන්ත්‍රීවරැන් කණ්ඩායම අදටත් අදාළ සමාගම්වලින් ලක්ෂ ගණනින් වැටුප් ලබන බව ප්‍රසිද්ධ රහසක්ම පමණි.
2014 වසර වන තෙක්ම මුළු නගරයේම කසළ කළමනාකරණයට වැය වූයේ රුපියල් මිලියන 57.7ක් බවට නාගරික භාණ්ඩාගාරිකවරයා පෙන්වා දී තිබුණේ එවක පැවති මුදල් කාරක සභාවේදීය. 2015 වසර වනවිට එය රැපියල් මිලියන 534 දක්වා ඉහළ ගියේ නගර සභාව බරපතළ අර්බුදයකට ඇද දමමිනි. මෙය බැංකුවලට අසීරැ තත්ත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් විය හැකි බවට හිටපු නාගරික භාණ්ඩාගාරිකවරයා එදා කළ අනතුරු ඇඟවීම ද සුළුපටු නොවන්නකි.
නගර සභාවෙන් බැහැර කරන කසළ තුනී කිරීම සඳහා කුලියට ලබාගත් යන්ත්‍ර සූත්‍රවලට කළ ගෙවීම්වල වාර්ෂික වැඩිවීම පමණක් 9.7% සිට සියයට 462.9ක් බවටත් කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව අනාවරණය කර ඇත. කසළ කළමනාකරණය සඳහා වැඩි වූ මුදල සියයට 8 සිට සියයට 53ක් බව ද එහි දැක්වේ.
මීතොටමුල්ල කුණු කන්ද අවට නිවැසියන් ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා නිවාස ඉදිකිරීමේ වැඩ සටහනක් ද ඒ සමඟම ක්‍රියාත්මක වූයේ මහජන උද්ඝෝෂණ විරෝධතා මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව නිවාස 400ක් ඉදි කිරීමට රුපියල් මිලියන 600ක් වැය කිරීමට සිදුවූයේ කුණු කන්දේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි.
සියල්ල එලෙසින්ම සිදුවෙද්දී මීතොටමුල්ල කුණු කන්ද බර දරාගැනීමට නොහැකිව 2017 අප්‍රේල් 14 වැනිදා කඩා වැටුණේ ජීවිත 32ක් බිලිගනිමිනි. ඒ සමඟම 11 දෙනකු අතුරුදහන් විය. අවතැන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1541ක් විය. 1989 සිට මෙහි කසළ දැමීම ආරම්භ වුවද මහා පරිමාණ කුණු දැමීම සිදුවූයේ 2009 සිටය. ඒ අනුව 8 වසරක් තිස්සේම නගර සභාව විකල්ප ක්‍රියාවලියක් පිළිබඳව අවධානය යොමු නොකර ඇති බව මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය සොයා බැලීමට පත්කළ විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරැ ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ විමර්ශන කමිටු වාර්තාවේ දැක්වේ.
කොළඹ මහ නගර සභාව කොළාන්නාව නගර සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, බස්නාහිර පළාත් සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය සිය ව්‍යවස්ථාපිත අයිතිය මෙහිදී පැහැර හැර ඇති බවද එහි දැක්වේ. කොළඹ නගරයේ බැහැර කරන කසළ භාර ගැනීම අත්හිටුවීමත් සමඟම පසුගිය 8 වැනිදා රුස්වූ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරැන් පැවසුවේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව මහජනතාව පීඩාවට ලක්කිරීම සඳහා එය සිතාමතාම කරන ලද්දක් බවය. ඒ සමඟම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය තවදුරටත් නගරයේ ජනතාව පීඩාවට පත් කිරීමට නොහැකි නිසා අදාළ සංස්ථාව වෙත රැපියල් කෝටි 10ක අත්තිකාරම් මුදලක් ගෙවූ බව කියා සිටියාය.
මේ පිළිබඳව එම සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගෙන් නැවත විමසීමක් කළේ වත්මන් තත්ත්වය දැන ගැනීම සඳහාය.
දැන් ප්‍රශ්නය ඉවරයි. අපිට මේවා නිකන් කරන්න බැහැ. කුලියට ගන්නා යන්ත්‍ර සූත්‍රවලට විශාල වියදමක් දරන්නට වෙලා. හැබැයි අපි ඉල්ලන්නේ කප්පම් නෙවෙයි. අපි කප්පම් ගන්නවා නම් ඇයි කෝටි 10ක් ගෙව්වේ රාජ්‍ය ආයතනයකට. ගෙවන්නට අදිමදි කරන සභාව පෞද්ගලික ආයතනවලට කෝටි ගණන් වියදම් කරනවා. හැබැයි අපි දන්සල් දෙන්නේ නැහැ. සභාපතිවරයා කීවේ දැඩි ස්ථාවරයක සිටය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේ කවුරැන් හෝ කොළඹ කුණු ප්‍රශ්නය විසඳා පෙන්වන්නේ නම් ඕනෑම ආයතනයකට එය භාරදීමට සූදානම් බවය.
ජයන්ත සමරකෝන්