
කජු පැකට් එකක්, පෙපර්මින්ට් එකක්, බිත්තියේ එල්ලන ලස්සන පින්තූරයක්, ගන්න මල්ලි ගන්න පොඩි සපෝට් එකක් දෙන්න මල්ලියා...
මේ පින්තූරයක් කීයක් වෙනවද?
රුපියල් සීයයි පොඩි ගාණයි වෙන්නේ
ඇයි අයියේ එච්චර ගාණක්?
කීයක් හරි සම්තිං එකක් හොයාගෙන අපිත් ජීවත් වෙන්න එපැයි... ඒකනේ මේ මහ දවාලේ කට්ට කාගෙන බිස්නස් එකේ එන්නේ. මේ පින්තූරයක් අරං යන්න දෙයියා... පොඩි සපෝට් එකක් දීල යන්න.
ගාල්ල කොටුවේ නානාප්‍රකාරයේ බඩු විකුණන වෙළෙන්දන් අතර සිටි ඔහු සමඟ ලියුම්කරැ කතාවට වැටුණේ අහම්බයෙනි.
තමන්ගේ එදිනෙදා බිස්නස් එක පාඩු කර ගැනීමට අකමැති වූ ඔහු වචන දෙක තුනක් කතා කිරීමට කැමති කරගත්තේ මහත් වූ ආයාසයකින් අනතුරුවය.
කොයි කාලේ ඉඳන්ද කොටුවේ බිස්නස් කරන්න එන්නේ? ඒ ලියුම්කරැ ඔහුගෙන් ඇසූ මුල්ම පැනය විය.
මම දන්න කාලේ ඉඳන් ඉන්නේ මේකේ තමයි ලොක්කා. මේකේ එන කපල්වලට ගාලුකොටුව බලන්න එන සුද්දන්ට මොනවහරි දීලා තමයි අපි මේ ලයින් එක ගහගෙන යන්නේ...
ඒ වුණාට ඔයාගේ ළඟ බඩු මාර විදියට ගණන්නේ? රටකජු පැකට් එකම පනහක් වෙනවනේ. මිනිස්සු බඩු ගන්නවද?
මගේ ළඟ විතරක් නෙවෙයිනේ ලොක්ක මේකේ ඇතුළේ බඩු විකුණන කා ළඟත් ඔය ගාණට තමයි බඩු ගන්න වෙන්නේ... අනික ගාණ කීයද කියල බලන්නේ නැහැ. ඔය ලව් කරන්න නිදහසේ කතා කරන්න ගාල්ල කොටුවට එන කපල් ගාණ කීය වුණත් බලන්නේ නෑ බඩු ගන්නවනේ... අපි ඉතිං කපල් එකක් ටකල් කරලා ළඟට ගියාම මොනවහරි කෑල්ලක් ගන්නකම්ම එන්නේ නෑනේ. අපි වාත වෙවී ළඟ ඉන්නකොට සීය නෙවෙයි පන්සීයක් දීලා හරි බඩු ගන්නවා... අනික එහෙම එන කපල්වලට බැල්මට් දාන උන් ඉන්නවා කියලා අපි මුලින්ම කපල් එකට කියලා එහෙන් මෙහෙන් වචනයක් දානවා... කොල්ලට පොඩි ටෝක් පාරක් දාලා කියනවා අපෙන් මොනවහරි ගන්න අපි මේ ළඟපාතම ඉන්නේ අවුලක් වුණොත් ඔතන කියලා. එහෙම වුණාම සීයේ නෙවෙයි පන්සීයක වුණත් බඩු ගන්නවනේ ලොක්කා...
ඔහුගේ එම කතා විලාශයෙන් වැටහුණේ ඔහු ගාල්ල කොටුව තුළ වෙළෙදාමේ කෙළ පැමිණියකු බවයි.
මිනිසුන්ට නොදැනෙනා සේ ඔවුන්ගේ පොකැට්ටුවට විදිනා කොළඹ කාක්කන් ගැන අප අසා තිබුණද මේ වනවිට ගාලුකොටුවේ සිටිනා එම ජංගම වෙළෙන්දෝද කොළඹ කාක්කන් තරමටම පදම් වී සිටිති.
කපල්වලට විතරයිද ඔහොම බඩු විකුණන්නේ?
එහෙම වර්ග බේදයක් නෑ හැමෝටම බඩු දෙනවා. කපල්වලට ටකල් කරල බඩු දෙන්න ලේසියි... සුද්දන්ටත් බඩු දුන්නා ඉස්සර. එත් දැන් දෙන්න බැහැ. කොහෙද ගයිඩ් කරන කාක්කෝ වැහි වැහැලනේ.
ෆැමිලි එක්ක ගාලුකොටුව බලන්න එන අයට ඔහොම බඩු විකුණන්න බෑනේ?
මොකද ලොක්ක බැරි. ලොක්කා විකුණලා බලන්නකෝ විකිණෙනවද නැද්ද කියලා. මේකම විතරක් කරලා ජීවත් වෙන්න බැහැනේ...
එහෙනම් වෙන මොනවද කරන්නේ?
දන්නේ නැද්ද ඔය රජයේ තැන්වල වැඩ කරන පොඩි පොඩි ගැස්ටොත් අපි දන්නවනේ. ඉතිං ඔය ඒවගෙන් වැඩ කරගන්න එන සෙට් රස්තියාදු නොකර අපිත් පොඩි සම්තිං එකක් හොයාගෙන වැඩේ කරලා දෙනවා. ඒ වගේ පොඩි පොඩි වැඩ කරලා ගතමන්ට් එකක් හොයාගන්නවා. හැබැයි ඉතිං ඒක හැමදාම නැහැ. මේක තමයි ඉස්තිර බිස්නස් එක.
ඒ වුණාට බඩු දෙන්නේ බලහත්කාරෙන්නේ? අනික ගාණත් වැඩියිනේ?
ඒ ඔයාටනේ ගාණ වැඩි. මෙතෙන්ට එන සෙට් කීයක් වුණත් බඩු ගන්නවා. අපි ඉතිං ඒ ඉල්ලුමට සැපයුම දෙනවා.
ඔයාල රජයේ ලියාපදිංචි වෙලාද මෙහෙම බිස්නස් කරන්නේ?
ඕවගේ ලියාපදිංචි වෙවී බිස්නස් කරන්නේ කවුද? අපි බඩු ගෙනැල්ලා විකුණනවා. කොහෙ තියෙන සල්ලියක්ද ඕවා ලියාපදිංචි කරලා කරන්න.
වැඩි මිලට විකුණනවා කියලා එහෙම ප්‍රශ්නයක් නැද්ද?
කවුරැහරි කියන්න එපැයි ප්‍රශ්න එන්න. කාගෙන්වත් එහෙම බලපෑමක් එන්නේ නෑ. ඉඳලා හිටලා පොලීසියෙ කවුරුහරි ඇවිල්ල මේක කරන්න එපා එහෙම කියනවා. ඒ වුණාට පොලීසියෙන් ගියපු ගමන් ආයෙම ඒක තමයි කරන්නේ. කවුරු බලන්නද ලොක්කා... රායිට් එහෙනම් මගේ වෙලාව පැන්න. බෝම ස්තූතියි කාඩ් එකක් ගත්තට බොසා. එහෙනම් අපි කැපුණා...
ඔවුන් පවසනා ආකාරයට ගාලුකොටු බැම්ම තුළ සිදුකෙරනා ජංගම වෙළෙදාමේ අධිපත්‍ය බලය ඇත්තේ ඔවුන් අතේය. හිතූ හිතූ මිලට කොටුව ඇතුළේ සිටිනා පුද්ගලයන්ට වැඩි මිලට මොවුන් බඩු විකුණන්නේ එම නිසා විය යුතුය. මෙවැනි වෙළෙන්දන් සමඟ බොහෝ දෙනකු පැටලෙන්න නොයන්නේ ඒ ඔවුන්ගේ රාජධානිය කියා සිතනා බැවිනි. කෙසේ වෙතත් මෙවැනි පුද්ගලයන්ගෙන් බඩු මිලදී ගැනීම තුළ සිදුවන්නේ ඔවුන්ගේ කළු කඩයට උඩගෙඩි දීමකි.
ගාල්ල කොටුවට නිදහසේ සිටීමට මෙන්ම රාජකාරි සඳහා එන අයද මේ ගැන විමසිලිමත්ව සිටීම තුළින් මෙවැනි අවස්ථා මගහරවා ගත හැකිය.
හසිත් අංජන