
කොළඹ මහ නගර සභාවේ මාසික සභා රැස්වීම ආරම්භ වී මිනිත්තු ගණනකි. නාගරික මන්ත්‍රීවරුන් 119දෙනා අතරින් නැගී සිටි ශර්මිලා ගෝනවල මහත්මිය (පොහොට්ටුව) ඉදිරිපත් කළ පැමිණිල්ලකින් සභා ශාලාවම හෙල්ලී ගියේ ඊට එරෙහිව නැගුණු දැඩි ඝෝෂාව මධ්‍යයේය. නගරාධිපතිනිය වෙත ඉදිරිපත් කළ එම ප්‍රකාශය හා ලිඛිත පැමිණිල්ලට දින කිහිපයක් ඉක්මගියද, නගර සභාවේ ඉහළ පුටු රත්වන්නට පටන්ගෙන ඇත්තේ තවමත් ඒ පිළිබඳ රාව ප්රතිරාව නගමිනි. ශර්මිලා ගෝනවල මහත්මිය එදා එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ කීවාය.
නගරාධිපතිතුමියනි, මේ නගර සභාවේ සමහර නිලධාරීන්ගෙන් කාන්තා නිලධාරීන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුවෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා. මේවාට මුහුණදෙන බොහෝ කාන්තාවන් ඒ සියල්ල රහසක් වශයෙන් තබාගෙන ඉන්නේ රැකියාවට ඇති බිය නිසයි. මේවා කාටවත්ම කියලා නැහැ. එක් උසස් නිලධාරියෙක් උදේ 7.00ට නිලධාරිනියක් කාර්යාලයට කැඳවලා එයාගේ තොල් දෙක, සාරිය ලස්සන බව කියලා තිබෙනවා. මේවා කාටවත් හෙළිනොකරන ලෙසටත් තර්ජනය කරලා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම කමිටුවක් පත් කරන්නට කියා ඉල්ලා සිටිනවා.
නගරාධිපතිනිය ඊට ප්‍රතිචාර දක්වමින් ඉදිරියේදී මේ පිළිබඳව දැඩි තීන්දුවක් ගන්නා බව සභාවට දැනුම් දීමත් සමඟම, සභාවද නොසන්සුන්තාවයට පත්ව තිබුණේ ඒ පිළිබඳව දැඩි කතාබහක්ද ඇතිකරමිනි.
මේ පිළිබඳව උසස් නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව ඉහළ කාන්තාවන් 6 දෙනෙක් ලබාදුන් පැමිණිලි තමන් සතුව ඇතැයිද, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාටද මේ පිළිබඳව පැමිණිලි කර ඇතැයිද, ශර්මිලා ගෝනවල මන්ත්‍රීවරියගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. එම ලිපියට අනුව, කොළඹ මහ නගර සභාවේ අංශ ප්‍රධානීන් ලෙස හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරැන් ලෙස කටයුතු කරන ඉහළ කාන්තාවන් සිව්දෙනකුද, ඊට පහළ තනතුරැ දරන කාන්තාවන් දෙදෙනකුද, මෙම ලිංගික හිංසනයට, අඩත්තේට්ටම්වලට හා මානසික පීඩනයට ලක්වූවෝ වෙති.
අද වනවිටත් මෙම ලිපි ඉදිරිපත් කළ නගර සභාවේ කාන්තාවන් කවුරුන්ද යන්න පිළිබඳව ඉමහත් ආන්දෝලනයක් හටගෙන ඇත්තේද වටින් ගොඩින් ඇසෙන කතාවලට තටු ලැබීමත් සමඟය. ගෝනවල මන්ත්‍රීවරිය නැවත සම්බන්ධ කර ගත්තේද, ඒ පිළිබඳව විමසන්නටය.
මගේ මේ පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා එදාම ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. හිටපු මහාධිකරණ විනිසුරැ මැක්ස්වල් පරණගම, ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු වන ලයනල් ප්‍රනාන්දු හා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඊට ඇතුළත්.
මේ පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතාගේ අදහස වූයේ මෙම චෝදනා සහ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවය. නීති ක්ෂේත්රයටද අදාළ ගැඹුරු කටයුත්තක් බැවින්, කමිටුවක් පත්කර ඇතැයිද ඔහු පැවසුවේ, එය අතගැසිය යුතුම බරපතළ කරැණක් බවට වගබලාගනිමිනි.
කෙසේ වෙතත්, මුළු නගර සභාවම මේ වනවිට ගිනිගෙන ඇති බවද සඳහන්ය. ඉහළ නිලධාරීන්ගේ ලිංගික හිංසනයට ලක්වූවෝද, එම චෝදනාවන්ට ලක්වූවෝද, කවුරැන්ද යන්න කවුරැත්ම නොදනිති. ඊට හේතුව පුද්ගලයකු ඉලක්ක නොකර මන්ත්‍රීවරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කළ නිසාවෙනි. කෙසේ වෙතත්, කලබලයට පත් ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට බදාදා (3) වනවිට කටයුතු යොදා තිබුණි.
මෙය එක්තරා ඉහළ නිලධාරියකු හෝ ඉහළ නිලධාරීන් පිරිසක් ඉලක්ක කොට නගර සභාවේ හිටපු නිලධාරියකු වන නවක නාගරික මන්ත්‍රීවරයකු විසින් ගෙන යන සැලසුම්සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවටද නගර සභාවෙන්ම තොරතුරු ගලා එන්නට විය. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය විසින් නගර සභාවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධයෙන් කළ මෙම බරපතළ ප්‍රකාශය පිළිබඳව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේද ප්‍රසාදයක් නොමැති බවට අදහස් පළවූයේ මේ අතරය. පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන දයාකාන්ත පෙරේරා මහතා ඒ පිළිබඳව පළ කළේ මෙබඳු අදහසකි.
කාන්තා හිංසනයට අපි තදින්ම විරැද්ධයි. කොළඹ නගර සභාවේ පමණක් නොවෙයි, රට පුරාම මේවා සිදුවෙනවා. මේ ලියැවිල්ල එතුමියගේ මතයක්. හේතුවක් නැහැ. මේ සියල්ලම අසත්‍යයි. ප්‍රධාන දේශපාලන චරිතයක වුවමනාව ඉටුකිරීමක් එතුමිය කරන්නේ. හෙට අනිද්දාම මේ ගැන කතා කරන්නට අපි කණ්ඩායම නාගරික කොමසාරිස්වරයා හමුවෙනවා.
මෙම පැමිණිල්ලෙන් නගර සභාවේ කිසිදු නිලධාරියකුට එක එල්ලේම චෝදනා නොකිරීම නිසා සියලුම ඉහළ පහළ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්වෙලා. එක එක්කෙනා ඒ ඒ අයගේ මූණ බලනවා. නගර සභා සේවකයෝ කියන්නේ එවැනි කතාය. නාගරික මන්ත්‍රී සුනිල් විතානගේ (එජාප) මහතා මේ පිළිබඳව දරන්නේ වෙනස්ම මතයකි.
නගර සභා ආඥා පනතට අනුව කිසිම මන්ත්‍රීවරයකුට මේ විදියට නිලධාරීන්ට චෝදනා කරන්නට බැහැ. නගරාධිපතිනිය පෞද්ගලිකව හමුවී මෙම චෝදනාව කළා නම්, කමක් නැහැ. නිලධාරියකුගේ නමක් නැතිව මේ විදියට පැමිණිලි කිරීම වැරදියි. මේ පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය පළ කරනවා.
මෙහිදී හේමන්ත වීරකෝන් (ජවිපෙ) මන්ත්‍රීවරයා තම කණ්ඩායම් මතයද ප්‍රකාශ කළේය. &මෙවැනි ලිපියක් ඉදිරිපත් කරනතුරැම අපි දැනසිටියේ නැහැ. නගර සභාවේ කාන්තාවන්ට ඉහළ නිලධාරීන්ගෙන් කරදර සිදුවෙනවා නම්, ඒ පිළිබඳව සොයා බැලීමට විමර්ශනයක් කළ යුතුයි.
නගර සභාවේ විපක්ෂ නායක එම්.එච්.එම්. මන්සිල් (ශ්‍රීලනිප) මහතා පැවසුවේ ගෝනවල මහත්මිය කළ පැමිණිල්ල හා ප්‍රකාශය හෙළාදකින බවය. හඳුනානොගත් පුද්ගලයන් ගැන දෝෂාරෝපණය කිරීම නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඇයගේ මෙම ප්‍රකාශය නාගරික මන්ත්‍රීන්, මන්ත්‍රිනියන් හා නගර සභා නිලධාරීන් අතර කිසියම් ගැටුමක ආරම්භයක්දැයි සිතෙන තරමට ප්රශ්නය ඔඩුදුවා අවසන්ය. ඊට එරෙහිව දෙපාර්තමේන්තු ප්‍රධානීන් 15 දෙනෙක් අවි අමෝරා සිටිති. නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා හා එක්ව ඔවුන් ලහිලහියේ ලිපියක් සකස් කළේ, උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වයට පිළියමක් වශයෙනි. මෑත භාගය තුළ නගර සභාවේ ඉහළ නිලධාරීන්ට එල්ලවූ මෙම බරපතළ චෝදනාවලට ආණ්ඩුකාරවරයාගේ කමිටුවෙන් පිළිතුරක් ලැබේවිදැයි නගර සභා සේවකයෝද බලා සිටිති. මේ අතර, කොළඹ මහ නගර සභා නිලධාරිනියන්ට ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අත්සනින් යුක්තව නගරාධිපතිනිය වෙත බදාදා (3) යවා ඇති එම ලිපියේ මෙසේද දැක්වේ.
නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් කොළඹ මහ නගර සභාවේ නිලධාරිනියන්ට ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට කර ඇති අපහාසාත්මක ප්‍රකාශය අප ඉතා දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතරම, ඊට දැඩි අප්‍රසාදය පළ කරමු. නිලධාරීන්ගේ වෘත්තීය ගරැත්වයට හානිකරවන හා තමන්ගේ අභිප්රායන් ගොඩනංවාගැනීමේ පටු අරමුණුවලින් සිදුකරනු ලබන මෙම මන්ත්‍රීවරියගේ ප්‍රකාශය ඔබතුමියගේ දැඩි අවධානයට යොමුකරවන අතරම, ඒ සඳහා නිසි පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
මෙවැනි අභූත සාවද්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ තුළින් කොළඹ මහ නගර සභාවේ මහජන සේවා සඳහා දායකත්වය ලබාදෙන සියලු නිලධාරීන් හා නිලධාරිනියන් මහත් අපහසුතාවයට මෙන්ම අසහනකාරී තත්ත්වයට පත්වන අතර, මෙහි අවසන් ප්‍රතිඵලය ලෙසට ජනතාවට සිදුකරනු ලබන සේවා අඩාලවීමටද හේතු පාදක වනු ඇත. මෙවැනි ප්‍රකාශවලින් අපගේ වෘත්තියමය ගරැත්වය කෙලෙසීමට දරනු ලබන උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පවා අප පසුබට නොවන බවද අවධාරණය කරමු.
නිලධාරීන්ගේ වෘත්තීය ගරැත්වයට හානි කිරීමේ අභිලාෂයෙන් ශර්මිලා ගෝනවල මන්ත්‍රීවරිය කර ඇති ප්‍රකාශය කෙරෙහි ඔබතුමියගේ දැඩි අවධානය යොමුකරවන අතර, ඒවා නිවැරදි කරවීමටත් ඇයගේ ප්‍රකාශ සම්බන්ධව නිසි පියවර ගන්නා ලෙසටත්, ඉල්ලා සිටිමු.
ශර්මිලා ගෝනවල මන්ත්‍රීවරිය සභාවේ සිදුකරන ලද මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හා ඉහළ නිලධාරීන් ඉදිරිපත් කර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් නගරාධිපතිනිය ගන්නා පියවර කුමක්වේද? එතෙක් අපි බලා සිටිමු.
ජයන්ත සමරකෝන්