
පසුගිය 9දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අයවැය යෝජනා ලබන මස 5දා මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. සාමාන්‍යයෙන් අයවැය කතාව ලෙස හැඳින්වෙන්නේ මෙම කියැවීමය. අයවැය විසර්ජන පනත අනුව 2019 වසර සඳහා වියදම බිලියන 4,376ක් වන අතර ආදායම බිලියන 3732ක් වෙයි. ඒ අනුව රුපියල් බිලියන 644ක් වියදම පියවාගැනීම සඳහා අඩුව පවතී. මෙම පරතරය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1ක ප්‍රතිශතයක් බවට ගණන් බලා ඇත. එය පියවන ගන්නා යෝජනා මුදල් ඇමැති ප්‍රකාශ කරනු ඇත.
අයවැය මගින් කැපීපෙනෙන කරුණ නම් ඉතිහාසයේ වැඩිම ණය මුදල වන රුපියල් බිලියන 2057ක් ගෙවීම සඳහා මුදල් වෙන්කිරීමට සිදුව තිබීමය. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම හා සුබසාධන වියදම් වශයෙන් විශාල මුදලක් වෙන්කර ඇති අතර ගම්පෙරළිය සහ ග්‍රාමශක්ති වැනි ව්‍යාපෘති සඳහා ද, මාර්ග සංවර්ධනය, අධිවේගී මාර්ග, වාරි ව්‍යාපෘති සහ නිවාස යෝජනා ක්‍රම හා ජල කළමනාකරණය සඳහා මුදල් වෙන්කිරීමටද මෙම අයවැයේදී විශේෂයෙන් සලකා ඇතිබව පෙනේ.
පොදු වශයෙන් මහා පරිමාණ ව්‍යාපෘතිවලට විශාල ලෙස මුදල් වෙන් කළද එදා සිට අද දක්වාම අපේ ජනතාව බලාපොරොත්තු වන්නේ අයවැය මගින් ස්වකීය ජීවන ගැටලුවලට සහනයක් සැලසේද යන්නය. තම එදිනෙදා ජීවන ප්‍රශ්නවලට විසඳුමක් නොලැබේ නම් රට මොන තරම් සංවර්ධනය වනවා යැයි කිව්වද ජනතාව ඒ ගැන සැලකිල්ලක් නොදක්වන්නේ එය තමාගේ ඇඟට නොදැනෙන බැවිනි. ඒ නිසා හැම අයවැයකදීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් අපේක්ෂා කරනුයේ ස්වකීය වැටුප කීයකින් හෝ වැඩිවේ යැයි කියාය. එදා සිට අද දක්වාම අපේ රටේ පොදු ජනතාව ඒ ගැන බලාපොරොත්තු තබාගෙන සිටියහ.
සුබසාධන ආධාර ලබාගන්නා අයද රජය තමන්ට ගෙවන කොටස අයවැයේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබේ. එසේම සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්වල්ප වශයෙන් හෝ අඩුකරනු ඇතැයි කියාය. ඒ අනුව අයවැයෙන් පටි තදකරගැනීම නොව පටි බුරුල් කරගැනීමට සහනයක් ලැබේ යැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මාසික ස්ථිර ආදායමක් ලැබෙන අයට වැටුප් වැඩිකිරීමෙන් සහනයක් සැලසිය හැකි නමුදු එවැනි ස්ථාවර ආදායම් මාර්ගයක් නැති පොදු ජනතාවට සහනයක් සැලසෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදියේ මිල අඩුකිරීමෙනි. ඒ නිසා ඔවුන් ඒ පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටීම සාධාරණය.
මුදල් ඇමැතිවරයා පසුගිය අවුරුදුවලදී මෙන් මෙවරද ජනතාවගේ හෝ සංවිධානවලින් අයවැය සඳහා යෝජනා ඉල්ලා තිබේ. මෙය සාම්ප්‍රදායිකව සිදුකරන්නක් වන අතර එලෙස ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් කුමන ප්‍රමාණයක් අයවැය තුළින් ප්‍රකාශයට පත්කෙරේද යන්න සැකයට තුඩුදෙන කරුණකි.
මේ පිළිබඳ අදහස් දක්වන ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසන්නේ අපේ රටේ අයවැය සකස් කිරීමේදී රටේ සංවිධාන සහ ජනතාව ඉල්ලන දේවල් නොසලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි විදේශ බලවේගවල අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කිරීම නිසා දේශීයව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නොසලකා හරින බවය.
“අපේ ආර්ථිකය ණය මත හසුරැවන නිසා එම ණය දෙන ආයතනවල කොන්දේසි ඉටුකිරීමට ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙනවා. අතීතයේ සිදුවූයේත් මෙයයි. අද සිදුවන්නෙත් එයමයි. මේ නිසා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අවධානය යොමුකරන්නේ නැහැ. රාජ්‍ය දේපල විකිණීමට, බදු ඉහළ නැංවීමට කම්කරු නීති දැඩිකිරීමට, වැටුප් වැඩි නොකිරීමට, වැටුපේ මූර්ත අගය අඩුවීමට අයවැය ක්‍රියාමාර්ග හේතුවෙනවා.
අයවැය යෝජනාවලට පරිබාහිරව වෙනත් ක්‍රියාමාර්ග ආණ්ඩුව නිරතුරුව ගන්නවා. උදාහරණයක් වශයෙන් ඉන්ධන මිල සූත්‍රය ගතහොත් එය කිසිදු අයවැයකින් ඉදිරිපත් කළ අදහසක් නොවෙයි. මූල්‍ය ක්ෂේත්‍රයේදී අයවැය මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය මත පදනම් විය යුතුයි. ජනතාවගේ සහය බැංකුවලට නොලැබේ නම් බැංකු කඩාවැටීමට ඇති ඉඩ වැඩියි. ඒ නිසා ඔවුන් බැංකුවලට සමීප කරගත යුතුයි. එහෙත් අපේ අයවැය යෝජනාවලින් එවැනි ප්‍රතිපත්ති හඳුන්වා දෙන්නේ නැහැ. ණය හා තැන්පතු පොලී අතර අනුපාත ප්‍රශස්ත විය යුතුයි. අපේ මේ වෙනස සියයට 8ක් පමණ වන අවස්ථා තිබෙනවා. තැන්පතුවලට සියයට 8ක් ගෙවන අතර ණයවලට 16ක් අයකරනවා. බැංකු තරගකාරී වෙළෙඳපොළක සිටින නිසා එකිනෙකා අභිබවා යාමට සදාචාරාත්මක නොවන ක්‍රම අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබෙනවා. රාජ්‍ය බැංකු අටක් තියෙනවා. රටේ ආර්ථික පුනරුදයක් ඇතිකිරීම සඳහා ඒවා ශක්තිමත් කළ යුතුයි. එහෙත් අද කරන්නේ විවිධ බදු පැනවීමෙන් ඒවා අකර්මණ්‍ය කිරීමක්. විවිධ බදු බැංකුවලට මෙන්ම පාරිභෝගිකයාට පැනවීම නිසා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රසාරණයට බාධා පැමිණ තිබෙනවා.
එසේම බැංකු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට ඒවා කප්පාදු කිරීමට කටයුතු කරනවා. ඒ අයට සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි. සේවකයන් බඳවාගැනීම, වැටුප් තල නියම කිරීම, උසස්වීම් ලබාදීම ආදියට ප්‍රමිතියක් තිබිය යුතුයි. දැන් එහෙම නැහැ. බැංකුවලට අධ්‍යක්ෂ මණ්ඩල සඳහා වෘත්තීය සුදුසුකම් ලැබූ අය පත්කළ යුතුයි. එහෙම නොවන විට බැංකු පරිපාලනය දුර්වල වෙනවා. ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී දුෂ්කරතා ඇතිවෙනවා.
පෞද්ගලික අංශයේ කම්කරු නීති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකළ යුතුයි. අවම වැටුප, ජීවන වියදම් දීමනාව, අතිරේක දීමනා ගෙවීම ආදිය ප්‍රමිතියකට ලක්කළ යුතුයි. මිනිස් බල (Man power) සේවකයන් බඳවාගැනීම නැවැත්විය යුතුයි. පසුගිය මැයි මාසයේදී අප මේ යෝජනා මුදල් අමාත්‍යංශයට යොමුකර ඇති නමුත් ඒ පිළිබඳ අවධානය යොමුකරාවි යැයි විශ්වාසයක් නැහැ.
සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ සභාපති නීතිවේදී සිරි සිංගප්පුලි,
“ලක්ෂ 14 – 15 පමණ වන රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව විවිධ අවස්ථාවල වැටුප් වැඩිවීම් කළත් ලක්ෂ 6ක් වන රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වීම කනගාටුවට කරුණක්. විශ්‍රාම වැටුප් ගැටලුව පිළිබඳ නිරේදේශ ඉදිරිපත් කිරීමට විවිධ අවස්ථාවල කොමිෂන් සභා හයක් මේ වනවිට පත්කර තිබෙනවා. ඒ සැමකම නිර්දේශ වූයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවන සෑම අවස්ථාවකදීම එයට සමගාමීව විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉහළ නංවන්න කියලයි. එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒ ගැන සලකලා නැහැ. ඉල්ලීම් ඉතාම උචිජ වනවිට සීනිබෝල දෙනවා වගේ මොනවහරි සොච්චමක් දීලා රැවැට්ටීමයි ඔවුන් කළේ. විශ්‍රාමිකයන් ඉතා කෙටි කාලයක් ජීවත්වන අය නිසා ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීම කෙටිකාලීන වැඩක්. රාජ්‍ය සේවකයන්ට වගේ දිගටම ඒ බව දරන්න වෙන්නෙ නැහැ.
1972 වසර දක්වාම විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම මහා භාණ්ඩාගාරයේ නෛතික අයිතියක් බවට පත්කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 1978 ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවේදී ඉවත් කර තිබෙනවා. එය අපට විශාල ලෙස අහිතකර වුණා. එසේම විශ්‍රාම වැටුප් පිළිබඳ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ තවම මහා භාණ්ඩාගාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එය ක්‍රියාත්මක කරනවා නම් අපේ ගැටලුව ආයාසයකින් තොරව විසඳෙනවා.
අප සංවිධානය මෙවර අයවැය සකස් කරන අවස්ථාවේදී සලකා බලන ලෙස ඉල්ලීම් පහක් ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු තබාගෙන ඉන්නෙ ඒවා පිළිබඳ මුදල් ඇමැතිතුමාගේ සැලකිල්ල යොමුවේය කියලයි. අපි ඉල්ලන්නේ මේවායි.
2016 දී රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සමඟ විශ්‍රාමිකයන්ට ඇතිවූ වැටුප් විෂමතාව නැතිකිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන සැමවිටම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිකිරීමට නීති සම්පාදනය කිරීම, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කළ නෛතික අයිතිය යළි ලබාදීම, රාජ්‍ය සේවකයන්ට ගෙවන ජීවන වියදම් දීමනාව විශ්‍රාමිකයන්ටත් ලබාදීම, විශ්‍රාමිකයන්ට මාසිකව අයකරගැනීමේ පදනම යටතේ රුපියල් 10,000ක වැටුප් අත්තිකාරමක් ලබාදීම.
අපේ ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඒවා ලබාගැනීම ඉදිරියේදී ප්‍රබල ලෙස සංවිධානය වී ඉදිරි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. අපි පසුගිය සතියේ පාර්ලිමේන්තුව ආසන්නයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේ වගකිවයුත්තන්ගේ ඇස් ඇරවීම සඳහායි. එයින් යම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.”
එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක අයවැය ලේඛනයෙන් තම සාමාජිකයන් බලාපොරොත්තු වන්නේ මොනවාද යනුවෙන් මෙලෙස පැහැදිලි කිරීමක යෙදුණි.
“දැනට දිනපතා ඉහළ යන බඩු මිල හමුවේ අපේ කම්කරු සහෝදරවරැන් විශාල පීඩනයකට ලක්වෙලා සිටිනවා. මේ වනවිට ඒ අය ජීවත්වීම පිළිබඳ දරුණු ගැටලුවකට මුහුණ දී තිබෙනවා. මිනිසකුගේ අවශ්‍යතා අතර ප්‍රමුඛතාව හිමිවන්නේ ආහාරවලටයි. මේ වනවිට කම්කරුවන්ට ලැබෙන වැටුප අනුව තුන්වේල කන්නට ද නොහැකිවෙලා. සෙසු අවශ්‍යතා ගැන කියන්න දෙයක් නැහැ.
සැමදේටම මිල සූත්‍ර ක්‍රියාත්මක වනවිට ජීවන වියදම අනුව කම්කරුවාගේ වැටුපට මිල සූත්‍රයක් තැනීම ඉතාම අවශ්‍යයයි. පසුගිය කාලයේ ආණ්ඩුව පිට පිට වැඩිකළ බදු නිසා ජනතාව තවත් පීඩනයකට පත්වුණා. භාණ්ඩ හා සේවාවල මිල විශාල ලෙස වැඩිවෙමින් පවතිනවා. මෙහි අවසානයක් නැහැ. විශේෂයෙන් පහළම ශ්‍රේණිවල කම්කරුවන්ට ණයවෙලයි කන්න බොන්න වෙලා තියෙන්නෙ. ණය ගෙවන්න තවත් ණය ගන්න වෙනවා. හතර දෙනකුගෙන් යුත් පවුලකට කෑම බීම සඳහා පමණක් මසකට අවම වශයෙන් රුපියල් 50,000කට වැඩියෙන් වැයවෙනවා. තෙල් මිල ඉහළ ගියවිට සියලුම භාණ්ඩවල මිල වැඩිවෙනවා.
මෙවර අයවැයේදී කම්කරුවාගේ වැටුප අවම වශයෙන් රුපියල් 25000ක් කළ යුතු යැයි අපි ඉල්ලුවා. තවද ජීවන අංක දීමනාවක් යළි දෙන්න කියලා ඉල්ලුවා. ජීවන අංක දීමනාව පහුගිය සමයේ ටික කලක් ගෙවාගෙන ගොස් නැවතුවා. මෙයින් කියන්නේ වැටුප් වැඩිකිරිල්ලක් නොවෙයි. එය වැඩිවන බඩු මිලට සාපේක්ෂව ගෙවන යම් දීමනාවක්. 2009 දී ජීවන අංක දීමනාව සංශෝධනය කිරීමට ඉල්ලුවා. 2013 දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අලුත් ජීවන අංක දීමනාවක් තැනුවා වැඩිවන සැම ජීවන අංකයකටම රුපියල් 322/42ක් ගෙවීමට. එහෙත් හාම්පුතුන් එය ගෙවන්නේ නැහැ. ආණ්ඩුව එයට බලපෑමක් කරන්නේද නැහැ. අප කියන්නේ ජීවන වියදම් ඒකකයකට ගෙවිය යුතු ගණන නියමකර, එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර, එය ගෙවනවා ද යන්න සොයා බැලීමට නිසි බලධරයකු පත්කළ යුතු බවය. ඒ සමඟම බඩු මිල පහළ නොදමා වැටුප් වැඩිකිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බවද අපි ආණ්ඩුවේ අවධානයට ලක් කළා. මේ අයවැය ලේඛනයෙන් යම් සාධාරණයක් ඉටුවේ යැයි අපි සිතනවා.”
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සුධීර ජයරුක්,
“අපි ආණ්ඩුවෙන් ඉල්ලුවේ ත්‍රීරෝද රථ නියාමනය කරන්න කියලයි. දැනට අයාලේ යන මෙම ව්‍යාපාරය යම් අන්දමකට විධිමත් කළ යුතුයි. නියාමනය කරනවා කියන්නෙ මීටර් හයිකරනවා කියන එක නොවෙයි. එයට වඩා එහාට ගිය වෙනසක්. මෙම ව්‍යාපාරයට යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම නැතුව එක එක අයට ත්‍රීරෝද රථයක් ගෙනත් පාරට දමලා එයට සම්බන්ධ වෙන්න බැහැ. මෙය එක විදියකින් නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය කටයුතු පිළියෙළ කළ යුතුයි.
මිල සූත්‍රයයි කියලා විටින් විට පෙට්‍රල් මිල වැඩිකිරීමෙන් අපි විශාල හිරිහැරයකට පාත්‍රවෙලා. මේ තත්ත්වය අනුව නියමිත මිලක් තබාගන්න බැහැ. ත්‍රීරෝද රියැදුරා හෝ මගියා දන්නේ නැහැ කීයද ගාස්තුව කියලා. අද එක මිලක්, හෙට තව ගාණක්. මේ තත්ත්වය නැති නොකළහොත් මේ ස්වයංව්‍යාපාරය විනාශයට පත්වේවි. ජනතාවට පහසු මිලකට ගමන් යන්න තියෙන අවස්ථාව අහිමිවෙලා. අපි මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළා, ත්‍රීරෝද රථවලට අමතරව අඩු වියදම් මෝටර් රථයක් කෙටි ගමන් බිමන් සඳහා හඳුන්වාදෙන ලෙසට. දියුණුවන ලෝකයේ ජනතාවට ත්‍රීරෝදයට වඩා සැප පහසු ලෙස ඉක්මනින් යාමට අවස්ථාව සලසා දිය යුතුයි.”
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ ජනතාවගේ ආහාරපාන ගැටලුවට මේ අයවැයෙන් යම් ක්ෂණික විසඳුමක් දිය යුතු බවයි. දීර්ඝකාලීන මහා පරිමාණ ව්‍යාපෘතිවලට වඩා දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍ය වේ. අපට ආපනශාලා ආහාරවල මිල වැඩිකරන්නට සිදුවන්නේ අමුද්‍රව්‍යවල මිල අනුවයි. ආණ්ඩුව භාණ්ඩ හා සේවා මිල ඉහළ නංවනවිට එයට සාපේක්ෂව ආපනශාලා මිල ද ඉහළ නැංවීමට සිදුවෙනවා. මේ ව්‍යාපාරය ද ජීවත්වීම උදෙසායි කරන්නෙ. ඉතින් සුළු හෝ ලාභයක් තබාගත යුතුයි. ඒ නිසා පාරිභෝගිකයා ගැන මෙන්ම අපේ ව්‍යාපාරිකයා ගැන ද බැලිය යුතු වෙනවා. ජනතාවට පෝෂ්‍යදායී ආහාර සහන මිලට දීම අපේ වෑයමයි.
ලබන 15 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන ලෝක ආහාර දින වැඩසටහනේදී අප මේ පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුකිරීමට කටයුතු කරනවා. අඩු වශයෙන් අත්‍යවශ්‍ය ආහාර හෝ පාලන මිලකට දීමේ වැදගත්කම අප පෙන්වා දෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.”
►යසවර්ධන රුද්රිගු