2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පරණ ඩයල්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

“කඩල්-ලේ, ශීනි කඩල්-ලේ, බෝල කඩල්-ලේ, ෂම්බාපු ක-ඩ-ල්-ලේ.. ලාබයි ලාබයි ක-ඩ-ල්-ලේ”

කඩල ආච්චි මෙසේ කෑගසමින් පාරේ යනවා. පාසල් අසලදී ඇගේ ගමන බාලවෙනවා. ඇය ළමයින්ට ඇහෙන්ඩ කෑගහනවා. හරියටම ඉස්කෝලෙ ඉන්ටවල් එක වෙලාව අල්ලලා තමයි කඩල ආච්චි පාසල ළඟට එන්නේ. ඉතින් ළමයි කඩල පෙට්ටිය වටකරගන්නවා. හරියට නිකං දෙනව වගේ. ළමයින්ට කඩල විකුණලා ඇයට නිදහසක් නැහැ. සමහර වෙලාවට එක කඩල පෙට්ටියක් ඉස්කෝලෙ ගාවදී ඉවරවෙන්න පුළුවන්.

බැදපු කඩල බෝල කරලා තියෙනවා, අනිත් කඩල ජාතිය සීනි දමපු සීනි කඩල. තෙල් දාල බැදපු ටේස් කඩලත් තියෙනවා. තම්බපු කඩල ගොටු ගහලයි තියෙන්නේ. ඉස්සර ශත 2ක් නැත්නම් ශත 5ක දුන්නහම කඩල බෝලයක් හරි ගොට්ටක් හරි ගන්ඩ පුළුවන්. සමහර වෙලාවට කඩල ආච්චිගෙ කඩල පෙට්ටියේ වඩේත් තියෙනවා. ඒවා පරිප්පු වඩේ. කඩල ගන්න ආපු අය සමහර වෙලාවට වඩේත් ගන්නවා. ආච්චිගෙ පවුලේ ජීවත්වෙන්න මේ කඩල බිස්නස් එකෙන් ලැබෙන ආදායම සෑහෙනවා.

ළමයි කඩල ආච්චිගෙ මිත්තරයො. ආච්චි දෙමළ වුණත් සෑම දරුවෙක්ම එයත් එක්ක හරිම හිතවත්. යාළුකම වැඩිවුණාම හෙට සල්ලි ගෙනත් දෙන්නත් ආච්චිගෙන් ණයට කඩල බෝලයක් හරි ගොට්ටක් හරි ගන්න පුළුවන්. ආච්චි දන්නවා පොඩි ළමයි ලොකු අය වාගෙ බොරු කරන්නෙ නැති වග. පුහුවදාට නොවැරදිම සල්ලි ගෙනත් දෙනවා කියලා දන්නවා. ඒ හින්දා ණයට දෙන්න හොර නැහැ.

ඒ කාලෙ දැන් වාගෙ හැමතැනම කඩල රටකජු විකුණන කඩ තිබ්බෙ නැහැ. අපට මතක හැටියට නම් ඒ කාලෙ දැන් වාගෙ රටකජු ජනප්‍රිය කෑමක් නෙමෙයි. ළමයින්ගෙ කෑම වුණේ කඩලයි. ඒ කඩලවලිනුත් සීනි කඩල කන්න හරි ආසයි.

ආච්චිගෙ ඇඳුම වුණේ රතුපාට වොයිල් රෙද්දක් හා හැට්ටයක්. මේ රෙදි තද රතුපාටයි. එහෙමත් නැතිනම් දම්පාටයි. ආච්චි යකඩ වළලු දෙකක් අත්වලට දාලා කන්වලට බෝල කරාබු දාල තිබුණා. පාවහන් පැළඳීමක් නැහැ. උදේ නැඟිටලා කඩල පෙට්ටිය ඔළුවෙ තියාගන්න ආච්චි ගම වටේ ඇවිදිනවා. කඩල පෙට්ටිය ඉවර කරගන්න බැරිවුණොත් ගමේ ගෙවල් ගාණෙ ගිහිල්ලා කඩල විකුණන්න ආච්චිට සිද්ධවෙනවා. කොහොම හරි දවසකට හැතැක්ම හතරක් පහක් ආච්චි පයින් යනවා. එදා තම්බපු කඩල ටික එදාම ඉවරකරගන්න තමයි ආච්චි බලන්නෙ. තම්බපු කඩල හැරුණම අනිත් කඩල නම් පහුවදත් විකුණන්න පුළුවන්. ඒත් තම්බපු කඩල එදාම විකුණලා ඉවරයක් කරගන්න ඕනෑ. මොකද, පහුවදා වෙනකොට නරක්වෙන හින්දා. ඒ හින්දා රෑ වෙනතුරුම ආච්චිට කඩල විකුණන්න සිද්ධවෙනවා.

ආච්චි ඉන්නෙ ලැයිං කාමර පේලියේ අන්තිම ගෙදර. ආච්චිගෙ මනුස්සයා සින්නයියා මාටින් මුදලාලිගෙ ගල්වළේ බෝරදාන රස්සාව තමයි කරන්නේ. ගෙදර ළමයි පස්දෙනකුගෙ බඩවල් පුරවන්න සින්නයියා ගන්න පඩිය මදි හින්දා එයාට උදව්වක් කරන්ඩ තමා ආච්චි කඩල රස්සාවට බැස්සෙ. කඩල විකුණලා ආච්චි ගන්න සල්ලි ගෙදර එදිනෙදා ඕනෑකම්වලට වියදම් කරන හින්දා අතේ ඉතුරවිල්ලක් නම් නැහැ. සින්නයියට ගල්වැඩපොළෙන් ගෙවන්නෙ සුමාන කාසි. ඒ හින්දා පහුවදා ගෙදර වියදම්වලට නම් ආච්චිට කඩල පෙට්ටිය කොහොම හරි විකුණගන්න වෙනවා. පන්සලේ පින්කම් තියෙන දවස්වල ආච්චි වෙනම කඩල පෙට්ටියක් හදාගෙන පන්සලේ තාප්පෙ ගාවට රෑ වෙනකොට එනවා. පාසල් යන පුංචි දරුවො ආච්චිගෙන් කඩල බෝලයක් හරි ගොට්ටක් හරි ගන්ඩ අමතක කරන්නෙ නැහැ. එහෙම දවස්වල ආච්චිගෙ ආදායම තවත් සරුවෙනවා. කොච්චර සල්ලි හම්බකළත් එදා ලැබෙන ගාණ එදාම ඉවරකරගන්න තමයි ඒගොල්ල පුරුදුවෙලා ඉන්නේ.

ආච්චිගෙ පොඩි ඈයෝ කඩල කන්නෙ නැතිවුණාට ඒගොල්ලන්ට බත් කන්න දෙන්න තමයි ආච්චි මේ සුමේ කරන්නෙ. දවල්ට කොහොම හරි බත් ටිකක් දුන්නත් උදේටයි දවල්ටයි ඒගොල්ලන්ගෙ කෑම වෙන්නේ පාන්පිටි රොටී තමයි. සින්නයියා ගන්න පඩිය වැඩියෙන්ම සයිඩර්වලට වියදම් කරන හින්දා ආච්චිගෙ පිහිටෙන් තමයි පවුල නඩත්තු කරන්නෙ.

යසවර්ධන රුද්රිගු