2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

රටම එකවර වටලන මහ රෑ සෝදිසි මෙහෙයුම්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 65

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ පාතාල ගැටුම් හේතුවෙන් ඊට කිසිදු සබඳතාවයක් නැති අහිංසක මිනිස් ජීවිතවලට පවා වූ හානිය පිළිබඳව මාධ්‍ය වරින්වර සිරස්තල මැවීය. බැලූබැල්මටම අපරාධ සිද්ධීන්වල වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක වෙඩිතැබීම, තියුණු ආයුධවලින් පහරදීම, කපා කොටා තුවාල සිදුකිරීම, ඝාතනය කිරීමේ සිදුවීම් ඉහළය.

මෙවැනි සිද්ධීන් මහමඟ එළිපිට සිදුවීමත් ඒවායේ හිස ඔසවන බවක් පෙනීමත් බරපතළ ගැටලුවකි. එකපිට එක සිදුවන අපරාධ රැල්ල නිසා රටේ ආන්දෝලනයක් මෙන්ම ජනතාවට ඒ පිළිබඳ භීතියක් ඇතිවී තිබේ. නිකරුණේ ගොඩනැගෙන මෙකී සමාජ ගැටලු වෙත දේශපාලන කරළියේ ද අවධානය යොමුව තිබේ. අපරාධ අඩුවී ඇතිබවට ඇතැමුන් ප්‍රකාශ කළත් එය පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා ඉකුත් දිනෙක පැවති කැබිනට් සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවද වාර්තා වූයේ මේ පසුබිම තුළය.

මේ ආකාරයට රටේ සාමාන්‍ය ජනජීවිතය අඩාල කරන්නට පාතාල ගැටුම්, ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ හේතුවෙද්දී නීතිය හා සාමය රැකීමට පෙරමුණ ගන්නා පොලීසිය ඒවා මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළ හා මෙහෙයුම් ක්‍රියාවට නංවයි. පොලිස් ස්ථානයකින් සිදුකෙරෙන සාමාන්‍ය රාජකාරියට අමතරව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය කරමින් සිදුකරන විශේෂ වැටලීම් ක්‍රමය මෙහිදී කැපීපෙනෙයි.

පොලිස්පති නියමයෙන් මුළු දිවයිනම ආවරණය කෙරෙන පරිදි සිදුකළ වැටලීම් අතරින් මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ගතවූ මාස 9ක කාලයේදී සැප්තැම්බර් 30 වැනිදා තෙක් විශේෂ වැටලීම් 12ක් සිදුකර ඇති අතර ඒවා විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම හා රථවාහන වැරදි වශයෙනි. එසේ පුද්ගලයන් 100,715 දෙනෙක් සෝදිසියට ලක්කර පුද්ගලයන් 32,696 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලබාගෙන ඇති රථවාහන නඩු ප්‍රමාණය 58,123 කි. එම රථවාහන නඩු ප්‍රමාණය ලබාගැනීම සඳහා සෝදිසි කර ඇති වාහන ගණන 50,003 කි.

විශේෂ වැටලීම් දොළහ ක්‍රියාත්මක කිරීම මගින් අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 10,975 කි. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 8514ක් වන අතර මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රමාණය 7013 කි. බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගත් රියැදුරන් ප්‍රමාණය 5504ක් වන අතර බලපත්‍ර රහිතව වැලි ගොඩදැමීම, රජයේ අරක්කු බලපත්‍ර රහිතව අලෙවි කිරීම හා වෙනත් දූෂණ නඩු 652ක් මෙන්ම බලපත්‍ර නොමැති තුවක්කු අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 38 කි. මේ සියල්ල සඳහා ක්‍රියාත්මක කළ මාර්ග බාධක ගණන 3104ක් බවත් වැටලීම් 12 සඳහා දායකත්වය ලබාදුන් පොලිස් නිලධාරීන් ප්‍රමාණය 190,265ක් වන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

දිවයින පුරාම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් සිදුකිරීමට පෙර පවතින තත්ත්වය හා වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වන පොලිස්පතිවරයා වැටලීම් ක්‍රියාත්මක කළ යුතු දිනයක් හා වේලාවක් පිළිබඳව ක්ෂණික තීරණයකට එළඹෙයි. එහි රහස්‍යභාවය රැකෙන අයුරින් රට පුරා පොලිස් ස්ථාන අතර පණිවුඩ හුවමාරු වන ක්‍රමවේදයට දැනුම්වත් කිරීම සිදුකරයි. ඒ මෙහෙයුම සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය රුස්කරගැනීමට පහසුවන පරිදිය.

මෙහිදී පොලීසියේ පණිවුඩ බැහැර කිරීමේ ක්‍රමවේදය මගින් සිදුකරන මෙහෙයුමේ ස්වභාවය, ඉලක්කගත වැටලීම් කුමක්ද යන්නත් ඒ සඳහා භාවිත කරන උපක්‍රම කවරේද යන්නත් සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන බාර ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කිරීම සිදුකරයි. මෙවැනි වැටලීම් සඳහා නිශ්චිත කාලසීමාවක් යෝජනා කර ලබාදෙන අතර බොහෝවිට එම කාලයට මධ්‍යම රාත්‍රිය හා අලුයම ඇතුළත්ය. එවැනි වැටලීම් තුළදී ඉලක්කගතව අත්අඩංගුවට ගන්නා අයට අමතරව විවිධ අපරාධවලට සම්බන්ධවූවන් හා වරෙන්තුකරුවන් කොටුවීමද සුලබය.

අත්අඩංගුවට ගන්නා සියලුම සැකකරැවන් පොලීසියේ ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව සටහන් තබා අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකෙරේ. එවැනි සෑම විශේෂ මෙහෙයුමක් අවසානයේදීම පොලිස් ස්ථාන මට්ටමෙන් සිදුකළ වැටලීම අදාළ පොලීසිය බාර පොලිස් කොට්ඨාසය හරහා පොලිස් මූලස්ථානය වෙත දැනුම්දීම පිළිවෙතයි. එහිදී සිදුකළ වැටලීම, අත්අඩංගුවට පත් වරෙන්තුකරුවන් සංඛ්‍යාව, රථවාහන නඩු, බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි, සෝදිසි කිරීම් ප්‍රමාණය වශයෙන් වගුගත කිරීමක් සිදුකර නිශ්චිත සංඛ්‍යාලේඛන පිළිබඳ අවසන් වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත ලබාදෙයි. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකරගේ අත්සනින් යුතුව එම වාර්තාව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීම සිදුකෙරේ.

මේ අයුරින් 2018 වසරේ ගෙවුණු මාස 9 තුළ සිදුකළ වැටලීම් 12 අතරින් ඉකුත් 29 – 30 අතරතුරදී කළ මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 1714 දෙනෙක් සහ විවිධ අපරාධවලට සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 787ක් සිදුකළ බවද එක් දිනයකදී සිදුකර ඇති වැඩිම වාහන සෝදිසි ප්‍රමාණය 29090ක් බවත් එය පසුගිය ජූනි 26 දින සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සමන්ත ප්‍රදීප් විල්තෙර