2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

බැලන්ස් කරගන්න පහසු නැති 19 බජට් එක

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

2019 වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් වන රාමුව ගැන යම් යම් ඉඟි පළවෙමින් තිබේ. පරිපූරක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. නීල හරිත ආර්ථිකයක් ගොඩනගන බව සඳහන් කර ඉකුත් වසරේදී සම්මත කරගත් ගෙවී යන වසරේ අයවැය ජනතාවට උවමනාවට වඩා හිරිහැර කර තිබේ. අයවැයේ සඳහන් නොවූ ඛණිජ තෙල් මිල සූත‍්‍රය ජනතාවගේ එදිනෙදා වියදම උග‍්‍ර කර ඇත. රට තුළ එම සූත‍්‍රය ගැන බරපතල විරෝධතා ඇතත් එය හඳුන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාස දෙක තුළ ක‍්‍රියාත්මක වීම ගැන ප‍්‍රසාදය පළ කර ඛණිජ තෙල්වලට අමතරව විදුලිය බිල වෙනුවෙන් ද මිල සූත‍්‍රයක් ගෙන එන සේ දන්වා තිබේ.

ලබන වසර ආණ්ඩුවට තීරණාත්මක එකකි. පසුගිය කාලය තුළ ගමන් කළ ආර්ථික සමාජ ප‍්‍රතිපත්තිවලින් අත්පත් කරගත් ජයග‍්‍රහණ ජනතාවට ලැබෙන්නට සැලැස්විය යුතුය. එය ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය ආරක්ෂා කරගැනීමට බෙහෙවින් වැදගත්ය. සම්මුති ආණ්ඩුව බලයට පත් වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ එකමුතුව තුළින් දැවැන්ත ජයග‍්‍රහණ අපේක්ෂා කරමින් බව සඳහන් කළ යුතුය. රැකී රක්ෂා බහුල කර ජනතාවගේ ජීවිත අලුත් මගකට යොමු කරන පොරොන්දු යහමින් තිබුණි. පසුගිය ආණ්ඩුව වකවානුවේදී පවත්වාගෙන ගිය අහිතකර ප‍්‍රතිපත්ති, අනවශ්‍ය වියදම්, දූෂණ හා නාස්තිය පිටුදැකීමෙන් අලුත් ව්‍යූහයක් ගොඩනැගීමට සැලසුම් කරන ලද බව මතක් කර දිය යුතුය. එසේ තිබියදී දේශීය හා ජාත්‍යන්තර පීඩනය වර්ධනය වන පසුබිමක ඉදිරි වසර සඳහා අය වැය යෝජනා ඉදිරිපත් කරන්නට සිදුවී ඇත.

ශ‍්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය වේගයෙන් අවප‍්‍රමාණය වී තිබේ. අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 170.00 ඉක්මවා ඇත. බැංකු පොලී  අනුපාත වර්ධනය වන අතර එය උද්ධමනයට බලපෑමකි. රජයේ ආදායමෙන් සියයට 97 ක් කලින් ලබාගත් ණය වෙනුවෙන් පොලිය හා වාරිකය වෙනුවෙන් වෙන් කරන්නට සිදුවී ඇති බව භාණ්ඩාගාර තොරතුරු දක්වයි. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වියදම රජයේ ආදායම සමඟ සැසඳුවහොත් සියයට 45 ක් බව ද අනාවරණය වන ඉලක්කමකි. රජයේ ආදායම කෙසේවත් ප‍්‍රමාණවත් නොවන බව එයින් අඟවයි. ජාත්‍යන්තරව එන ගැටලු ද පහසු ඒවා නොවේ. ඉරානයට සම්බාධක පැනවීම මත එරටින් තෙල් මිල දී ගැනීම සීමා වී ඇති අතර ශ‍්‍රී ලංකාවෙන් මිල දී ගන්නා තේවලට අවහිර මතු වී තිබේ. අමෙරිකානු පොලී අනුපාත ලෝක ආර්ථිකය සසල කර ඇති අතර ජාත්‍යන්තර පර්යේෂකයන්ට අනුව කලින් ගණන් බැලූ ආර්ථික වර්ධනය 2018 හා 2019 වසරවල අපේක්ෂා කළ නොහැකිය. එය සියයට 3.9 ක සිට 3.6 දක්වා අඩු වනු ඇති අතර එය ලෝක වෙළඳාම, ආයෝජනය හා සංචාරක ව්‍යාපාරය වැනි අංශවලට තියුණු බලපෑමක් වනු ඇත.

දළ වශයෙන් 2019 වසරේදී මෙරට අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වියදම සඳහා රුපියල් බිලියන 2,281 ක් අවශ්‍ය වෙතැයි ගණන් බලා තිබේ. වැඩිම වියදම ආරක්ෂක අමාත්‍යංශයටය. එය රුපියල් බිලියන 306කි. යුද ගැටුම් අවසන් වී වසර දහයක් වන විට ආරක්ෂක වියදම් අඩුකර ගෙන සංවර්ධන වියදම නැංවිය යුතුව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රවීණ ස්වාධීන නියෝජිතයකු වන ජුවාන් පබ්ලෝ මෙරටට පැමිණි අතර ඔහු විදේශ ණය හා මානව හිමිකම් ගැන අවධානය යොමු කරන විශේෂඥයෙකි. හෙතෙම ඒ බව සෘජුව කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට පනවා ඇති පීඩනය සාධාරණ නැති බව හෙතෙම පෙන්වා දී තිබේ. බලශක්ති හා කෘෂි අංශයේ සහන අඩු කිරීම සහ තෙල් මිල සූත‍්‍රය මෙරට ජනතාවට ප‍්‍රශ්නයක් බව ඔහුගේ සමාලෝචනය විය. එවැනි අදහස් ගැන හිතන්නේ නැත්තේ ඇයි? අයවැය ඇස්තමේන්තු අනුව 2019 වසරේ රජයේ ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 2,057 ක් බව ප‍්‍රකාශ වෙයි. ණය ලබාගෙන ඇති සංවිධාන සමඟ සාකච්ඡා කර නැවත ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීමකින් පොදු ජනතාවට අත්වන පීඩනය අවම වනු ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පෙන්වා දී ඇති වැදගත් කරැණකි. එවැනි පියවරකට සූදානම් බවක් නොපෙන්වන අතර ණය ගෙවන අතරවාරයේ අලුතින් දේශීය හා විදේශීය වශයෙන් රුපියල් බිලියන 1,944 ක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 185, අධ්‍යාපන අමාත්‍යංශ්‍යට රුපියල් බිලියන 105 ක්, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට රුපියල් බිලියන 69ක්, මහා නගර සංවර්ධන අමාත්‍යංශයට රුපියල් බිලියන 48 ක් වශයෙන් මුදල් වෙන් කර තිබේ. අමාත්‍යංශවලට මුදල් වෙන් කිරීමේදී අනුගමනය කරන පිළිවෙළ කුමක් දැයි පැහැදිලි නැත. වසර ගණනාවක් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු අයවැය මඟින් වෙන් කර ගත් මුදල් නිසි පරිදි වියදම් කර නැත. එය මුදල් අමාත්‍යංශයේම ප‍්‍රගති වාර්තා පෙන්වන කරැණකි. දැවැන්ත ව්‍යාපෘති පෙන්වා අය වැයෙන් මුදල් වෙන් කරගන්නා නමුත් අවුරුද්ද අවසන් වනතුරු ඒවා ක‍්‍රියාත්මක නොවේ. අනවශ්‍ය නාස්තියකි. මුදල් අමාත්‍යංශයෙන් අය වැය වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවන ඇතැම් අංශ අතිරේක ඇස්තමේන්තු මඟින් වියදම් ඉල්ලා සිටින අතර එය ආර්ථිකයේ නියම සැලසුම් අඩාල කරන අවස්ථා බවට පත්ව තිබේ.

සැලසුම් අනුව 2019 වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක් බව දැක්වෙයි. එය ගෙවී යන වසරේ පවතින සියයට 4.8 ක හිඟයට වඩා පාලනය කරගත් එකකි. නමුත් මුලින් සඳහන් කළ පරිදි අතිරේක ඇස්තමේන්තු ඉදිරිපත් වන විට ආකෘතිය වෙනස් වෙයි. පාර්ලිමේන්තුවට අනාවරණය කර සම්මත කරගන්නා අය වැය වසර අවසානයේදී  වෙනස් එකක් වන අතර එය තවත් හදිසි ණය ගැනීමට මග පාදයි.

බදු ගැන සඳහන් කරන විට 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.6 ක බදු ආදායමක් බලාපොරොත්තු වන බව පෙනේ. මේවා ගෙවන්නේ පොදු ජනතාව හැර අන් කිසිවකු නොවේ. දැනට මෙරට ජංගම දුරකථන භාවිතා කරන සෑම පුද්ගලයකුම ගෙවන සෑම රුපියලකින්ම ශත පනස් දෙකක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවයි. හෝටලයකින් ආහාර ගන්නා  අය ගෙවන සෑම රුපියලකින්ම ශත තිස් එකක් ආණ්ඩුවට ලැබේ. සීනි කිලෝවකින් රුපියල් හතලිස් දෙකක් ගෙවන, පරිප්පු, ලොකු ලූනු හා අර්තාපල්වලින් කිලෝවකට රුපියල් විස්ස බැගින් ආනයනවලදී බදු අය කරන ස්වභාවයක් මත තවත් බදු ආදායමක් අපේක්ෂා කරන්නේ කොතැනින්ද? 2015 වසරේ රජයේ බදු ආදායම දළ දේශීය නිස්පාදිතයෙන් සියයට 11.5 කි. එය 2016 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14.2 දක්වා සියයට හතලිස් එකකින් වැඩි කරගෙන තිබේ. 2018 එනම් වත්මන් වසරේදී එම ප‍්‍රතිශතය සියයට 15.1කි. බදු වැඩිකරන විට ඒවා ගෙවන්නේ මෙර පුරවැසියන්ය. පුරවැසියන්ට එම බදු ගෙවන්නට තරම් ශක්තිමක් ආර්ථිකයක් එක අවුරුද්දක් ඇතුළත ලැබුණේ දැයි සොයා බැලීම අවශ්‍යය. එසේ තිබිය දී මෙම වසරේ දී සියයට 15.1 ක සිට 2019 දී සියයට15.9 ක් දක්වා ද නැංවිය හැකි ද?

2018 අයවැය හරිත ආර්ථිකයක් සඳහා දොරටු විවෘත කරන අතර එයට බාධා සිදුවන පොලිතීන්වලට නිෂ්පාදන බද්දක් පැනවීය. කසල කළමනාකරණය ජාතික මට්ටමින් හා පළාත් පාලන මට්ටමින් විසඳීමට යෝජනා කළේය. වසර පහක් ඇතුළත කාර්මික අපද්‍රව්‍ය ගංඟාවලට නිදහස් කිරීම වළකන යෝජනා ගෙන ආවේය. නීල ආර්ථිකය යටතේ ශ‍්‍රී ලංකාවේ භූමියට වඩා විසි හය ගුණයක් ඇති මුහුද ප‍්‍රයෝජනයට ගැනීමට අවධානය යොමු කළේය. දිවයිනේ ස්ථාන ගණනාවක ධීවර වරාය නවීකරණය මුහුදු මතස්‍ය හා මුහුදු කූඩැල්ලන් සම්බන්ධ මධ්‍යස්ථාන ඇති කිරීමට යෝජනා කරන ලදි. නව ගුවන් සේවයක් ආරම්භ කරන අතර විදුලිය බස් මිල දී ගැනීමට මුදල් වෙන් කළේය. ඉදිරි වසරේ අයවැය ඉදිරිපත් කරන විට මේවායේ ක‍්‍රියාත්මකභාවය ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

ගාමිණී සරත් ගොඩකන්ද