
නැගෙනහිර පළාතේ ප්‍රධාන ජලාශයක් වන කන්තලේ වැව පතුලටම හිඳී ඇතිබව වාර්තා වූයේ පසුගිය සතියේය. අක්කර අඩි එක්ලක්ෂ දාහතර දහසක ජල ධාරිතාවකින් යුත් මේ වැවේ පසුගිය 3දා වනවිට ජල ධාරිතාවය අක්කර අඩි 9628ක් බව කන්තලේ වාරි ඉංජිනේරුවරයා පවසයි. එයට නුදුරින් පිහිටි වෙන්ඩ්‍රාසන් වැවේ ජල මට්ටමද අක්කර අඩි 22000 සිට අක්කර අඩි 1800 දක්වා අඩුවී ගොසිනි. රටේ බොහෝ ප්‍රදේශ ගිගිරුම් සහිත මහ වැසිවලින් තෙතබරි වුවද කන්තලේට තවමත් නියඟය පවතී. එලෙසම රටේ කොටසකට වැසි වසින අතර තවත් ප්‍රදේශ නියඟයෙන් බැටකමින් තිබේ.
පසුගිය කාලයේ නියඟයෙන් පීඩාවිඳි පවුල් හාරලක්ෂ පනස් දහසකට රුපියල් කෝටි 203ක වියදමින් නියං සහන මලු බෙදාදීමට රජය තීරණය කර ඇතිබව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය 3දා පැවසුවේය. ඒ අනුව රුපියල් 4000 සහ 5000 වටිනාකමින් යුත් බඩු මලු බෙදාදීමට නියමිතය. කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, මුලතිව්, වව්නියාව, අම්පාර, පොළොන්නරැව ඇතුළු දිස්ත්‍රික්ක 14ක ජනතාවට මේ සහන ලබාදීම සිදුවේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේද පවතිනු ඇති බවයි. ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ පැයට කි.මී. 70 – 80 පමණ වේගයෙන් කෙටිකාලීන තද සුළං ඇතිවීමේ හැකියාවක් ඇතිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වයඹ, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ තදවැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ වැසි පතිත විය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන්ය.
මේ දවස්වල යාපනයෙන් පහළ කොටසට වැස්සා. වැස්ස නැතුව තිබුණු පුත්තලමේ සමහර ප්‍රදේශවලටත් හොඳට වැස්ස වැටුණා. මි.මී. 100ට වඩා වැසි රට පුරාම බලාපොරොත්තු විය හැකි බව අපි කාලගුණ අනාවැකියෙන් පවසා තිබුණා. එලෙස අපට පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ නදීකා රණවීරයි.
සාමාන්‍යයෙන් මේ දවස්වල රටට බලපා තිබෙන්නේ දෙවැනි අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයයි. ඒ කාලෙට හවස්වරැවේ ගිගිරැම් සහිතව සංවහන වැසි ඇතිවෙනවා. මුළු දිවයිනටම මේ තත්ත්වය බලපානවා. නමුත් හැමතැනටම එක වගේ වහින බවක් පේන්නෙ නෑ. හවස්වරුවේ වළාකුළු හැදුණම වැසි නැතිවත් අකුණු අනතුරු ඇතිවිය හැකියි.* කාලගුණ විද්‍යාඥවරිය වැඩිදුරටත් කීවාය.
පසුගිය නිරිතදිග මෝසම් තත්ත්වයේදී (මැයි - සැප්තැම්බර්) වැස්ස ලැබුණේ රටේ නිරිතදිග කොටසටයි. බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර සහ මධ්‍යම පළාතේ බටහිර පැත්තේ කොටසකත් වයඹ පළාතේ කොටසකටත් පමණයි. අනික් පැත්තට ඒ දවස්වල වැස්ස අඩුයි.
රටේ සමහර ප්‍රදේශවල නියං තත්ත්වයක් ඇතිවීමට අධික තීව්‍රතාවයකින් යුත් වැස්ස කෙටි කලක් තුළ ලැබීමත් හේතුවක්. ඉස්සර මාසයක් පුරා වහින වැස්ස දැන් සමහර අවස්ථාවලදී දවසට දෙකට වහිනවා. මේ නිසා සමස්ත වර්ෂාපතනය අඩුවී නැතත් වැසි වැටෙන විදිහ වෙනස්වෙලා. එකපාරට ලොකු වැස්සක් වැස්සම පොළොවට උරන්නෙත් නෑ. ගබඩා කරගැනීමටත් අපහසුයි. ඒ වගේ ප්‍රශ්නයක් තිබෙනවා. පොළොව ඉක්මනින් වේලීමට එය හේතුවෙලා. වැසි රහිත දින ගණන වැඩිවෙලා තිබෙනවා. ඇය වැඩිදුරටත් පැවසුවේය.
මහ වැසි වැටුණත් අප රටේ ප්‍රධාන ගංගාව වන මහවැලි ගංගාවේ ජලය තවමත් පිරී නැත. පොළොන්නරුවේ මනම්පිටිය පාලම අවට මහවැලිය සිඳී වැලි පෑදී ඇති අයුරු ගිය සතියේ දැකගත හැකිවිය. මේ නිසා අලි ඇතුන් ඇතුළු වනජීවීන් පවා පීඩාවට පත්ව ඇතිබව වාර්තා වේ.
ඒ අතර රට මැදින් වාර්තා වන්නේ විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම 75%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අනුව ජලවිදුලි නිෂ්පාදනය 25% සිට 35% දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර නියඟයෙන් පීඩා විඳි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආපදා සහන මල්ල බලාපොරොත්තුවෙන් සුසුම් හෙළති.
මෙලෙස රටේ එක් පෙදෙසකට වහින්නත් තවත් පැත්තකට පායන්නත් හේතුව කුමක්දැයි අපි ඇසුවේ නියෝජ්‍ය කාලගුණ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස්ගෙනි. දැන් නියඟය පැවති බොහෝ ප්‍රදේශවලටත් වැස්ස ආරම්භවෙලා තියෙන්නේ. ඉදිරි දින කිහිපයෙත් වැස්ස බලාපොරොත්තු වෙනවා. නියං ආධාර දෙන්නේ පසුගිය කාලයේ බොහෝ ප්‍රදේශවල වගාකරගැනීමට නොහැකිවීමේ ගැටලු තිබුණානේ. ඒ ජනතාවටයි. ඒ ප්‍රදේශවලට වැඩිපුර වැස්ස ලැබෙන්නේ දෙවැනි අන්තර් මෝසම සහ ඊසානදිග මෝසමෙන්. ඔක්තෝබර් - නොවැම්බර්, දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්වා උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාතේ සමහර කොටස්වලට. පසුගිය අවුරුද්දේ සිටම ප්‍රමාණවත් වැසි ඒ ප්‍රදේශවලට ලැබුණේ නැහැ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් - ඔක්තෝබර් සිට මේ දක්වා වැසි ලැබුණේ නැහැ. ඒක තමයි නියඟයට හේතු වුණේ.
දැන් මහ වැස්සෙන් බස්නාහිර, සබරගමුව, දකුණ ඇතුළු ප්‍රදේශ වැසී යමින් පවතී. උතුරැමැදට හා නැගෙනහිරට නියං ආධාර බෙදන අතර දකුණට ගංවතුර ආධාර ලබාදීමටද සමහරවිට සිදුවීමට ඉඩ තිබේ. ඒ කාලගුණය එතරම්ම විපරීත වී ඇති හෙයිනි.
කුසුම්සිරි