
වැලිකන්ද, කාලිංගවිල ගම්මානයේ වැසියන්ට ඉකුත් සතියේ සෙනසුරාදා දවස උදාවූයේ අමිහිරි දුක්මුසු ආරංචියක් ද සමඟිනි.
ඒ එදින අලුයම කාලිංගවිල ගම් පියසේ විසූ 44 හැවිරිදි දෙදරු මවක වන ඒ. ජී. චන්ද්‍රාවතී වන අලියකුගේ පහර කෑමකට ලක්ව මෙලොව හැර යාමේ සිද්ධියයි. ඒ සිද්ධිය වූ දිනයේ චන්ද්‍රාවතී නින්දෙන් ඇහැරුණේ අලුයම 4.00ට පමණ අලියකු තම ගෙවත්තට පැමිණ කෙසෙල්, පොල් ආදී වගාවන් විනාශ කරන හඬ ඇසීමෙනි.
අලි තම ගෙවත්තට පැමිණීම හෝ ඉන්පසු උන් එලවා දැමීම හෝ තමන්ට යන්තම්වත් ආගන්තුක පුරුද්දක් නොවන හෙයින් ඇය අලියා පැමිණ ඇති බව සිය සැමියා ගුණතිලකට ද දන්වා දොර ඇරගෙන මිදුලට බැස තිබේ.
ඒ මොහොතේ මිදුල ආසන්නයේම රැඳී සිටි අලියා චන්ද්‍රාවතී පසුපස පන්නාගෙනවිත් ගේ දොරකඩදීම ඇයට පහර දී තිබෙන බව හෙළිවිය.
එදින මේ අඹුසැමියන් සිය නිවෙස අසල පිහිටි ගෙදරක පිරිත් පිංකමකට ද සහභාගී වී ආපසු පැමිණ නින්දට ගොස් ටික වේලාවකින් චන්ද්‍රාවතී මේ අහඹු අනතුරට ගොදුරු වී ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.
“වත්තට අලියා ඇවිල්ලා.. නැගිටින්න නැගිටින්න” යනුවෙන් පවසා සිය සැමියා නින්දෙන් ඇහැරවාගෙන ඇත්තේ ද බිරිය චන්ද්‍රාවතීය. අනතුරුව ඇය තම සැමියා ගුණතිලක මිදුලට බසින්නටත් පෙර තම දෙපා ඉස්සර කර තිබෙන අතර අලියා පන්නාගෙන එද්දී ඇය බිම වැටී තිබේ. අලියා පහර දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.
මේ දුක්මුසු සිදුවීම කාලිංගවිල ගම්මානයේ පමණක් නොව ඒ අවට ගම්දනව් බොහොමයක ජනයාගේ සිත් කම්පා කරවන්නක් බව එහි ගිය අපට පැහැදිලි විය. කාගේත් හොඳ හිත දිනාගෙන සිටි ඇගේ අකල් මරණය සිහිනයක් බඳුයැයි බොහෝ දෙනා කීහ.
වඩු කර්මාන්තයත්, ගොවිතැනත් ජීවනෝපාය ලෙස කළ ගුණතිලකට චන්ද්‍රාවතී නිරන්තරයෙන්ම අත් උදව්කාරියක වූවාය. ඔවුන්ගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතු මහනුවර ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවද අපට දැනගන්නට ලැබිණි.
දියණිය යෞවනයට පා තබා ඒ නිමිත්තෙන් ඔවුන්ගේ නිවෙසේ නෑදෑ හිතවතුන් වෙනුවෙන් පවත්වන උත්සවයක් සඳහා ද ලහිලහියේ කටයුතු සූදානම් කරමින් සිට ඇත. එහෙත් දෛවයේ සරදමින් කාලය ඊට ඉඩ නොදීම නිසා එහි පවත්වන්නට යෙදුණේ චන්ද්‍රාවතීගේ මළගමය.
මල්වර නැකතින් දොරට වඩින තම දියණියගේ නළලත සිප ගන්නට පෙරමඟ බලා සිටි අම්මා අද නිහඬය. නිසලය. ඒ දකින දරුවන්ට, සෙනෙහෙබර සැමියාට දෑත් හිස මත තබා විලාප නගනු හැර අන් කළ හැකි දෙයක් නොමැති තරම්ය. ඔවුන් පමණක් නොව ඒ අවමඟුල් උළෙලට පැමිණ සිටි බොහෝ දෙනකු තම අසල්වැසියාට, ඥාතිවරියට, හිතමිතුරියට අත් වූ විපත පිළිබඳව ශෝකයෙන් පසුවූයේ අදහාගත නොහැකිවයි. ඒ සැවොම චන්ද්‍රාවතීගේ යළි කිසිදා නොඑන ගමනට සමු දුන්නේ වාවාගත නොහැකි දුකක් සමඟින් කඳුළු පිරි දෙනෙතින් බව සැබෑවකි. ඇගේ අවමඟුල් උළෙලේ ආගමික වතාවත් ඉටුකරදීම සඳහා වැඩම කර සිටි මහා සංඝරත්නය වෙතින් පළ වූයේ ද කාලිංගවිල ගම්මානයේ විසූ ගුණගරුක මාතාවකගේ හදිසි වියෝව මේ පවුලේ උදවියට, ගමට මෙන්ම ගමේ පන්සලට පිරිමැසිය නොහැකි පාඩුවක් බවය.
වැලිකන්ද, කඩවතමඩුව, මැණික්දෙණිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඉඩම්පිටියේ විජිතාලංකාර හිමියෝ එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ. “වැලිකන්ද ප්‍රදේශය පිළිබඳව මෙහි ජීවත් වන ජනතාවගේ ජීවිත පිළිබඳව දීර්ඝ කාලයක පටන් අත්දැකීම් මට තිබෙනවා. අවුරැදු 30ක් පමණ කොටි ත්රස්තවාදීන්ගෙන් විවිධ හිරිහැර දුක් පීඩා ජනතාව වින්ඳා. සමහර අය ජීවිත පරිත්‍යාග කළා. ඒත් මේ බොහෝ දෙනෙක් ගම්බිම් දාලා කොටින්ට බයේ ගියේ නෑ. ගම් ආරක්ෂා කරගත්තා. රාත්‍රි කාලයේ මේ උදවිය හිටියේ තමුන්ගේ ගෙවල්වල නොවෙයි. කැලෑවල, බංකර්වල, බෝක්කු යට. එදා එහෙම දුක් විඳපු අය යුද්ධය ඉවර වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලත් දුක් විඳින එක ඉවර නෑ. බොන්න වතුර ටිකක් නෑ.

අලින්ගේ හිරිහැර ඉවරයක් නෑ. ඒ නොයෙකුත් පීඩා විඳිමින් තමයි ජිවත් වෙන්නේ. මේ ප්‍රදේශ වෙලාගෙන තිබෙන වන අලි හිරිහැරය නිසා වටිනා ජීවිත රැසක් මේ වනවිට අහිමි වෙලා තිබෙනවා. මේ අකල් මරණයත් එහි ප්‍රතිඵලයක්.”
අලි මිනිස් ගැටුම රජරට බොහෝ ප්‍රදේශවල දිනෙන් දින උග්‍ර වෙමින් ජන ජීවිත අඩාල කරන බව නොරහසකි. ඒ හේතුවෙන් අලියාත් මිනිසාත් දෙදෙනාම අකාලයේ ජීවිතවලින් සමුගන්නා දුක්මුසු තත්ත්වය වඩාත් ලියලමින් තිබෙනු දැකිය හැක. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින ජනයා වෙසෙන ගම්මාන අතුරින් වැලිකන්ද ඉදිරියෙනි. කොටි ත්‍රස්තවාදයෙන් දරුණු ලෙස එකල බැට කෑ ජනයා දැන් අත්විඳින බරපතළ ප්රශ්නය අලින්ගෙන් සිදුවන හිරිහැර පීඩා බැව් සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.
මේ දිනවල පවතින වියළි කාලගුණය වසරේ වැඩි කාලයක් බලපාන්නේ ද වැලිකන්දටය. එහි වෙසෙන ජනයා ද වන සතුන් ද එකම ආකාරයකට ජල හිඟයකට මුහුණ දී සිටිති.
රාත්‍රී කාලයේ ආහාරත් ජලයත් සොයා යන වන අලි ගම්මානවලට කඩා වැදී බව බෝග වැනසීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
නොනවතින අරගලයක් බඳුවූ අලි මිනිස් ගැටුමට මැදිවී අහිංසක ජන ජීවිත අකාලයේ විනාශ වීම එහි අනිවාර්ය ප්රතිඵලයකි.
වැලිකන්ද කාලිංගවිල ගම්මානයේ විසූ 44 හැවිරිදි දෙදරු මව අලි මිනිස් ගැටුම නොවන්නට තවත් බොහෝ කාලයක් ඒ පරිසරයේ නිදහසේ හුස්ම ගනු නිසැකය.
►කරුණාරත්න ගමගේ