2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

1. භාරකාර ආණ්ඩුවක් ගැන විවිධ මත පළවෙනවා. වත්මන් ජනපති සහ හිටපු ජනපති හමුවුණු බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ආකාරයට ආණ්ඩු වෙනස්වීමක් සිදු කරන්න පුළුවන්ද?

2. 20 වැනි සංශෝධනයට තව දුරටත් ඉදිරියට යන්න 2/3 හෝ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ වගේම මේ ව්‍යවස්ථාවේ වගන්ති 38න් 36ක්ම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර තිබෙනවා. මෙතනින් එහාට 20 සංශෝධනයට මොකද වෙන්නේ?

3. මිල සූත්‍රය අනුව පෙට්‍රල් මිල ඉහළ යනවා. මුදල් ඇමැතිවරයා කියනවා මිල සූත්‍රය තමාටත් නොතේරෙන බව. මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ?

4. අපරාධ සහ පාතාල ක්‍රියාකාරකම්වල අඩුවීමක් සංඛ්‍යාලේඛන මඟින් දක්නට ලැබෙන බව රජයේ එජාප පාර්ශවය පවසනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ මේ සංඛ්‍යාලේඛන පිළිගන්න බැහැ කියලා. මේ දෙකෙන් ජනතාව පිළිගන්න ඕනෑ කුමන මතයද?

මේගොල්ලන්ට බලය ගන්න පුදුම හදිස්සියක්නේ තියෙන්නේ
එ.ජා.ප. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුගල

1. මේ ආණ්ඩුව පත් වූ අවස්ථාවේ ඉඳන්ම හිටපු ජනාධිපතිවරයා කිව්වේ ඊළඟ පෝයට ආණ්ඩුවක් හදනවා කියලා. මෙයාලට පුදුම හදිස්සියක් තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. අවුරුදු ගාණක් බලයේ ඉඳලා වංචා, දූෂණ කරපුවා එළියට එයි කියලා ආණ්ඩු පෙරළනවා කියලා මොවුන් ජනතාව රවට්ටනවා. ජනාධිපතිතුමා කවදාවත් ඒ වගේ තීරණයක් ගනී කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම පසුගිය දා අගමැතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයේදී අපි දැක්කා බහුතරයක් සිටින්නේ අපේ පැත්තේ කියලා. ඒ නිසා අපිට ඒ ගැන විශ්වාසයි. මම හිතන්නේ නෑ ඊළඟ මැතිවරණය එනකම් එහෙම වෙනසක් රට තුළ සිදු වෙයි කියලා.

2. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා හදපු 77 ව්‍යවස්ථාවේ සංශෝධන 19ක් දැන් ගෙනත් තියෙනවා. මේ 20 සංශෝධනය අපේ එකක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ එකක්. ඒ සම්බන්ධව මගේ පැහැදීමක්නම් නැහැ. කොහොමත් මම විශ්වාස කරන්නේ ජනාධිපතිවරයෙක් අපිට ඉන්න ඕන කියලා. ඒ වගේම මේ රටට අහිතකර දෙයක් තියනවානම් අපි 19 සංශෝධනයෙන් ඒක අයින් කරලා තියෙන්නේ. ඒ වගේම කාටවත්ම ඒකාධිපති ගමනක් යන්න බැරි වෙන විදිහට 19 සංශෝධනයක් අපි කරලා තියෙනවා. ඒ නිසා 19 සංශෝධනයේ සුළු සුළු වෙනස්කම් ඇරෙන්න 20කට ගිහිල්ලා වෙනස්කම් ගණනාවක් කරන්න මම හිතන්නේ නෑ රටේ ජනතාව හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් එකතු වෙයි කියලා.

3. මිල සූත්‍රය නිසාම නෙවෙයි තෙල් මිල ඉහළ යන්නේ. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යන කොට තමයි තෙල් මිල වෙනස් වෙන්නේ. සමහර අය පෙන්නන්න හදනවා මිල සූත්‍රය නිසා මෙහෙම වුණා කියලා. නමුත් එහෙම එකක් නෑ. රජයක් විදිහට අපිත් කැමතියි ජනතාවට සහන දෙන්න. ගිය ආණ්ඩුවෙන් අඩු කළේ නැති තෙල් මිල අපි අඩු කරලා අවුරුදු එකහමාරක් දුන්නා. නැවතත් තෙල් මිල ඉහළ ගිය නිසා ඉහළ දැමීමට සිදුවුණා. නැවතත් පහළ ගියාම තෙල් මිල පහළ දානවා.

4. අද තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා. ඔතන සංඛ්‍යා ලේඛනවල වැරැද්දක් තියනවානම් අපිට විමසලා බලන්න පුළුවන්. එතකොට දැනගන්න පුළුවන්. මාධ්‍ය මඟින් තමයි මේවා පුළුල් කරලා ප්‍රචාරයක් දෙන්නේ. නමුත් සත්‍ය වශයෙන්ම ඒ දත්ත දිහා බැලුවම ඒක අඩුවෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන ගිය රජයට වඩා අපරාධ මේ රජය කාලයේ අඩුවීමක් තියෙනවා කියලා.

එක පක්ෂයක් ඉවත් වුණොත් ආණ්ඩුව ඉවරයි
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ (ඒකාබද්ධ විපක්ෂය)

1. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තියන රටක බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමාන යහපාලන රජය කියලා පවතින්නේ ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවයක් මත ඇතිකරගත් ගිවිසුමක්. ඒ ගිවිසුම ප්‍රකාරව එක හෝඩුවාවක් ප්‍රධාන දේශපාලන පක්ෂයක්. ඒ ගිවිසුමෙන් ඉවත් වුණොත් පත්කර තිබෙන කැබිනට් මණ්ඩලය ඉබේම විසිරීමට යෝජිතයි. ඒ නිසා එක් පක්ෂයක් ඉවත් වුවහොත් ආණ්ඩුව අහෝසි වෙනවා. එතකොට ජනාධිපතිවරයාට පුළුවන් නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරන්න.

2. ජනතා විමුක්ති පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සංවිධානය උත්සාහ කළේ බළලුන් ලවා කොස් ඇට බාවන්න. දැන් 20 සංශෝධනය ලෙස ඉදිරියට ඇවිත් තියෙන්නේ අගමැතිවරයා තවත් ශක්තිමත් කොට අගමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්කරගෙන මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයා මහජනතාවගේ ඡන්දයෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව අහෝසි කරලා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධව නිවැරදි තීන්දුව ලබා දීලා තියෙනවා. ඒ නිසා මෙයට අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. ඉදිරියට යන්න වර්තමාන දේශපාලන ව්‍යාකූලත්වය එක්ක.

3. ඇත්තටම මේක ඉතාම ව්‍යාකූල තත්ත්වයක්. අපට තාම බලන්න බැරි වුණු කාරණයක් තමයි ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඩුවෙන කොට මේ රජයත් තෙල් මිල අඩු කරන්න සූදානමින් ඉන්නවද කියන එක. නමුත් ආණ්ඩුවේ වාසනාවට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් ඉහළ ගොස් තිබෙන නිසා ජනතාවට බදු බර පටවලා තෙල් මිල ඉහළ දැමීමේ අවස්ථාවක් ආණ්ඩුවට ලැබිලා තියෙනවා.

4. ඇත්තටම බැලූ බැල්මට ඇස් පනාපිට පෙනෙන සාධකය තමයි විශාල වශයෙන් අපේ රටේ මත්ද්‍රව්‍ය, පාතාලය, මිනී මැරැම් ඇතුළු අපරාධ සෑහෙන්න ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඒකට සෘජුව බලපාලා තියෙන කාරණය තමයි මේ රටේ ඇතිවෙලා තිබෙන සමාජ දේශපාලන අරාජිකත්වය. ඒ වගේම රටේ නීතියේ ආධිපත්‍යය ගිලිහිලා තිබෙන බවටත් රටේ ජනතාව අතර මතයක් තිබෙනවා. සංඛ්‍යා ලේඛන වශයෙන් මොනවා ඉදිරිපත් කළත් අපිට පේන්න තියන එකම දේ තමයි මේ රට අපරාධ අතින් ඉහළට යන බව.

20 සංශෝධනයට ජනමතය විමසන්න අපි සූදානම්
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

1. මේ භාරකාර ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡාව එන්නේ විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධයේ ඉන්න ගෝඨාභය නඩය පැත්තෙන්. ඔවුන්ට තවදුරටත් ආණ්ඩුවේ වරප්‍රසාද සෘජුවම භුක්ති විඳින්න බැරුව එළියේ ඉන්න අමාරුකමක් තමයි පේන්නේ. එහෙම නැතුව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට අර තරම් අපහාස කරපු අයට පුළුවන්ද ජනාධිපතිවරයා එක්ක භාරකාර ආණ්ඩුවක් යටතේ ඉන්න. මේ ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ගන්න විසඳුමක් වෙනුවට ඇමැති වරප්‍රසාද ලබා ගැනීමට දරන උත්සාහයක්.

2. මේ 20 සංශෝධනය කිසි විටකත් ව්‍යවස්ථාවට පටහැනි නැහැ. 78 ව්‍යවස්ථාවේ දක්වලා තියනවා ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු ආකාරය. ඒ අනුව 82 වගන්තියේ ජනමත විචාරණයකට අවශ්‍ය කාරණා තිබෙනවා. ඒ වගේම නොවන කාරණාත් තියෙනවා. කොහොමටත් සමහර වගන්තිවලට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට දන්වලා තිබුණේ. ඉතින් 78 ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමත වෙලා නැහැ. ඒ වගේම එහි තිබෙන සංශෝධන 19ම ජනමතයෙන් අනුමත වෙලත් නැහැ. ඒ නිසා අපි කැමතියි මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගෙන් අනුමත කරගන්න. ඉතින් මේක රටට ඉතාම හිතකර ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක්.

3. ඕකට මිල සූත්‍රය අර සූත්‍රය මේ සූත්‍රය කියලා කිව්වත් ඕකේ මුදල් ඇමැතිතුමාට තේරෙන දේ තමයි බදු සූත්‍රය. ඔය මිල වැඩි වෙන්නේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වැඩිවන ආකාරයට නෙවෙයි. ආණ්ඩුව ගහන බද්ද වැඩි වීම නිසා. මේ වෙනකොට පෙට්‍රල් ලීටරයක එකට එකක බද්දක් ආණ්ඩුව අය කරනවා. ඒ නිසා මේක බදු සූත්‍රයක්. මුදල් ඇමැතිතුමාට ඕක හොඳට තේරෙනවා. එතුමාට ඕන කරන්නේ මොන සූත්‍රය දාලා හරි ජනතාවගේ අතේ තියන මුදල් ටික බදු හැටියට භාණ්ඩාගාරයට ගෙනියන්න.

4. ඒකනම් ජනාධිපතිවරයාගෙන්ම තමයි අහන්න තියෙන්නේ. මොකද ඔය සංඛ්‍යා ලේඛන නිකුත් වෙන මූලාශ්‍ර එකමයි. එතකොට මේ සංඛ්‍යා ලේඛන අගමැතිවරයා එක විදිහටත් ජනාධිපතිවරයා තව විදිහටත් කියනවානම් ඒක සංඛ්‍යා ලේඛන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අයගේ ප්‍රශ්නයක්. ඉතිං මේ ආණ්ඩුවේ විගඩම් බලාගෙන ඉඳලා ජනතාවට එපා වෙලා තියෙනවා.

කුමන්ත්‍රණයකින් බලය උදුරා ගැනීමට හැකියාවක් තිබෙනවා
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

1. ආණ්ඩුවක් වෙනස් කරන්න එහෙම නිත්‍යනුකූල මාර්ගයක් නැහැ. නමුත් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ඔස්සේ බලය උදුරා ගැනීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකෙදි මොන පැත්තටද වැඩි පිරිසක් බෙදෙන්නේ කියන එක අනුව තමයි එහෙම දෙයක් තීරණය වෙන්නේ.

2. අපි දිගටම කිව්වා ඔය 20 සංශෝධනය ඉදිරියට ගෙනයන්න බැහැ නව ව්‍යවස්ථාවක් යෝජනා වෙලා තියෙන නිසා කියලා. මේකට අමතරව බලය බෙදීම පිළිබඳවත් නව ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ නිසා ඒ දෙකම එකවර කරන්න ඒ ව්‍යවස්ථාව ඉදිරියට ගන්න කියලා තමයි අපි කිව්වේ. නමුත් ඒ අය ඒක කරන්නේ නැතුව නව ව්‍යවස්ථාවට පෙර මේක කරගන්න තමයි උත්සාහ දැරුවේ. නමුත් මම හිතන්නේ නැහැ ඒක සාර්ථක වෙයි කියලා.

3. මිල සූත්‍රය ඩොලර් එක වැඩිවෙන කොට වැඩි වෙන විදිහටත්, අඩුවෙන කොට අඩුවෙන විදිහටත් හදපු එකක් කියලා හිතනවා.

4. අකාරගත ක්‍රමයකට ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන දිහා බලලා තමයි ඒක පිළිගත යුත්තේ. හැබැයි ඒකට විරැද්ධව මත තියෙනවානම් කළ යුත්තේ කමිටුවක් දාලා ඒ පිළිබඳ සොයා බලා මත ප්‍රකාශ කරන එක.

ජනවරමක් නැති පිරිසක් අලුත් ආණ්ඩු හීන දකිනවා
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

1. ආණ්ඩුවක් වෙනස් කරන්න එහෙම නිත්‍යනුකූල මාර්ගයක් නැහැ. නමුත් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ඔස්සේ බලය උදුරා ගැනීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකෙදි මොන පැත්තටද වැඩි පිරිසක් බෙදෙන්නේ කියන එක අනුව තමයි එහෙම දෙයක් තීරණය වෙන්නේ.

2. අපි දිගටම කිව්වා ඔය 20 සංශෝධනය ඉදිරියට ගෙනයන්න බැහැ නව ව්‍යවස්ථාවක් යෝජනා වෙලා තියෙන නිසා කියලා. මේකට අමතරව බලය බෙදීම පිළිබඳවත් නව ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ නිසා ඒ දෙකම එකවර කරන්න ඒ ව්‍යවස්ථාව ඉදිරියට ගන්න කියලා තමයි අපි කිව්වේ. නමුත් ඒ අය ඒක කරන්නේ නැතුව නව ව්‍යවස්ථාවට පෙර මේක කරගන්න තමයි උත්සාහ දැරුවේ. නමුත් මම හිතන්නේ නැහැ ඒක සාර්ථක වෙයි කියලා.

3. මිල සූත්‍රය ඩොලර් එක වැඩිවෙන කොට වැඩි වෙන විදිහටත්, අඩුවෙන කොට අඩුවෙන විදිහටත් හදපු එකක් කියලා හිතනවා.

4. අකාරගත ක්‍රමයකට ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන දිහා බලලා තමයි ඒක පිළිගත යුත්තේ. හැබැයි ඒකට විරුද්ධව මත තියෙනවානම් කළ යුත්තේ කමිටුවක් දාලා ඒ පිළිබඳ සොයා බලා මත ප්‍රකාශ කරන එක.

එක් එක්කෙනාට ඕනෑ විදිහට ආණ්ඩු මාරු කරන්න බෑ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිෂාන් කාරියප්පර්

1. මම හිතන්නේ නැහැ ජනවරමක් තියනවා කියලා ඒක කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමත් පාර්ලිමේන්තුවේ බහුතරයක් තියන කෙනාටනේ පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ දේශපාලන වුවමනාවලට ආණ්ඩු මාරු කරගෙන බැහැ. ජනවරමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි අනුව තමයි එහෙම කරන්න පුළුවන්.

2. මේ 20 සංශෝධනය ආණ්ඩුවෙන් ගෙනාපු දෙයක් නෙවෙයි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට වෙනත් පක්ෂයක් මඟින් ගෙනාපු එකක් ඒක. ඇමති මණ්ඩලයට ඇවිල්ලා 2/3 දෙනවද මේක ජනමත විචාරණයකට යනවද කියලා තීන්දු කළ යුතුයි. ඊටපස්සේ අපි අපේ මතය දක්වනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් විදිහට.

3. ඒක එතුමාගෙන්ම තමයි අහන්න ඕන. එතුමාට තේරෙන්නේ නැත්නම් අපිට කොහොමත් තේරෙන්නේ නැහැනේ.

4. ඒ ඒ පාර්ශව ගන්න තීන්දු තීරණ මෙන්ම ඒ අයගේ ප්‍රකාශයන් ගැන අපිට පිළිතුරක් දෙන්න අමාරුයි.