
තෙඹුවන පොලීසියේ සැරයන්වරයෙක් සිය රාජකාරී ගිනි අවිය රැගෙන පැය දෙකකට වැඩි වේලාවක් තෙඹුවන නගරයේ කලහකාරී ලෙස හැසිරීමෙන් ප්‍රදේශයට භීතියට පත්ව තිබිණ. ඔහු විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් අධිකරණයට ඉදිරිපත් නොකොට මුදාහැරීමට ඉහළ නිලධාරීන් පියවර ගෙන ඇතැයි කියමින් ඊට විරෝධය පාමින් සැරයන්වරයා එසේ හැසිරී ඇත. අවසානයේ පොලීසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මෙල්ල කරගත් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුගේ සේවය තහනම් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කිරීමට කටයුතු කෙරිණ.
“මම අවුරුදු 14ක් කොටින්ගේ හිරේ හිටපු මිනිහෙක්. මට මාංචු හොඳට හුරුයි. මට අසාධාරණයක් වුණා.” යැයි කියමින් අත්අඩංගුවට පත්වූ මොහොතේ කෑමොර දුන් සැරයන්වරයා වසර ගණනාවක් තිස්සේ පොලීසියේ සේවය කළ අයෙකි. මෙම සිදුවීම වන අවස්ථාව වනවිටත් ඔහු තෙඹුවන පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇත. ඉකුත් 28 වැනිදා රාජකාරියේ නිරතව සිටි නිලධාරියා වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර දින හතරකට පසුව ලොරි රථය හා රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් ඔහු ලොරි රථය හා රියදුරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනගෙන තිබුණේ 3 වැනිදාය. ඊට හේතුව එම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේත් ඉහළ නිලධාරීන්ගේත් ක්‍රියාකලාපය බවට චෝදනා කරමින් ඊට එරෙහිව සැරයන්වරයා මෙසේ හැසිරී ඇත.
ඒ අනුව ඉකුත් 3දා පස්වරු 12ට පමණ රාජකාරි ගිනිඅවිය රැගෙන නගරයට පැමිණ තමුන්ට සාධාරණය ඉටුනොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවද පැවසීය. ගැටලුව සමථයකට පත්කරන්නට ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් පැමිණිය ද ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ වනවිට සැරයන් සනත් ගුණවර්ධනගේ දියණිය හා බිරිඳ එම ස්ථානයට පැමිණ හඬාවැලපෙමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් බෆල් රථයකින් පැමිණියේය. එක් නිලධාරියෙක් සැරයන්වරයා හා කතා කිරීමට අවස්ථාව ඉල්ලීමේදී “මම කියන දේ අහන්න සර්ලා... මම වැරැද්දක් කරන්නේ නෑ... මට පාඩුවේ ඉන්න අරින්නකෝ... මගේ මානසිකත්වය හොඳ නෑ... මට හිරිහැර කළා... මම පොලිස් කොමිසමට ගියා... මානවහිමිකම් කොමිසමට ගියා... මොකක්වත් වැඩක් වුණේ නෑ... වැලි ලොරිය උසාවි දාන්න... ඊට පස්සේ මගේ තීරණය ගන්නම්.” යැයි ද සැරයන් සනත් ගුණවර්ධන ප්‍රකාශ කළේය. තත්ත්වය පාලනය නොවී තිබියදී කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් නිල්මිනි ආරියරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි පැමිණියේය. එහිදී සැරයන්වරයා මෙසේ කීය.
“මෙහෙම කරන්න හොඳ නෑ සර්... නිලධාරීන්ට අපි උසස් නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කරලා දැන් අවුරුදු 25ක් තිස්සේ දුක් විඳිනවා. මගේ දවස් පහකට පඩිය කැපුවා සර්...” මේ ආකාරයට කිසිදු නිලධාරියෙකුට මෙල්ල නොවී සිටි සැරයන්වරයා සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳාගැනීමට හෝ ගිනි අවිය ඉවත් කිරීමට සූදානම් වූයේ නැත.
මේ අතර සූක්ෂම ලෙස ක්‍රියාකළ විශේෂ කාර්ය බළකා නිලධාරින් සිවිල් ඇඳුමෙන් සැරසි ක්ෂණිකව ඔහු වෙත කඩා පැන්නේය. ඒත් සමඟම ගිනිඅවිය ක්‍රියාත්මක කළ සැරයන්වරයා වෙඩි හඬ නංවමින් උණ්ඩ දෙකක් පිට කළේය. මේ සමඟම ක්‍රියාත්මක වූ සෙසු නිලධාරීන් සැරයන්වරයා මෙල්ලකරගෙන ඔහු සතු ගිනිඅවිය හා සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9 වැනිදා තෙක් රිමාණ්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණ. මෙහිදී අදහස් දැක්වූ කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණී ආරියරත්න මහතා “වැලි ප්‍රවාහනය කරලා තියෙන්නේ බලපත්‍රයක් ඇතිවයි. බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරලා කියලයි අත්අඩංගුවට ගෙන තිබුණේ. බලපත්‍ර ඇති බව දැනගෙන නිදහස් කර තියෙනවා. මෙතන අසාධාරණයක් තිබුණානම් සැරයන්වරයාට තිබුණා මාත් සමඟ කතා කරන්න. මෙය වැරදි පූර්වාදර්ශනයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සැකකරු මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන්නට අධිකරණයෙන් ඉල්ලනවා.” යැයි කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා.
“වැලි ප්‍රවාහනය කළ ලොරියට බලපත්‍ර තියෙනවා. ඒ නිසා නිලධාරින් එය මුදාහැර තිබුණා. එය නීති විරෝධී ක්‍රියාවක් නොවේ. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරීවරයා උපදෙස් ලබාදී තිබුණා. ඒ ක්‍රමවේදය නිවැරදියි. මොහු දින 15ක් සේවයට වාර්තා කර තිබී නෑ. ගිනිඅවිය භාවිතා කිරීම, වෙඩි තැබීම හා කළහාකාරී ලෙස හැසිරීම චෝදනාවලට ඔහු අත්අඩංගුවට ගත්තා. ආයතන සංග්‍රය යටතේ කටයුතු කරලා සැකකරු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. ඒ වගේම අධිකරණ නියෝගය ලබාදී තිබෙන්නේ ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමටයි.” යනුවෙන් පැවසීය.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර