2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

නිවිති කොළෙත් රටින් ගේන්න ඕනෑද?

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම සහ දැනට උද්ගතව ඇති ආනයන අපනයන අතර පරතරය පුළුල්වීම හෙවත් ගෙවුම් ශේෂ ගැටලුව නිරාකරණය කරලීම සඳහා ආනයන පාලනය කළයුතු බවට මේ වනවිට රට තුළ මතයක් ඇතිවෙමින් පවතී. ආණ්ඩුව මෙහි එක් පියවරක් වශයෙන් වාහන ආනයනය පාලනය කිරීම, මෙන්ම ශීතකරණ, වායුසමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් වර්ග, පාවහන් සහ සුවඳ විලවුන් ආදිය ආනයනය කිරීම අකර්මණ්‍ය කර තිබේ.

දැනට ඇතිව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග දෙකක් ගැනීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී. එනම් අපනයන වර්ධනය කිරීම සහ ආනයන පාලනය කිරීමය. අපනයන ඉහළ නැංවීම සතියකින් මාසයකින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා වසර ගණනක දීර්ඝ කාලයක් අවශ්‍ය වේ. අදාළ මධ්‍ය හා දිගුකාලීන සැලසුම්ද සකස් කළ යුතුව තිබේ. එහෙත් වර්තමානයේ උද්ගතව ඇති හානිය ක්ෂණිකව පාලනය කිරීම සඳහා ගත හැකි එකම විසඳුම ආනයනය පාලනය බව වගකිවයුත්තන්ගේ අදහසය. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ආණ්ඩුව මේ සඳහා දැනටමත් ප්‍රමාද වී ඇති බවය. ආනයනය පාලනය වෙනුවට අවිචාරශීලී ලෙස අනවශ්‍ය ආනයන ප්‍රවර්ධනය කිරීම මෙම අයහපත් තත්ත්වයට හේතුව බව ඔවුහු කියති.

තත්ත්වයේ බැරෑරුම්කම නිසාදෝ රටට අවශ්‍ය දේ පමණක් ආනයනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පසුගිය සතියේ පැවසීය. දේශීය කර්මාන්ත ශක්තිමත් කර දේශීයව නිෂ්පාදනය කරන ද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වීම නතර කිරීමට ජනපතිගේ අවධානය යොමුව ඇති බව ද ඔහු කියයි. ප්‍රමාද වී හෝ මෙය ගත් සුදුසු තීරණයකි. එහෙත් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම ජනාධිපතිට හෝ මුදල් අමාත්‍යංශයට තනිව කළ නොහැකි අතර මුළු අමාත්‍ය මණ්ඩලයේම ක්‍රියාශීලී මැදිහත්වීම අවශ්‍ය වෙයි. රටේ තත්ත්වය ගැන සලකා ඇමැතිවරුන් වගකීමෙන් කටයුතු කළයුතු බව වැඩිදෙනාගේ අදහසය.

මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ අද වනවිට ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණ වී ඇති බවය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකර ආනයන භාණ්ඩ වෙනුවට දේශීය නිෂ්පාදන මිලට ගැනීමේ ප්‍රතිපත්තියකට යා යුතු බව ඔහු අවධාරණය කර ඇත.

අද රටේ ආර්ථික තීන්දු තීරණ ගැනීම සිදු කෙරෙන්නේ ජාතික ආර්ථික කවුන්සිලය හරහාය. ජනපති, අගමැති, මුදල් ඇමැති සහ මහ බැංකු අධිපති ද එහි සාමාජිකයෝ වෙති. ඒ සියලුදෙනාම මෙහි රැස්වීම්වලදී එකතුවන නිසා එකිනෙකා තවත් අයට අදහස් ප්‍රකාශ කර නොගෙන මේ සඳහා සාමූහික තීරණයක් ගැනීමට හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද මතයකි. එහෙත් අද රටේ සිදුවන දේවල හැටියට මේ සියලුදෙනා සාමූහිකව තීරණ ගන්නේ ද යන්න පිළිබඳ ඇතිව ඇත්තේ සැකයකි. කිහිප දෙනා තනි තනිව මත ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ කිසිදු තීරණයක් ගත නොහැකිවීම බව පෙනෙන්නට තිබේ.

ආනයන වැඩිවීම මෙන්ම අපනයන කඩා වැටීමද මෙම තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇත. අපේ වසරක ආනයන වැය ඩොලර් බිලියන 20ක් වන අතර අපනයනය ඩොලර් බිලියන 10 දක්වා අඩුවී ඇත. බලධරයන් කළයුතු වන්නේ අපනයන වැඩිකර ආනයනය අඩුකිරීමය. එවිට ගෙවුම් ශේෂ ගැටලුව පැන නගින්නේ නැත. අත්‍යවශ්‍ය ආනයන තෝරා ගැනීම වැදගත්ය. පසුගිය මාස 18ක කාලයට රුපියල් කෝටි 7000ක් සහල් ආනයනය සඳහා පිටරටට ගොස් ඇති බව ආනයනකරුවන්ගේ සංගමය කියයි.

පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකාව මේ වනවිට ධාන්‍යවර්ග රාශියක් පිටරටින් ගෙන්වයි. සහල්, පරිප්පු, මුං ඇට, කඩල, කුරක්කන්, කව්පි, බාර්ලි, තල ආදී මෙරට නිෂ්පාදනය කළ හැකි ඇට වර්ග ආනයනය කිරීම අපේ පෙරදිග ධාන්‍යාගාරය යන නමටද ලජ්ජාවට කරුණක් නොවේද? එසේම අපේ රටේ එළවළු අලෙවි කරගත නොහැකිව අලින්ට කන්න දැමීමට සිදුව තිබියදී නිවිති වැනි කොළ වර්ග පවා ආනයනය කිරීමට කටයුතු කිරීම ප්‍රහේලිකාවකි. ගුණයෙන් සපිරි, රසවත් පළතුරැ ශ්‍රී ලංකාවේ ඇතිතරම් තිබියදී කෙසෙල් ගෙඩි, දෙළුම්, මිදි, ඇපල්, අඹ, අන්නාසි, දොඩම්, නාරං, පෙයාස් ආදී පළතුරු වර්ග පිටරටින් ගෙන්වීම ඛේදවාචකයක් නොවන්නේද? එසේම රට වටේ මුහුද තිබියදී මාළු සහ කරවල ආනයනය කිරීම ද කුකුළු මස්, බැටළු මස්, එළු මස් ආදී දීර්ඝකාලයක් ශීතකරණවල තබා ඇති මස්වර්ග ආනයනය කිරීමද ගැටලුවකි.

එසේම අපේ උඩරට ප්‍රදේශයේ ඉතාම අයස්කාන්ත වර්ණවත් මල් වර්ග තිබියදී පිටරට මල් ගෙන්වීමද, කෘත්‍රිම මල් වර්ග ආනයනය කිරීමද සිදුවේ. පිටකොටුවේ පදික වේදිකාවේ පවා අලෙවි වන පිටරට සරුංගල්, සෙල්ලම් බඩු, වර්ණ චිත්‍ර, රතිඤ්ඤා හා ගිනිකෙළි භාණ්ඩ, මල් වර්ග, පාවහන්, ඇඳුම් පැළඳුම්, බෑග්, කාඩ් ආදිය අනන්තවත් දක්නට ඇත. මේවා බොහෝවිට ප්‍රමිතියෙන් බාල වන අතර ලංකාවේ නිෂ්පාදන මේවාට ඉදිරියෙන් සිටී.

පසුගිය කාලයේ පොල් මිල ඉහළ ගියවිට ආණ්ඩුව පොල් ආනයනය කිරීමට උත්සාහ කළ අතර පසුගිය රජය සමයේදී කේරලයෙන් ගෙනා පොල් නැවක් මුහුදට හලන්නට සිදුවූ පුවතද සිහිපත් වෙයි. අපට අවශ්‍ය වියලි මිරිස්වලින් සියයට 70ක්ද, කිරිවලින් සියයට 70ක්ද රෙදිවලින් සියයට 90ක්ද තවමත් ආනයනය කරයි. රටේ සාර්ථකව පැවැති වාලච්චනේ කඩදාසි කම්හල වසා දැමූ අපි අවශ්‍ය කඩදාසිවලින් සියයට 99ක් ආනයනය කරමු. අපේ රටේ සීනි කම්හල් අකර්මණ්‍ය කර කන්තලේ කම්හල වසා දමා අපට අවශ්‍ය සීනිවලින් 91.5ක ප්‍රතිශතයක් ගෙන්වයි. අපට මසකට සීනි ටොන් 45,000ක් අවශ්‍ය අතර කිලෝවක් රුපියල් 50-55 ගණනේ සීනි ආනයනයට විශාල විදේශ විනිමයක් නාස්ති කරයි.

ලොකු ලූනු වගා අස්වැන්න ඉතාම යහපත් මට්ටමක තිබුණ ද ගොවියන්ගේ විරෝධයද නොතකා අපට අවශ්‍ය ලූනුවලින් සියයට 62ක් තවමත් ආනයනය කරයි. අපේ රටේ අර්තාපල් නිෂ්පාදනය සාධාරණ ලෙස කළමනාකරණය කළා නම් ස්වයංපෝෂිත කරගත හැකි නමුත් අද වසරකට සාමාන්‍යයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් ආනයනය කෙරේ. අපට වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් අවශ්‍ය වේ. ආණ්ඩුව කරනුයේ සහල් හිඟයක් ඇතිවූ වහාම කරුණු සොයා නොබලා සහල් ආනයනය කිරීමය. වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ගෙනෙන බව වාර්තා වේ.

මේ අනුව පෙනී යන්නේ ආනයන වියදම වැඩිවී ඇත්තේ අයහපත් කළමනාකරණය නිසා බවය. රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම දේශීය නිෂ්පාදනවලට අහිතකර වන අතර විදේශවලට අපේ මුදල් ඇදී යාමද සිදුවේ. පාරිභෝගිකයාට ද ඇතැම්විට බාල භාණ්ඩවලට ඉහළ මිලක් ගෙවන්නට සිදුවෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ:

පසුගිය වසර තුන තුළදී රුපියල අවප්‍රමාණය වීම දිගින් දිගටම වර්ධනය වී මේ වනවිට අමෙරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියලට 172-173 ගෙවිය යුතු තැනට පත්ව තිබෙනවා. රුපියල ඉදිරියේදී තවදුරටත් අවප්‍රමාණය වේ යැයි බලාපොරොත්තු වෙනවා. මේ නිසා ගෙවුම් ශේෂ හිඟය හෙවත් ආනයන අපනයන අතර වෙනස අමෙරිකානු ඩොලර් බිලියන 11 දක්වා ඉහළ නැග තිබෙනවා.

අපනයනයට වඩා ආනයනය වැඩියි. මෙම තත්ත්වය පියවිමට පසුගිය කාලයේ විදේශ ආයෝජන, විදේශවලින් මුදල් ලැබිම ආදිය යම් පමණකට පිටිවහල් වුණා. එහෙත් පසුගිය සමයේ රටට විදේශ ආයෝජකයන් ආවේ ඉතාම අඩුවෙන්. ඒ අය ගෙන්වා ගැනීමට ආණ්ඩුව උත්සාහ කළේ නැහැ. එපමණක් නොවෙයි රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය අයහපත්වීම නිසා මෙරට සිටි ආයෝජකයන්ද සිය ආයෝජන ඉවත්කර ගත්තා. මෙරටට මුදල් එවන විදේශ රටවල සිටින ශ්‍රමිකයන් රුපියල තවත් අවප්‍රමාණ වේ යැයි සිතා මුදල් රඳවාගෙන සිටියේ අනාගතය ඔවුන්ට වාසිදායක වේ යැයි සිතීමෙන්.

රජය ආනයන පාලනය කිරීමට මේ වනවිට උත්සාහයක යෙදෙනවා. තත්ත්වය උග්‍ර වනතුරු ඒ පියවර ගත්තේ නැහැ. එසේම විදේශවලට යන අය සඳහා වන වියදම, ඒ අය රැගෙන යන මුදල් ආදිය පාලනය කළ යුතුයි. එහෙත් එය තවම සිදුව නැහැ. දේශපාලකයන් සහ විවිධ අය පිටරට යාම වැඩිවෙමින් පවතිනවා.

ගෙදර ජීවත්වන්න අපහසු වූ විට අනවශ්‍ය වියදම් පාලනය කළ යුතුයි. නෑදෑ ගෙවල්වල යාම අනවශ්‍ය භාණ්ඩ පාවිච්චිය අඩුකළ යුතුය. රටත් එසේමයි. එය සරල ක්‍රමයක්. එහෙත් එය මෙතෙක් සිදුව නැහැ. ආනයනය පාලනය කළ යුතුයි. අවශ්‍ය දේ මෙන්ම එයට වැඩියෙන් අනවශ්‍ය දේ ගෙන්වන බවයි පෙනෙන්නේ. අද රටට ආනයනය කරන භාණ්ඩ ඇත්තටම අවශ්‍යද යන්න සොයාබැලිය යුතුයි. මෙය රැල්ලකට තමා සිද්ධ වෙන්නේ. රුපියලේ විදේශ අගය පාලනය කළ හැක්කේ ආනයන පාලනයක් තුළයි. අපට ආනයන අපනයන සැලසුමක් නැහැ. දේශපාලනඥයන්ට සම්බන්ධ මුදලාලිලා කිසිදු හිරිකිතයක් නැතිව අනවශ්‍ය දේවල් රටට ගෙනත් ජනතාව ඒවාට හුරු කරනවා. එවිට ජනතාව දේශීය දේ වෙනුවට පිටරට දේ සොයා යනවා.

එසේම ආණ්ඩුව ද රට තුළ භාණ්ඩ පිළිබඳ යම් හිඟයක් ඇතිවූ විට කිසිදු සොයා බැලීමකින් තොරව ආනයනයට යනවා. විදේශ විනිමය වැයවීම වගේම එයින් සිදුවන තවත් අහිතකර ප්‍රතිඵලයක් තමා දේශීය නිෂ්පාදකයාට, ගොවියාට පහර වැදීම. උදාහරණ ලෙස සහල්, අල, ලූනු, මිරිස්, මේවා ආනයනය කරන්නේ දේශපාලනඥයන්ට සම්බන්ධ පෞද්ගලික මුදලාලිලාට වාසිවෙන ලෙසටයි.

ආනයනය කිරීමේදී කිසිදු පාලනයක් නැහැ. අවශ්‍ය දේවලට වඩා අනවශ්‍ය දේ ගෙන්වනවා. උදළු මිටි පවා ඉන්දියාවෙන් ගෙන්වනවා. එය මට මුහුණපාන්නට වූ අත්දැකීමක් නිසයි පැවසුවේ. අවශ්‍ය දේ වුවත් අතිරික්ත තොග නොගෙන්වා යම් සීමාවකින් ගෙන්විය හැකියි. නාස්ති නොවිය යුතුයි. අල, ලූනු වගේ දේවල් අනවශ්‍ය ලෙස ගෙනල්ලා කුණුවෙලා විනාශ කරන්න සිදුවූ අවස්ථා එමටයි. අවිචාරශීලී ආනයන ක්‍රමයක්, මුහුණ බලලා ආනයනය කිරීමක් තමා අපේ රටේ ඇත්තේ.

මගේ පෞද්ගලික අදහස නම් වාහන ආනයන පාලනය ආදියෙන් අපේක්ෂා කරන යහපතට වඩා අයහපත වැඩි බවයි. මෙය එක අතකින් සාමාන්‍ය ජනතාවට වැදුණු පහරක්. වාහන ව්‍යාපාරයට වැදුණු පහරක්. එසේම වාහන ආශ්‍රයෙන් බිහිවන ව්‍යවසායකයන්ට සිදුවූ හානියක්. මෙම තත්ත්වය ඉදිරියට ද අහිතකරයි. වාහනවල යම් පාලනයක් තිබිය යුතු බව ඇත්ත. එහෙත් එහි යම් වර්ග කිරීමක් කළ යුතුව තිබුණා. වාහන ගෙන්වීමට වඩා විදේශ විනිමය නාස්ති වන කොතරම් දේවල් ආනයනය කරනවාද? පාලනය කළ යුත්තේ මොන විදිහේ ආනයනයද කියලා අධ්‍යයනයකින් තීරණය කළ යුතුයි. එහෙම නැතුව හිතුණු හිතුණු විදියට මිල ඉහළ පහළ දැමීම, කොන්දේසි පැනවීම ආර්ථිකයට අහිතකරයි. හෙට වෙන්නේ කුමක්ද කියලා නොදැකීම නිසා විදේශ ආයෝජකයන් පමණක් නොව දේශීය ආයෝජකයන් පවා කලකිරීමට පත්වෙනවා. විදේශ අය ගෙන්වා ගැනීමට නම් ස්ථාවර ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

අපේ මිල වෙනස්වීම් ගැන ජනතාවට නිවේදනය කරන්නේ කඩිමුඩියේ. ඔවුන්ට හැඩගැසෙන්න වෙලාවක් නැහැ. වෙන රටවල නම් යම් වෙනසක් කරන විට ජනතාවට එයට හැඩගැසෙන්න කාලයක් ලබා දෙනවා. රු.8ට නිවේදනය කරලා රු.12 සිට මිල වැඩිකිරීම් තමා අපි කරන්නේ. ජනතාව කරකවල අතහැරියා වගේ වෙනවා. අද සිදුවන දේ ගැන සෑම දෙනා තුළම තියෙන්නේ සැකයක්. එය ජනතාවගේ ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයටද හානියක්.

මේ වනවිට විදේශවල ශ්‍රමිකයන්ගෙන් අපට ලැබෙන මුදල් සියයට 1.7කින් අඩුවී ඇත. ඔවුන් තුළ ඇති සැකය දුරු කිරීම වහා කළයුතුයි. අපේ රට ආර්ථික අර්බුදයකට ගමන් කරන බවට සංඥා දැන් දැන් දැල්වෙමින් පවතිනවා. ආර්ථික වර්ධනය පහළ යාම, උද්ධමනය ඉහළ යාම, සේවා වියුක්තිය ඉහළ යාම, කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටීම, ආයෝජකයන් රට හැර යාම මේවායින් කිහිපයක්. රජය මේ ගැන අවධානය යොමු නොකළහොත් ඉදිරිය සුබවාදී නොවනවා ඇත.

►යසවර්ධන රුද්රිගු