2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මාළු පැටියකුගෙන් බිලියනපතියකු වූ කෙනී යෙප්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 457

සිංගප්පූරුවේ අලුත් විධියකට හිතන ව්‍යවසායකයෙකු වන කෙනී යෙප් වෙනස් ආකල්ප ඇති පුද්ගලයෙකි. සාමාන්‍ය පොකුණක ලොකු මාළුවෙකු සේ තමා හඳුන්වන්නේ නම් හෙතෙම එයට ඉතා කැමැතිය. එයට හේතුවක් තිබේ. සුරතල් මසුන් ඇති කිරීම ඔහුගේ විනෝදාංශයයි. සුළුවෙන් ආරම්භ කළ එය අද දැවැන්ත ව්‍යවසායයකි. ලෝකයේ රටවල් අසූවකට ඔහුගේ ව්‍යාපාරයේ සුරතල් මසුන් අලෙවි කෙරේ.

යෙප් පවුල තරමක් විශාල එකකි. සාමාජිකයන් නව දෙනෙකි. සාමාන්‍ය ජීවිතයක් ගත කරන ලද අතර සත්ව පාලනය ආදායම් මාර්ගය විය. පස් හැවිරිදි කුඩා කෙනී ගෝල්ඩ් ෆිෂ් මාළුවෙකු මිල දී ගෙන ගෙදර ගෙන ආවේ ඇති කරන්නටය. සිංගප්පූරු ශත පනහ එකල ඔහුට ලොකු වියදමකි. වරලක් කැඩුණු ලාභ මාළු පැටියකු වූ අතර එය වැඩිමහලු සහෝදරයාගේ විහිළුවට ලක්විය. කෙනී එය ගණනකට ගත්තේ නැත. මිල දී ගත් මාළු පැටියා ඔහුගේ එකම වස්තුව වූ අතර හොඳින් රැක බලා ගත්තේය. මාළුවා සමග ඔහුගේ ජීවිතය ද නැගී වර්ධනය විය. ඉගෙන ගැනීමෙන් පසු ඔහු තෝරාගත්තේ මාළු ඇති කිරීමයි. මාළු පොකුණක් හදාගත් හෙතෙම එහි මසුන් ඇති කිරීම ආරම්භ කළේය. එවකට සිංගප්පූරුව හඳුන්වන්නේ ‘ගප්පි කිංඩම්’ යන අනවර්ථ නාමයෙනි. ලෝකයේ ගැනුම්කරුවන්ට ගප්පි යන ලාභ මාළු විශේෂය බෝකර අලෙවි කිරීම සිංගප්පූරු ව්‍යවසායකයන් ආදායම් මාර්ගයක් වශයෙන් කරගෙන යෑම සුලබ විය. යොවුන් කෙනී යෙප්ද නැඹුරු වූයේ එම පැත්තටය.

සුරතල් මාළු ගැන කෙනීගේ ඇල්ම විශාල එකකි. ඔහු දිගින් දිගටම වැඩ කළේය. වෙහෙස වනවිට මාළු පොකුණකට බැස එහි මසුන් අතර දිගා වී විවේක ගත්තේය. සුරතල් මසුන්ගේ චර්යාව, රෝග තත්ත්ව හා බෝ කිරීමේ නව ක‍්‍රම එයින් ඇට, මස් මිදුළු කරා කා වදින තෙක් කරගෙන ගියේය. සුරතල් මසුන් ඇති කිරීමේ ව්‍යාපාරය සාර්ථක වනවිට පවුලේ සාමාජිකයන්ද එයට එකතු කරගත්තේය. වසර 2000 වනවිට තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගාගෙන එහි ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත්වන්නට කෙනීට හැකියාව ලැබුණි. කුයින් හූ නමැති එම සමාගම ස්ථාපිත කරන හෙතෙම එහි සභාපති ධුරයද භාරගත්තේය. සුරතල් මසුන් ඇති කරන ව්‍යවසායකයන් එකතු කරගෙන සංසදයක් බිහිකරන ලද අතර කෙනී එහි සභාපති ධුරය භාරගත්තේය. සුළුවෙන් ආරම්භ ජාත්‍යන්තර කතාබහට ලක්වන ව්‍යාපාරයක් ගොඩනැගීම පහසු නැත. සිංගප්පූරුවේ ව්‍යවසායකයන් වෙනුවෙන් ක‍්‍රියාකාරී සංවිධානයක් ගොඩනගන ලද අතර කෙනී එහි විධායක කමිටුවට පත් විය. මෙවැනි තැනකට එන ගමන පහසු එකක් වූයේ නැත. ඇති කරන්නට මිලදී ගත් ගෝල්ඩ් ෆිෂ් මාළුවකුගෙන් කෙනීගේ ජීවිතය වෙනස්වීම විශේෂ පැත්තකි.

කෙනීගේ උරුමය සුරතල් මසුන් ඇති කිරීමයි. වෙනත් වෘත්තියක් වෙත ඔහු නතු නොවීය. සුපුරුදු පරිදි පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු කෙනී බැංකු නිලධාරියකු සේ පත්වීම ලැබීය. ඔහුට අනුව එය කටුක ජීවිතයකි. පුටුවක වාඩි වී වැඩ කරන්නට ඔහුට හිත හදාගත නොහැකි විය. යාන්තම් මාස හයක් ගත වනවිට රස්සාවෙන් අස් වූ කෙනී කෙලින්ම මාළු ඇති කරන ව්‍යාපාරය ආරම්භ කළේය. එය අභියෝග සහිත එකකි. වතාවක් මහා ගංවතුරක් ගලා කෙනීගේ මාළු ගොවිපොළ යට කරගෙන ගියේය. ආසාවෙන් ඇති කරමින් සිටි මසුන් සෑහෙන ප‍්‍රමාණයක් අපතේ ගියේය. එයින් අධෛර්යයට පත්වූයේ නැත. ඔහු නැවතත් මුල සිට ගමන ඇරඹීය. පසු කාලයක කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගමක මට්ටමට සුරතල් මසුන් අලෙවිය ගෙන එන්නට සමත් විය. ලෝකයේ තරගකාරී රටවල් හතරක සුරතල් මසුන් අපනයනය සමග කරට කර සටනක් ගෙන ගිය හෙතෙම ගප්පි අලෙවියෙන් ඉවත් වී ඉතා වටිනා සුරතල් මත්ස්‍ය වර්ග බෝ කරන්නට පටන් ගත්තේය. ඇරවානා එයින් එක විශේෂයකි. සාමාන්‍ය ඇරවානා මාළුවකු ඇමරිකානු ඩොලර් සියයක සිට තුන් සියය දක්වා මිල ගණන් වෙනස් වූ අතර එය හොඳ ආදායමක් උපයා ගත හැකි ව්‍යවසායක් විය. නමුත් එකම වර්ගයේ මාළු විශේෂවලට හැමදාමත් එකම ඉල්ලුමක් නැත. එය තේරුම් ගත් කෙනී විවිධ අත්හදා බැලීම් කර එකිනෙකට වෙනස් වර්ණවලින් යුතු අලංකාර මසුන් වර්ග බෝ කළේය. ඉල්ලුම නොනැවතී පවත්වාගන්නට එය ප‍්‍රබල හේතුවක් විය.

කෙනී යෙප්ගේ ව්‍යාපාරය එක දිගට හොඳම ආදායම ලැබෙන එකක් නොවේ. සෑහෙන අවස්ථා ගණනක ව්‍යාපාරික ගිණුම් වාර්තා පාඩු ලබන බව පෙන්නුම් කළේය. ඒ ගැන කොටස්කරුවෝ මැසිවිලි නැගූහ. ඔහුගේ සමාගම සිංගප්පූරැ කොටස් වෙළඳපොළ මුල් ලැයිස්තුවේ ඉහළ තැනක පවතින අතර එවැනි ව්‍යවසායක ලාභ හෝ පාඩු කොටස්කරැවන්ට ඉතා සංවේදීය. කෙනී ගේ දර්ශනය වෙනත් එකකි. “ඒ අය බලන්නේ ලාභ. නමුත් මම ගොවියෙක්. මගේ ගොවිපොළ මම කරගෙන යනවා. ඒක එහෙම තමයි” යනුවෙනි.

කොපමණ අභියෝග පැමිණියත් කෙනී ආපසු හැරුණේ නැත. හෙතෙම ලෝකයේ සුරතල් මසුන් වෙනුවෙන් වූ වෙළෙඳ පොළ සිංගප්පූරුවට කැඳවීය. කෙනීගේ කුයින් හූ සමාගම ලෝකයේ සුරතල් මසුන් වෙළඳාමෙන් සියයට හතරක කොටසක් දිනාගන්නට සමත්විය. 1988 වසරේදී සිංගප්පූරුවේ තරුණ සම්මානය හා 2000 වසරේදී අන්තර්ජාතික ක‍්‍රියාකාරීත්ව සම්මානය කෙනීට ලැබිණි. 2002 වසරේ දී තරුණ ව්‍යවසායකයා සම්මානය ඔහුට ලැබුණි. එයට කලින් වසරේදී බිස්නස් වීක් සඟරාව ඔහු ආසියාවේ තාරකාවක් සේ නම් කරනු ලැබීය. ඇමරිකාවේ ඔහියෝ විහ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය සම්බන්ධ පළමු පංතියේ ගෞරව උපාධියක් හිමි කෙනී එයින් උදම් වෙන්නේ නැත. හුදෙකලාව මාළු ටැංකියක් අසලට වන හෙතෙම නව මත්ස්‍ය ප‍්‍රභේදයක් බිහිකරන කාර්යයෙහි නිරත වන අවස්ථා සුලබය.

කෙනී වතාවක ජාත්‍යන්තර සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් අතර ඔහු එහිදී කියා සිටියේ සාර්ථකත්වයට හේතුව පියාගේ උපදෙස් බවය. ව්‍යාපාරයක් කරන විට “මනුස්සකම ඉස්සරහට ගන්න. මනුස්සකම නැතිවුණොත් ව්‍යාපාරය ඉවරයි” ඔහුගේ පියා දී ඇති උපදෙසයි. ඇමරිකාවේ ඉගෙනගන්නා කාලයේ කෙනීගේ පියා හොඳින් ඉගෙනගන්න කියා මුදල් එවීය. “මතක තියා ගන්න මෙම මුදල් මගේ විශ‍්‍රාම කාලයට ඉතිරි කරන ධනය. ඒවා එවන්නේ හොඳට ඉගෙන ගැනීම ගැන හිතලයි.” කෙනී එය අමතක කළේ නැත. තාත්තාගේ සල්ලි පොලියක්ද සහිතව ආපසු දුන්නේ සිය පවුලේ සාමාජිකයන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරගත් ව්‍යාපාරයේ සාර්ථක අවදියේදීය. මනුස්සකම පමණක් නොව වගකීම හා අවබෝධය ද සහිතව අලුත් ව්‍යවසායයක් කරා යොමු වූ කෙනී සාර්ථකත්වය ලබා ඇත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

►මිලින්ද මොරගොඩ