2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ඉරාන තහංචියෙන් ඇඹරෙන ලංකාවේ තේ මාකට් එක

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

තේ බීමට ඇති රසවත්ම පානයකි. අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය උල්පතකි. එහෙත් මෙරට තේ කර්මාන්ත පිළිබඳව ඇසෙන කතා නම් එතරම්ම රසවත් නැත. අමෙරිකානු ඩොලරය ලාංකික තේ කර්මාන්තට බලපෑම් කර ඇතැයි කියවේ. එහි බලපෑම් යහපත් හා අයහපත් ලෙස දෙයාකාරය. මේ උත්සාහය තේ ඩොලර් කතාවේ ඇත්ත නැත්ත සොයා යන්නටය.

ඩොලරය නිසා "සිලෝන් ටී" අපනයන එකතු වූ කහටක් පිළිබඳව ප්‍රථමයෙන් අවධානය ලක් කරමු.

ඉරානය යනු මෙරට ප්‍රධාන තේ මිලදී ගන්නා රටකි. ඉරාන මහජනතාව අතර මෙන්ම ප්‍රභූ පංතිය අතර ද "සිලෝන් ටී" යනු ජනප්‍රිය පානයකි. තවත් පසකින් ඉපැරැණි පර්සියාව වන වර්තමාන ඉරානය වෙළෙඳ ගනුදෙනු අතින් ශ්‍රී ලංකාවේ පැරැණිතම මිතුරෙකි. එහෙත් මෑතකදී ඉරානය හා ලංකාව අතර තේ ගනුදෙනුවට කනකොකා අඬන්ට පටන්ගත්තේ අමෙරිකාව නිසාවෙනි. කලක පටන් අමෙරිකාව සහ ඉරානය පසමිතුරු විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම ඊට හේතුවයි. ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළවට විරෝධය පාමින් අමෙරිකාව ඉරානයට සම්බාධක පනවන්නේ ඒ අනුවය. පසුව එම සම්බාධක එන්න එන්නටම තර කිරීමට අමෙරිකාව කටයුතු කර තිබේ. අද වන විට පනවා ඇති සම්බාධක මත ඉරානය සමඟ අමෙරිකානු ඩොලර්වලින් ගනුදෙනු කරන්නට සෙසු රටවලට නොහැකිව තිබේ. ලබන නොවැම්බරයේ සිට ඉරානයට බලපාන අමෙරිකානු සම්බාධක හේතුවෙන් එරටට තේ අපනයන අර්බුදයකට යනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ද පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු වන ඉරානය සමඟ ගනුදෙනු සිදුවූයේ අමෙරිකානු ඩොලර් මගිනි. එහෙත් උද්ගත ඇති තත්ත්වය මත ඉදිරියේදී එලෙස ගනුදෙනු කිරීමට මෙරට අපනයනකරුවන්ට නොහැකිව තිබේ. අප ඒ පිළිබඳව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළෙමු.

“ඇත්තටම අපට තේ අපනයන කරන්න තහනමක් නෑ. තහනම තියෙන්නේ ගෙවීම් සම්බන්ධව. ඉරාන ගැනුම්කරුවන්ට සල්ලි ගෙවන්න බෑ අපිට. මහ බැංකුව හරහාවත් ගෙවන්න බෑ විදේශ මුදල්වලින්. ඒ හේතුව නිසා ඉරාන මිල දී ගැනීම් අඩුවෙනවා. අපනයන දී මුදල් ලබාගැනීමේ ගැටලු හේතුවෙන් අපට ඉරානයෙන් එන ඇණවුම් බාරගන්න විදිහකුත් නෑ. තේ වෙන්දේසියේ මිල ගණන් අඩුවෙන්න මේ කාරණාව බලපානවා"

ජයන්ත කරුණාරත්න මහතා පවසන පරිදි ඔවුන් මේ වන විට මහ බැංකුව, ඉරාන තානාපති කාර්යාලය අාදිය සමඟ සාකච්ඡා වට කිහිපක්ම පවත්වා ඇත. එහෙත් මතුව ඇති ගැටලුව ලෝක බලවතුන් අතර ඇති ජාත්‍යන්තර අර්බුදයක් වීම හේතුවෙන් පිළියම් සොයා ගැනීම දුෂ්කර වී තිබේ.

ඉරාන තේ අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතාගෙන් ද විමසීමක් කළෙමු. ඔහු පැවසුවේ මෙම ගැටලු විසඳීමට මහ බැංකුවට බාර දී ඇති බවය. තවද වෙනත් විදෙස් මුදල් ඒකකයක් භාවිතට යාම වැනි විසඳුමක් අපේක්ෂා කළ හැකි බව එහිදී සඳහන් විය. මෙම ගැටලුව ලංකාවට පමණක් නොව තවත් බොහෝ රටවලට බලපා ඇති බවත් ඔහු සඳහන් කළේය. අමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීමෙන් ද තේ ගැනුම්කරුවන් අපහසුතාවයට ලක්වෙතැයි ප්‍රකාශ කළේය.

ඉරානය හා ගනුදෙනු කිරීමේ ලෝක ප්‍රවණතාව සැලකිල්ලට ගත්විට පෙනීයන්නේ චීනය රුසියා හා යුරෝපා අමෙරිකානු ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට සූදානම් නැති බවයි. ඊට හේතුව ඉරානය ලෝකයේ ප්‍රබල තෙල් සැපයුම්කරුවකු වීමයි. චීනය, රුසියාව ආදී රටවල් සිය මුදල් ඒකක මඟින් ඉරානය හා ගනුදෙනු අරඹා ඇත. ඒ අනුව ඉදිරියේදී යම් වෙනසක් සිදුවීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකිය. එහෙත් අමෙරිකානු ඩොලරය ලෝක ආර්ථිකය තුළ සිය ආධිපත්‍යය තබා ගැනීමට කවර ක්‍රියාමාර්ග අනුගමනය කරුණු ඇතිදැයි නිශ්චිතව පැවසීමට අපහසුය. ඉරාක හා ලිබියානු යුද්ධ පිටුපස පැවති එක් ආර්ථික කාරණාවක් නම් එම රටවල් අමෙරිකානු ඩොලර් ආධිපත්‍යය එරෙහිවීය. ඒ පිළිබඳව ලෝක දේශපාලන විචාරක මත තිබේ. එයද සඳහන් කළ යුත්තකි.

ජාත්‍යන්තර කරුණු කාරණා කෙසේ වෙතත් මෙරට තවත් බොහෝ දෙනෙකුට තේ මිල හේතුවෙන් බලපෑම් එල්ල වෙයි. ඒ අනුව තේ කර්මාන්තයේ ප්‍රබල පාර්ශ්වකරුවකු වන කුඩා තේ වතු හිමියන්ට මෙම ගැටලු දැනෙන ආකාරය දැන ගැනීමට කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ සභාපති ලාල් ප්‍රේමනාත් මහතා විමසුවෙමු. ඔහුට අනුව ප්‍රකාශ වන්නේ වෙනස්ම මතයකි.

“තේ සම්බන්ධ විශාල අර්බුදයකට කුඩා තේවතු හිමියන් ලක්වෙලා තියනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අමු දලුවල මිල පහළ යාම. මේකට ඇත්ත හේතුව වෙනත් ජාත්‍යන්තර බලපැම් නෙවෙයි. ආණ්ඩු තේ මිල පහළ යන හැම අවස්ථාවේදීම කියන දෙයක් තමයි, ජාත්‍යන්තර යුද තත්ත්වයක් නැති නම් ඉරාකයේ හෝ ඉරානේ තිබෙන සම්බාධක කතාව. ඇත්තටම ඒවා නෙවෙයි මේකට හේතුව. මොකද ලෝකේ රටවල් එකසිය හතලිස් හතරක් අපෙන් තේ මිල දී ගන්නවා. නමුත් මේ ආණ්ඩු කිසිවක් අපේ වියළි තේ අලවි කිරීම සඳහා හොඳ වෙළෙඳපොළක් හදන කටයුත්තක් කළේ නෑ. පිටරට පටවන හැම අමු දලු කිලෝ එකකින්ම දැනටත් ආණ්ඩුව රුපියල් 13 .50 ක වගේ සෙස් බද්දක් අය කරනවා අපනයකරුවන්ගෙන්. මේ සියල්ලම කුඩා හිමියන්ගෙන් තමා අයවෙන්නේ. මේ විදිහට එකතු කරපු මුදල ඩොලර් මිලියන හයකට වඩා වැඩියි කියලා තමා අපට අද දැනගන්න තියෙන්නේ"

ප්‍රේමනාත් මහතා තවදුරත් පැවසුවේ මෙම ඩොලර් මිලියන හයක මුදලින් සියයට පනහක් වියදම් කර ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපෘතියක් සිදුකිරීමට සූදානමක් ඇති බවයි. නමුත් තේ කර්මාන්තයේ උන්නතිය සඳහා සිදුකළ යුතු තව බොහෝ දෑ මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද ඉතිරිව පවතියි. ඩොලරය හා තේ දල්ලේ කතාවට අමතරව ප්‍රේමනාත් මහතා මතුකරන කාරණාව වෙනම සොයා බැලිය යුත්තකි. ඉරාන හා අමෙරිකානු ඩොලරයේ කතාව පිළිබඳව විවිධ මත ඉහත සාකච්ඡාවල සඳහන් පරිදි ප්‍රකාශ වී  තිබේ. අප ආරම්භයේදි කී ලෙස ඩොලරයෙන් මෙරට තේ කර්මාන්ත වූ යහපතක් පිළිබඳව ද කිවයුතුය. එය සිදුව ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම සමඟ ගැනුම්කරුවන් තේ වෙන්දේසියේදී අප වෙත ගෙවන්නට වන මුදල් ප්‍රමාණය වැඩි වී තිබීම හේතුවෙනි. අපට මේ පිළිබඳව පැවසූවේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතාය.

“රුපියල අවප්‍රමාණය වෙන කොට පහුගිය සති දෙකේ තුනේ විතර තේ වෙන්දේසියේ තේ මිල ගණන් රුපියල් පහළොවක් විස්සක් විතර වැඩි වුණා. ඩොලරයකට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට වීම තමා ඒකට හේතුව. මෙතනදී අපනයනකරුවන්ට නිෂ්පාදකයන්ට වැඩිපුර ආදායමක් ලැබෙනවා. හැබැයි ඒකේ අනික් පැත්ත තමා රුපියල අවප්‍රමාණය වුණාම බඩු ගණන් ගියාම රටේ මිනිසුන්ට ප්‍රශ්න ඇතිවීම"

ඩොලරයෙන් මේ දිනවල තේ කර්මාන්තයට අත්වූ  වාසිය එසේය. තේ යනු මෙරට ප්‍රධානතම අපනයන ද්‍රව්‍යයකි. අපනයනය ශක්තිමත් කරන්නට පාලකයන් සමත් වේ නම් ඩොලරයේ අභියෝගයට මුහුණ දීම ලාංකීය ආර්ථිකයට හැකිවෙනු ඇති බවට ඉහත තත්ත්වය කදිම උදාහරණයකි. තේ ඩොලර් කතාව නිමා කළ යුතුව ඇත. තේ ද සුද්දාගේය. ඩොලර් ද සුද්දාගේය. මෙහි ඇති අපූරු සමානකම එයයි. නොරටුන්ගේ තීන්දු තීරණයවලින් එදා මෙන්ම අදත් අප පීඩාවට පත්ව සිටින බව පැහැදිළිය. හුදකලා වී ජාත්‍යන්තර ගැටලුවලින් පැන යාම අපට නොහැකි බව සැබෑවකි. එසේ වුවද පිට පිට පහර කෑව ද ශක්තිමත්ව නැගී සිටීමට තරම්, අප අපේ ආර්ථිකය සවිබල ගැන්විය යුතුව තිබේ. ඒ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා මේ යුගයේ තදින්ම දැනෙමින් තිබේ.

 චමිඳු නිසල් ද සිල්වා