2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

කළුතරට ගැලුවේ ඉන්දුනීසියාවේ සුනාමියද?

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

පසුගිය සතියේ ඉන්දුනීසියාවේ සුලවෙයි දිවයිනට බලපෑ භූ කම්පනයෙන් පසුව ඇතිවූ උදම් රළ පහර මේ වනවිට මිනිස් ජීවිත 1200කට වඩා සංඛ්‍යාවක් බිලිගෙන තිබේ. සුලවෙයි දූපතේ පාලු නම් මුහුදුකරේ නගරය වෙත බොහෝ දෙනකු උත්සවයක් සඳහා එදින පැමිණ සිටි අතර මීටර් 06ක් පමණ උසකින් පැමිණි මෙම උදම් රළෙන් බේරීම සඳහා ඔබ මොබ දිව යන ආකාරය බොහෝ විද්‍යුත් නාලිකා මගින් දැකගත හැකි විය.

රිච්ටර් මාපකයේ 7.5ක් ලෙස සටහන් වී තිබූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සමඟ පැමිණි උදම් රළ ගොඩබිමට පැමිණ තිබුණේ පැයට කිලෝමීටර 800ක පමණ වේගයකිනි. කෙසේ වෙතත් පාලු ප්‍රදේශය ආසන්නයේ සුනාමි සන්නිවේදකයන් සවිකර නොමැති අතර ආසන්නතම සුනාමි සංවේදකයේ සටහන්ව ඇත්තේ භූ කම්පනයෙන් සෙන්ටිමීටර් 06ක පමණ සුලු රළ පහරක් ඇතිවිය හැකි බවයි.

මෙම භූ කම්පනයත් සමඟ ඉන්දුනීසියාවේ භූ විද්‍යා බලධාරීන් නිකුත් කළ සුනාමි අවදානම ද විනාඩි 34ක් ඇතුළත ඉවත්කරගෙන ඇති අතර එය මේ වනවිට ලෝකයේ බොහෝ පිරිසකගේ විවේචනයටද ලක්ව ඇත.

මෙයට වසර 14කට පමණ පෙර ඉන්දුනීසියාව ආසන්නයේ ඇති සුමාත්‍රා දූපත් අසල සිදුවූ භූකම්පනයකින් පසුව ඉතිහාසයේ ප්‍රථමවරට මෙරටටද සුනාමි තත්ත්වයක් ඇතිවූ අතර පුද්ගලයන් 30957 දෙනකු මරණයට පත්වී තවත් 4698 දෙනකු අතුරුදන් වූහ. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (28)  දින දකුණු වෙරළ තීරයෙහි අකුරල, තෙල්වත්ත, පැරෑලිය යන ප්‍රදේශවල මුහුදු රළ පහර මහා මාර්ගයට ගොඩගැලීම සිදුවූයේ ඉන්දුනීසියා භූ කම්පනයෙන් පසුවය. මේ නිසා බොහෝ දෙනකු එය සුනාමි තත්ත්වයක පෙර නිමිත්තක් ලෙස සලකමින් කලබල වූ බවද වාර්තා විය. කෙසේ වෙතත් මේ තත්ත්වය සුනාමි තත්ත්වයක් බවට වාර්තා නොවීමත් සමඟ බිය පහව ගියේය. එහෙත් කළුතර සිට ගාල්ල දක්වා ගාලුපාර තැනින් තැන මුහුදු ජලය ගැලීමත් වැලි විශාල ප්‍රමාණයක් මුහුදු රළ සමග ගොඩගැසීමත් සිදුවී තිබිණි. මෙය ඉන්දුනීසියාවේ භූ කම්පාවට සම්බන්ධයක් නැති බව සඳහන් වේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙලෙස මුහුදු රළ මහාමාර්ගයට ගොඩගැසීමට හේතු වී ඇත්තේ මුහුදු වෙරළේ ආරක්ෂාවට තිබෙනා ගල් සහ කඩොලාන ශාක පද්ධතිය විනාශ වී යාමය. මුහුදු ඛාදනය වැළැක්වීමට පියවර ගන්නා තෙක්ම වාරකන් කාලයට මෙවැනි වඩදිය රැළි මහාමාර්ගයට පැමිණීම වැළැක්වීමට නොහැකි බවද ඔවුන්ගේ මතයයි.

කෙසේ වෙතත් මෙය පසුගිය 28 වැනිදා ඉන්දුනීසියාවේ සම්බා දූපත ආශ්‍රයේ භූ කම්පනයෙන් පසු ඇතිවූ සුනාමි තත්ත්වයේ බලපෑමක් නොවන බවද කාලගුණ අංශ විසින් පෙන්වා දී තිබිණි.

මෙලෙස ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ, කහව, අකුරළ, තෙල්වත්ත, හික්කඩුව ආදී ප්‍රදේශවල මහා මාර්ගයට ජලය ගැලීම ගැන සහ මෙය සුනාමි තත්ත්වයක පෙර නිමිත්තක්ද යන්න ගැන අපි පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ.ආර්. අබේසිංහ මහතා:

ඇත්තටම පසුගිය 28 වැනි සිකුරාදා දකුණු වෙරළබඩ තීරයේ ප්‍රදේශ කිහිපයකට මුහුදු රළ ගොඩගැසීම සුනාමි තත්ත්වයක් නිසා ඇතිවූ බලපෑමක් නොවන බව මුලින්ම කිව යුතුයි. ජනතාව ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ. මේ දිනවල ගොඩබිමට බලපා ඇති වර්ෂා තත්ත්වය මුහුදටත් ලැබෙන නිසා මුහුදේ දියගොමු වළා (ටොනාඩෝ) තත්ත්වයක් හටගෙන ඇති නිසා තමයි මුහුදු රළ මීටර් 2ක් තුනක් පමණ උස් වී මහා මාර්ගයට මුහුදු රළ ගොඩ ගසන්න ඇත්තේ. ඒ වගේම මේ මාසයේ අවසන් සතිය වනවිට අන්තර් මෝසම් වැසි සක්‍රිය වෙන්න පටන්ගත්තට පස්සේ මෙම තත්ත්වය කොහොමත් දැකගත හැකියි. ඔය වාරකන් කාලය කියන්නේ ඒ කාලවලට තමයි. ඒ වගේම තමයි මේ විදියට මුහුදු රළ උස්වෙන්න චන්ද්‍රයාගේ බලපෑමකුත් තියෙනවා. පුරහඳ හොඳට පායලා බෙංගාල බොක්ක ආශ්‍රිතව තිබෙන කාලවල මෙන්ම ලංකාවට හොඳින් පුරහඳ පායලා තිබෙන අවස්ථාවල මේ විදියට මුහුදු රළ උස්වෙනවා. ඒ වගේම මීට අවුරුදු 14කට කලින් තිබුණ තත්ත්වය නෙවෙයි දැන් ඊට වඩා වෙනස්. දැන් රට පුරාවටම සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා පුවරු දිවයින පුරාම මුහුදු තීරයන්වල තිබෙනවා. ඒ නිසා පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ සුනාමි තත්ත්වය දකුණු වෙරළ තීරයට මුහුදු රළ ගොඩට ගැසීම අතර කිසිදු සම්බන්ධයක් නැහැ. ඒ ගැන අනිසි බියක් ඇතිකරගත යුතුත් නැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න:

මුලින්ම කියන්න ඕන ඉන්දුනීසියානු දූපත්වල හටගත් භූ කම්පනය එක්ක ඇතිවූ සුනාමි තත්ත්වය මෙරටට කොහෙත්ම බලපෑමක් ඇති කරන්නේ නැහැ. ජනතාව ඒ පිළිබඳ සැකයක් ඇතිකරගත යුතු නැහැ. අනිත් කාරණය තමයි 2004 එම ආපදා තත්ත්වය එනවිට තිබුණට වඩා දැන් අපගේ කාලගුණ අංශ දියුණු වෙලා තියෙනවා. එහෙම පොඩි හෝ බලපෑමක් ඇතිවෙනවා නම් ජනතාවට ඊට පෙර එය දැනුම්දීමේ ක්‍රමවේදයක් අපගේ කාලගුණ අංශ සතුව තියෙනවා. ඒ වගේම තමයි මෙවර ඉන්දුනීසියාවේ ඇතිවූ එම තත්ත්වය ඉන්දියන් සාගරයට බලපෑමක් වෙලා නැහැ. මේ කාලය තුළ කොහොමත් මුහුදු රළ වෙනදා තිබුණාට වඩා මඳක් උස් වෙන්න පුළුවන්. මේ වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා. ඒ ඇරෙන්න සුනාමි පිළිබඳ තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. ඒ ගැන ජනතාව කලබල විය යුතු නැහැ.

දකුණු වෙරළ ආශ්‍රිතව පසුගියදා ඇතිවූ මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වෙරළ ඛාදනයට යොදා තිබූ ගල්වැටි සහ කඩොලාන ශාක විනාශ වීම බව මොවුහු පෙන්වා දෙති.

“ලංකාව පුරාවටම වෙරළ ඛාදනය වළක්වන්න අපි පියවර ගනිමින් සිටිනවා. දකුණු වෙරළ තීරයේ පමණක් නොවෙයි අනෙකුත් වෙරළ තීරවලත් මුහුදු ඛාදනය සම්බන්ධව අපි පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම ජනතාවගේ යම් යම් ක්‍රියාමාර්ග නිසා මෙම වෙරළ ඝාතනයට යොදා තිබූ ඇතැම් ගල්පර විනාශ වූ අවස්ථාවන් වාර්තා වෙලා තියෙනවා. කොහොමත් හැකි ඉක්මනින් අපේ දෙපාර්තමේන්තුව මේ මුහුදු ඛාදනයට ලක්වූ ප්‍රදේශවලට විශේෂ වැඩපිළිවෙළක් සකසන්නත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අප කළ විමසීමකදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මොවුන් පෙන්වා දෙන ආකාරයට මෙය සුනාමියක පෙර නිමිත්තක් ලෙස සැලකිය නොහැකි අතර ජනතාව ඒ පිළිබඳව කලබල විය යුතුද නැත. එහෙත් මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අදාළ අංශ මගින් පියවර ගත යුතුය. එසේ පියවර නොගතහොත් සිදුවන්නේ මුහුද තවත් ඛාදනය වෙමින් රට තුළට පැමිණීමයි.

හසිත් අංජන