2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මැති සබයේ වැඩියෙන්ම වැඩ පෙන්වන මන්ත්‍රීවරු

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

රටේ ජනතාව තමන්ගේ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරයකු තෝරා පත්කර පාර්ලිමේන්තුවට යවන්නේ තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමට හොඳම සුදුස්සා ඔහු හෝ ඇය වන බැවිනි. නමුත් පාර්ලිමේන්තුවට ජනතා මනාපයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව දැනට කාලයක සිට අනාවරණය වෙමින් පවතිනා කරුණකි. ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරයෙක් සතුව ඇති කාර්යයන් අතුරින් ප්‍රධානතම කාර්ය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමයි. ඒ තමන් පාර්ලිමේන්තුවට පත්කර හවන ලද රටේ ජනතාව වෙනුවෙනි. ජනතාව ලබාදුන් කතිරයට කරනු ලබන වගකීම් ඉටු කිරීමක් වශයෙනි.

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසනු ලබන අවස්ථාවේදී තම තමන්ගේ ප්‍රදේශවලට බලපාන ප්‍රශ්න අදාළ ඇමතිවරුන්ගෙන් විමසා සිටීමේ අවස්ථා මන්ත්‍රීවරුන්ට හිමිවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැදගත් වන තවත් කරුණක් නම් පෙත්සම් කාරක සභාව සඳහා පෙත්සම් ඉදරිපත් කිරීමට ඇති අවස්ථාවයි. ජනතාවට සාධාරණයක් ඉටු නොවුණ අවස්ථාවක සාධාරණයක් ලබා ගැනීම සඳහා පෙත්සම් කාරක සභාවට පෙත්සම් ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ මන්ත්‍රීවරයා විසිනි. තම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ ද පාර්ලිමේන්තුව තුළිනි.

වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මන්ත්‍රීවරයාගේ ඡන්දය වැදගත් වන්නේ රටේ නීතිය සකස් කරනු ලබන්නේ පාර්ලිමේන්තුව වීම නිසාවෙන්ය. එබැවින් පාර්ලිමේන්තු සැසියකට මන්ත්‍රීවරයකුගේ සහභාගී වීම ඉතා වැදගත්ය.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ඇති නිත්‍යනුකූල ලියැවිල්ල වන සභා ලේඛනයේ එදිනට පැමිණ සියලු මන්ත්‍රීවරුන්ගේ නම් සටහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුව මූලික අංගයකි. එහෙත් මේ වැය කරන මුදලට උපරිම ප්‍රයෝජනයක් ලබන මන්ත්‍රීවරුන් සිටිද? 

mantri.lk වෙබ් අඩවිය මඟින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ 2018 වසරේත් පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාශීලීම මන්ත්‍රීවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා තේරී පත්වී ඇති බවයි. එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ද එම පක්ෂයේම මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාය.

එම වෙබ් අඩවියට අනුව 2015 සිට 2018 දක්වා අඛණ්ඩව වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රීවරයා ලෙස අනුර දිසානායක මන්ත්‍රීවරයා කැපී පෙනෙයි.

ඒ අනුව මෙම වසරේ වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රීවරු දස දෙනා අතරට ජවිපෙ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ඇතුළත් වී සිටිති. එම දස දෙනා පිළිවෙළින් අනුර කුමාර දිසානායක, නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, බුද්ධික පතිරණ, සුනිල් හඳුන්නෙත්ති, බන්දුල ගුණවර්ධන, ගයන්ත කරකැණාතිලක, ඩග්ලස් දේවානන්ද, දිනේෂ් ගුණවර්ධන හා ඥානමුත්තු ශ්‍රී නේසය.

2010 සැප්තැම්බර් මාසයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා වූ කාලය තුළ ක්‍රියාකාරීත්වයෙන් දුර්වලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, ප්‍රේමලාල් ජයසේකර, සිරිනාල් ද මෙල්, ආරුමුගම් තොණ්ඩමන්, මලිත් ජයතිලක, සාලින්ද දිසානයක, වසන්ත සේනානායක, සිසිර කුමාර අබේසේකර, මයන්ත දිසානායක, තේනුක විදානගමගේ, අනෝමා ගමගේ, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීන් බව manthri.lk වෙබ් අඩවිය මඟින් අනාවරණය කර තිබේ.

පසුගිය ජූලි මාසයේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා දත්ත අනුව අනුර කුමාර දිසානායක, මුජිබර් රහුමාන්, ඥානමුත්තු ශ්‍රී ගනේෂන්, සුනිල් හඳුන්නෙත්ති, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රීවරැන් ලෙස ක්‍රියාකර ඇති බව manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබඳව රජයේ සේවකයකුට හෝ පෞද්ගලික අංශයේ සේවකයකුට මෙන් නිවාඩු ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු නැත. එහෙත් එක දිගට මාස 3ක් පාර්ලිමේන්තු නොපැමිණියහොත් ස්ථාවර නියෝගවලට අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම සිදුවෙයි. එබැවින් එක් දිනක් හෝ පැමිණ මුහුණ පෙන්වා යාමට හැකියාවක් ඇත. ඊට අමතරව මාස 3ක කාලයක් නොපැමිණීම (නිවාඩු ගැනීම) සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව ඇත.

පාර්ලිමේන්තු සැසියකට මන්ත්‍රීවරුන් සහභාගී නොවීම ජනතාව මෙන්ම රටට කරන වගකීම්, යුතුකම් පැහැර හැරීමකි. මන්ත්‍රීවරැන් තරම් විශාල වරප්‍රසාද භුක්තිවිඳින තවත් පිරිසක් නොමැති තරම්ය. ඒ ලබන වරප්‍රසාදවලට වන්දි ගෙවීමක් වශයෙන්වත් පාර්ලිමේන්තුවට සහභාගී වීමේ වැදගත්කම මන්ත්‍රීවරුන් දැන සිටිය යුතුය.

මන්ත්‍රී ධූරයට පත්වීම සඳහා විශාල කැප කිරීමක්, මුදල් වැය කිරීමක් සිදු කරනු ලබයි. ඒ තරම් කැපවීමක් කර මන්ත්‍රී ධූරයක් ලබා ගන්නේ නිකම්ම නිකම් නොව එම තනතුරෙන් ලබන වරප්‍රසාදවලට ඇති කෑදරකම නිසා බව බොහෝමයක් දෙනාගේ මතය වී ඇත.

පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත්‍රීවරයකුගේ මූලික මාසික වැටුප රුපියල් 54285කි. නියෝජ්‍ය ඇමතිවරයකුගේ වැටුප 63500කි. ඇමතිවරයකුගේ වැටුප රුපියල් 65000කි. ඊට අමතරව පාර්ලිමේන්තු සැසියකට සහභාගී වන එක් සැසිවාරයක් සඳහා රුපියල් 2500ක මුදලක් ගෙවනු ලබයි. ඒ අනුව මසකට දින 08ක් පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඔවුනට ලැබෙනා මුදල රුපියල් 20000කි. මෙයට අමතරව දුරකථන දීමනා, ඉන්ධන දීමනා මෙන්ම තවත් වරප්‍රසාද රාශියක් ඔවුනට හිමි වේ. එමෙන්ම සෑම වසර 05කට වරක්ම තීරු බදු සහිත වාහනයක් ලබා ගැනීමේ අවස්ථාවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන අතර එම වරප්‍රසාද වත්මන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් විසින් ලබාගෙන ඇති බව වාර්තා වී තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරුන්ටම වරප්‍රසාද රාශියක් හිමි වී ඇත. බොහෝමයක් දෙනා නොඅඩුව මෙම වරප්‍රසාද භුක්ති විඳිති. නමුත් පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් තම වගකීම ක්‍රියාශීලීව ඉටු කරන මන්ත්‍රීවරුන් සිටින්නේ ඉතාමත් අතලොස්සකි.

♦ හසිත් අංජන