2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ගොඩබිම දකින සුන්දර හෝරාව

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

මහා සාගරය මැද මත්ස්‍ය  අස්වනු නෙළා නැංගුරම් දැමූ අපේ යාත්‍රව, වරායට සේන්දුවන අදහසින් ආ පිට හරවන දිනය අදයි. ට්‍රෝලර් කතාවේ අවසාන කොටස දිගහැරෙන්නේ මෙලෙසිනි. මෙතෙක් කතාවෙන් අප ඔබට මහ මුහුදේ ඉමක් කොනක් නැති ක්ෂිතිජය පමණක් පෙනෙන ඉමක ජීවිතය සොයන මිනිස්සුගේ අපුරු අත්දැකීම් තතු විත්ති  කීවෙමු.

මෙතෙක් අපට ට්‍රෝලර් කතාව කීවේ දේව අනුර ද සිල්වා මහතාය. අද කතාවේ අවසාන කොටස අප ඔබට කියන විට ඔහු මහ සාගරයේ ඈත දියඹේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටී. එනිසාම කලක ධීවරකු වූ චමින්ද ලක්මාල් මහතා ට්‍රෝලර් කතාවේ අවසාන සටහන් කරන්නට අපට සහය වෙයි.

ට්‍රෝලර් ගමනේදී එය ප්‍රීතිමත් දිනයකි. සියලු කටයුතු නිමා වී අත. ඔවුන් සියලු දෙනා එක්වී පිළිවෙළින් දැල් ආම්පන්න ගබඩා කරති. අයිස් ගැසූ  මාළු පිළිබඳව ද නැවත බලා සියලු අඩුපාඩු සකසා දීර්ඝ ගමනකට සුදානම් වන ඔවුන්ගේ හදවත් පුරා සොම්නසක් ඇත.

“මාසෙකට දවස් හතළිහකට පනහකට පස්සේ හොඳට පිරිසුදු වෙලා නාගන්නවා. ඇත්තටම හොඳ වතුර ටිකක් නාගන්න ලැබෙන්නෙ ඒ දවසට තමයි. බෝට්ටු ආපහු හරවන දවසට, ඊට පස්සේ අපි කරිජ්ජ අතගානවා අඩුයි"

දැන් මෙතෙක් ඉතා පරිස්සමෙන් පරිහරණය කළ ගොඩබිමෙන් රැගෙන ගිය ජලය රිසි සේ පරිහරණයට ඔවුනට අවස්ථාව ලැබී ඇත. දැන් බෝට්ටු හරවා ආපසු ගොඩ බිමට එන ගමන ඔවුන් අරඹා තිබේ. කරන්න මහා වැඩක් නැතිවා සේය. අමාරුම හරිය නිමාවී ඇත. බෝට්ටුවේ හැම දෙනාගේම කතාව ගොඩබිමේ මාළු මිල ගැනය. රේඩියෝ හා සන්නිවේදන මාර්ග හරහා වාරයේ මාළු මිල ඔවුහු දැන ගනිති. තමන්ට ලැබෙන කොටස පිළිබඳව මහා සාගර පරයන බලාපොරොත්තු හැම දෙනාගේම සිත්වල රළ මෙන් ඉහළ නැගේයි.

“අපි නිතරම විස්තර ගන්නවා ගොඩට කතා කරලා. මාළු හොඳයි කියලා දැනුණොත් අපි එන්ජින් එකේ වේගේ වැඩිකරනවා ඉක්මනින් ගොඩට එන්න. මාළු ටික මිල කරගන්න තමයි කාගෙත් උත්සාහය"

බෝට්ටුවේ අයිස් ගැසූ මාළු ඇත. ගමන ආරම්භයේදී වේලාගත් බෝට්ටු කරවල ඉතිරිව තිබේ. ගමනේ මුල් අදියරේදී අල්ලා ගත් මාළු පලා ලුණු දමා  ලුණු මාළු ලෙස සකසාගෙන තිබේ. මේ සියල්ල ඔවුන් ගොඩබිමට රැගෙන එන මහා අනර්ඝ වස්තූන්ය. එන ගමනේ කෑමෙන් බීමෙන් අඩුවක් ද නැත.

“මෙහෙම දෙයකුත් තියනවා. අපි බෝට්ටුවක් හැරෙව්වොත් පැය විසිහතරක් එක දිගට දුවනවා. අපි ගමන එන්න හවස හයට පටන් ගත්තා කියමුකෝ. පහුවැනිදා හවස හයට තමා අයේ එන්ජින් එක නවත්වන්නේ. ඊට පස්සේ නවත්තනවා. ඒකට අපි කියන්නේ පාය දානවා කියලා. සී ඇන්කර් එක දාලා එන්ජින් එක ඕෆ් කරලා හීටර් එක අඩුවෙන්න තියනවා. පැය දෙකක් විතර තමා අපි එහෙම ඉන්නෙත්"

ඇතැම් විට මෙලෙස ට්‍රෝලරය නවතා සිටින විට දිය අතකට හසුවහොත් ආපසු දියඹ දෙසට බෝට්ටු ඇදී යා හැකිය. එය පාඩුවකි. ඒ නිසාවෙන් ඔවුන් එන ගමනේ විරාම ගන්නේ අඩුවෙනි. දිය කඩ සැර වී ඇත් නම් එන්ජිමේ හීට් එක ගැන නොසිතාම එක දිගට යාත්‍රා කරන්නට ඔවුනට සිදුවෙයි. එන ගමනේදීත් සියලු තීරණ ස්කීපර් සතුය. ඔහු තම ට්‍රෝලර්යේ සිටින ජ්‍යෙෂ්ඨ අත්දැකීම් බහුල ධීවරයන් සමඟ ඇතැම් අදහස් හුවමාරැ කරගනී.

බෝට්ටුව හරවා එන මේ ගමනේ සුන්දරම කතාව චමින්ද මහතා අපට කියන්නට සැරසෙයි. මනස එක් තැන් කොට ඒ අපූරු දසුන අපි සිතින් මාවා ගතිමු.

“සාමාන්‍යයෙන් ඔහොම ඇවිල්ලා ඇවිල්ලා කිලෝමීටර් තිහ තිස්සේ පහ වගේ වැටෙන කොට ලංකාවේ උඩින් තියන කඳු පේන්න ගන්නවා. කඳු පේන්න ගත්තම හිතට සහනයක්නේ ඉතින්. මේක තමා ගොඩබිම මේකට යනකන් තමයි සිහියක් නැත්තේ. මුළු මාස ගාණක් මුහුදේ ඉදලා ඒ ගොඩබිමට යන එක තමා සංතෝසේ"

මහ මුහුදේ ඔවුන් හඹා ගියේ ජීවිතය නොව ජීවත් වීමට අවැසි ඉසුරු බව අපට හැඟේ. ජීවිතය නම් ඇත්තේ ඈත පේන්න ගොඩබිමේ අඹු දරුවන් දෙමාපියන් ඇතුළු සැම අතරය. 

“ඊළඟට ගෙවෙන හැම පැයක් ඇතුළතම ගොඩබිම ටිකෙන් ටික, ටිකෙන් ටික මතුවෙන්න ගන්නවා. කඳු පංති හොඳට පේන්න ගන්නවා. ගස්කොළන්වල පාට පෙන්න ගන්නවා. උස බිල්ඩින් පේන්න ගන්නවා. ඔහොම ඔහොම ගොඩබිමට ළංවෙන කොට සම්පූර්ණ දූපත විදිහට අපේ රට පේන්න ගන්නවා. හරි ලස්සයි. හෙන ආසයි ඉතින්. මුහුදෙන් බලන කොට ඇත්තටම ලංකාව හරි ලස්සනයි"

මෙසේ වරායට සේන්දුවන්න සැරසෙන ට්‍රෝලර්  කඩමත්ත නැතිනම් වරායේ ජැටියට ඇතුළුවන ස්ථානයට කිලෝමීටර් දෙකක් කිට්ටු වී තිබේ. දැන් ධීවරයෝ එක්ව බෝට්ටුව නැවත පරික්ෂා කරති. අඩුපාඩු සකසා ගත් ඔවුහු එතැන් පටන් සිය ආගමානුකූලව සිත පහදවා ගනිති. එය මහ මුහුදේ සම්ප්‍රදායක් කීවොත් නිවැරදිය. අනුර මහතා පෙර අපට කිවූ කතාවක් සිහිවෙයි. කඩමත්ත පසුකර විට ද ඔවුන් එදා දියඹ ගියේ ආගම ධර්ම සිහිකරමිනි. එය ආපසු එන ගමනේ එසේමය.

“මේ පැය දෙක ඇතුළේ බොහොම සීරුවෙන් තමා එන්නේ. මොකද ගල්පර තියනවා. ස්කීපර්ට අමතර අනිත් අයත් බෝට්ටුවේ දෙපැත්තට වෙලා පරිසමින් වට පිට බලාගෙන තමා මේ පැය දෙක එන්නේ. කඩමත්ත ළංවෙන කොටම අපි ඔක්කොම එනවා ඉස්සරහට. මොකද වරායෙන් තව බෝට්ටුවක් එන්න පුළුවන් ඉස්සරහට. අන්තිම විනාඩි දහය විතර අපි හරි පරිස්සමෙන් තමා බෝට්ටු වරායට ඇතුළු කරන්නේ"
උපයාගත් සියල්ල එහි ඇත. ඉදින් අවසන් මොහොතේ ඔවුන් තුළ වන්නේ කෙබදු හැඟීමක් ද එය සිතා ගත නොහැකි තමරම් සතුට, බිය ආදී දහසකුත් හැඟුම් එකින් එක මුහු වූ හැඟීමකි.

වරායට බෝට්ටුවේ හිමිකරු නැතිනම් මුදලාලි පැමිණ සිටී. එදිනම රාත්‍රියේ හෝ පසු දා මාළු බෝට්ටුවේ බෑම සිදුවෙනු ඇත. අවැසි නම් මාළු තොග වෙළෙඳාමට මුදලාලිලා වරායේ සිටිති. සීයට පහක කොමිස් මුදල් තබාගෙන ඔවුහු මාළු තොග වෙළෙඳාමට සම්බන්ධීකරණය කර දෙති. එසේ නැති නම් වෙරළේ වෙළෙඳාමට හෝ සෘජු සම්බන්ධතා හරහා මාළු කොළඹ පැටවීමට පහසුකම් ඇත.

ලංකාවේ මාළු වෙළෙඳපොළ ඉතා අවිනිශ්චිතය. සියලු වෙහෙස ඵල නොදරන ඉතා කටුක අවස්ථා මෙම ධීවර ප්‍රාජාව අත්විඳ ඇත්තේ එබැවිනි.

දින කිහිපයක් ගතවෙන විට  මාළු වෙළෙඳාමෙන් මුදල් ලැබීමට ධීවරයන්ට හැකිය. එම ගණන් හිලවු හරියට බේරා ගැනීමට අද ධීවරයෝ දැන සිටිති. බෝට්ටු හිමියාත් ගොඩ බිමට පැමිණි තම ධීවරයන් වෙනුවෙන් සත්කාර කරන්නට මැලි නොවේ. ඒ මේ රැකියාවේ ස්වාභාවයයි. විශ්වාසය, අවධානම සියල්ල මෙහි රැඳී ඇත. බාර හාර වී යන ගමනේ  එම කටයුතු සපුරාලන්නට ද ධීවර පවුල්වල පිරිස් එක්වෙති. ලැබෙන මුදල සමඟින් සතුටින් තම අඹුදරුවන් සමඟින් ගොඩබිමේ සිටින කාලය ඔවුහු ගතකරති.

එකින් එක දින ගතවී යයි. නැවත මහ සුයුර බලා ඉසුරු සොයා යාත්‍රා කරන්නට දිනය ළංවී ඇත. සිතේ සංතාපයකි. එහෙත් යායුතුව ඇත. මේ ට්‍රෝලර් ජීවිතයේ අන්දරයයි. දින සති ගෙවා පැමිණි ට්‍රෝලර් කතාවෙන් ද අප සමු ගතයුතුව ඇත. මේ මහා සාගරය ජයගත් ට්‍රෝලර් මිනිස්සුගේ කතාව නම් මහ වෙරළ රළමත සයුරේ පෙණ මත සදාතනික ලියැවී තිබෙනු ඇත.

►විශේෂ ස්තුතියි : දේව අනුර ද සිල්වා 
සටහන : චමිඳු නිසල් ද සිල්වා