2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

රටම කැළඹූ වෙඩි තැබීම සහ බොරලැස්ගමුව මහ අනතුර

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

මහමග සිදු වූ මාරක අනතුරු දෙකක් පිළිබඳව ආන්දෝලනාත්මක කතිකාවක් පසුගිය සතියේ ඇතිව තිබුණි. ස්ථාන දෙකකදී වාර්තා වූ සිදුවීම්වලින් එකකදී පාතාලයන්ගේ වැරදුණු කුරුමානමකට ගොදුරු වූ මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි දෙදරු මවක් වූ කාන්තාවක් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වූවාය. එම අනතුර ජාඇළ ප්‍රදේශයෙන් වාර්තා වෙද්දී බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් බොක්සිං පුහුණුකරු මෙන්ම ජාත්‍යන්තර බොක්සිං උපදේශකවරයෙක් වූ පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්විය. එම අනතුරට හේතු වූ මෝටර් රථය බීමත්ව සිටි විශේෂඥ වෛද්‍යවරියක් විසින් පදවා ඇතැයි වාර්තා වීම තුළ දැන් ඇත්තේ පොලීසියත් වෛද්‍ය මතයත් අතර පවතින පරස්පරයකි.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනය වී තිබුණේ ජාඇල කපුවත්ත පදිංචිව සිටි රසිකා රැබෙල් නැමැති කාන්තාවකි. ඇය සිය බාල දියණිය සමඟ ඉකුත් (30) ඉරිදා කඳාන දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වී නැවත නිවසට යමින් සිටින අතරතුර වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි. බරපතළ තුවාල ලබා සිටි ඇය රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව සිටි අතර වෙඩි ප්‍රහාරයෙන් ඇගේ දියණිය බේරී තිබුණේ වාසනාවකට මෙන්ය.

පාතාල සාමාජිකයෙක් වන මිනුවන්ගොඩ කළු අජිත් නැමැත්තා අධිකරණ නියෝගයකට අනුව සෑම මසකම අවසන් ඉරිදා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්සන් කිරීමට පැමිණෙයි. එදින ඔහුගේ ගෝලයන් දෙදෙනකු සමඟ ඊට සහභාගී වී යන අතරතුර ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් විසින් ඔවුන් පැමිණෙන මෝටර් රථය ඉලක්ක කරගෙන සිට ඇත. තොරතුර වැරදීමෙන් ඒ හා සමාන වෙනත් මෝටර් රථයකට එල්ල කර තිබූ වෙඩි ප්‍රහාරයෙන් රසිකා මහත්මිය ජීවිතක්ෂයට පත් වෙද්දී ඒ සිදුවීම පිළිබඳව සත්‍ය තොරතුර කඳාන පොලීසිය වෙත අනාවරණය කර තිබුණේ පාතාල සාමාජික කළු අජිත් හා ඔහුගේ සගයන් දෙදෙනා විසිනි.

පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්කරමින් ඔහුගේ බිරිය සහ දරු දෙදෙනාට බරපතළ තුවාල සිදුකරමින් බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ වූ රිය අනතුර වාර්තා වූයේ ද ඉකුත් 30 වැනිදා අලුයම 1ට පමණය.

පොලිස් පරීක්ෂකවරයා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වුවද ඔහු බිරිය හා දරු දෙදෙනා සමඟ පදිංචිව සිට ඇත්තේ තිඹිරිගස්යාය පිහිටි පොලිස් නිල නිවාසයකය. එබැවින් ඔහු බොරලැස්ගමුව නිවසට පැමිණියේ කලාතුරකිනි. පොලිස් පරීක්ෂකවරයාගේ මවගේ උපන්දිනය යෙදී තිබුණු ඉකුත් 29 වැනිදා රාත්‍රියේ ඔහුගේ සොහොයුරකුගේ නිවසේ පැවැත්වූ දානමය පුණ්‍යකර්මයකි. පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී ඇතුළු පවුලේ පිරිස ඊට සහභාගී වීමට පැමිණ යළිත් පිටත්ව ගොස් තිබුණේ මධ්‍යම රාත්‍රිය ඉක්මවූ පසුවය.

සොහොයුරාගේ නිවෙසින් පිටත් වූ අජන්ත ගාමිණී අලුතින් මිලදී ගත් වැගන් ආර් රථයේ නැගී පැපිලියාන දෙස සිට කොහුවල දෙසට ගමන් කරමින් සිට ඇත. කිසිදු වාහන තදබයක් නොවූ මාර්ගයේ වම් පසින් ධාවනය වෙමින් තිබූ රථය ළඟා වෙමින් තිබුණේ යුද හමුදාවේ 142 වැනි බලසේනා මූලස්ථානය පසුකර යන්නටය.

ඒ ආසන්න වෙලාවේදී කොහුවල දෙස සිට බොරලැස්ගමුව ප්‍රදේශය බලා වේගයෙන් ධාවනය වෙමින් තිබූ වෙසල් මෝටර් රථයකි. එම රථයට පෙර ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකට එක ආසන්නයේදීම ඉස්සර කරගෙන වේගයෙන් ඉදිරියට ගිය රථය යුද හමුදා කඳවුර පෙනෙන මානයේ ඇති වික්‍රමරත්න මාවත ළඟ වංගුව අසලින් ගියේ තවත් වේගය වැඩි කරමිනි. ඒ මොහොත වන විටත් පොලිස් පරීක්ෂකවරයාගේ පවුල රැගත් වැගන් ආර් රථය අජන්ත ගාමිණී මහතාගේ වැඩිමහල් පුතු විසින් ප්‍රවේශමෙන් පදවමින් සිටියේය. තවදුරටත් ඒ ප්‍රවේශම් සහිත ගමනට ඉඩක් ලබා නොදී මාරාවේශයෙන් පැමිණි වෙස්ල් රථය මහ හඬක් නංවමින් වැගන් ආර් රථයේ රියදුරු අසුන ඉදිරිපිට ගැටී එකී රථය පසුපසට තල්ලු කරමින් වටයක් කැරකී ඇදී ගොස් පාර හරහා නතර වී තිබුණි. ඉදිරියෙන් එන මෝටර් රථය දැක ඊට ඉඩ ලබා දීමට මාර්ගයේ වම් පසට ගත් වැගන් ආර් රථය වෙස්ල් රථයේ ගැටීමත් සමඟ විසිවී ගොස් පාර කෙළවර නවතා තිබූ වෑන් රථයක බඳට හේත්තු වී නැවතී තිබිණ.

මේ අනතුර ඒ ආකාරයෙන්ම අසල වූ ගොඩනැගිල්ලක තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණු අතර අනතුරත් සමඟ ඒ අසලින් යන්නට ආ වෙනත් මෝටර් රථ කීපයක පිරිස හා අසල්වැසියන් එක්ව තුවාල ලබා සිටි පිරිස රෝහල්ගත කරන්නට පියවර ගත්තේය. ඒ අතරතුර වැගන් ආර් රථයේ පැමිණි පොලිස් පරීක්ෂකවරයා ද බිමට බැස රැස් වූ පිරිස සමඟ එක්ව තුවාල ලබා සිහිසුන්ව සිටි සිය බිරිය හා දරු දෙදෙනා රෝහල්ගත කරන්නට උත්සාහ කර තිබිණ. පසුව පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත වී තිබුණේ ඇතිව තිබූ සීරීම් හා ශරීර වේදනා හේතුවෙනි. එහෙත් ඔහු පසුව මියගියේය.

අලුයම 1.15 පමණ වන විට සිදුවීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව රථවාහන පොලීසිය වෙත තොරතුර දන්වා තිබුණේ ප්‍රදේශවාසීන් විසිනි. ඒ මොහොතේම එහි ගිය නිලධාරීන්ට රැස්ව සිටි පිරිස පවසා තිබුණේ අනතුර සිදුකළ වෙස්ල් රථය කාන්තාවක කාන්තාවක විසින් පදවාගෙන ආ එකක් බවත් එහි තවත් තරුණියක හා තරුණයන් දෙදෙනකු සිටි බවත් ඔවුන් තුවාල ලබා ඇති බැවින් රෝහල්ගත කළ බවත්ය. වැඩිදුරටත් ඔවුන් කියා සිටියේ රිය පැදවූ කාන්තාව අධික ලෙස බීමතින් සිටි බවය.

එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කළුබෝවිල රෝහලට ගිය අතර ඊට පෙර වැගන් ආර් රථයේ තිබූ කැමරාවක පටිගතව තිබූ දර්ශන අනුවත් අනතුරට හේතුව වෙසල් රථය බවට හඳුනාගෙන තිබිණි.

මෙහිදී අත්අඩංගුවට ගැනුණ කාන්තාව මත්පැන් පානය කර ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්වසන වායු පද්ධති පරීක්ෂණයට යොමු කළ විටදී ඇය මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී තිබිණි. කෙසේ වෙතත් එදින අලුයම ඇය බීමතින් සිට ඇති බව පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමේදී එහි වෛද්‍යවරුන් සටහන් තබා තිබුණේ මත්පැන් ගඳක් වහනය නොවන බවය.

මේ අතර අනතුර සිදුකළ කාන්තාව පිළිබඳව අනාවරණය විය. ඇය රත්නපුර මහ රෝහලේ දියවැඩියාව රෝග විශේෂඥ වෛද්‍යවරියක වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අනතුර සිදුවීමට පෙර වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි කැරෝකි සමාජ ශාලාවක සිට පැමිණි බවට තොරතුරු හෙළි වී ඇති අතර ඇය සමඟ පැමිණි සෙසු පිරිස අතර සිටි තරුණිය එහි ගීත ගායනා කළ තැනැත්තියක වන අතර තරැණයන් දෙදෙනා සංගීත කණ්ඩායමක ශිල්පීන් බව ද වාර්තා වී ඇත.

කළුබෝවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පැය දෙකකට පමණ පසුව පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්ව තිබිණි. එහෙත් අනතුර සිදුකළ වෛද්‍යවරිය බීමත්ව සිට නැති බවට වෛද්‍ය වාර්තා පළවීම මවිතයකි. එම තොරතුරු යට ගසන්නට යම් බලපෑමක් හෝ පිරිසකගේ ක්‍රියාකාරීත්වයක් ඇතිදැයි පවතින සැකයකි. කෙසේ නමුත් බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී ලෙස ධාවනය යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇය සැප්තැම්බර් 9 දින තෙක් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ප්‍රකාශ සටහන් ලබාගෙන අවශ්‍ය දෑ රස පරීක්ෂකවරයා විසින් සහතික කර ඇති බවත් ඒවා අධිකරණය පිළිගෙන ඇති බැවින් ඉදිරි අධිකරණ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බවත්ය.

සමන්ත ප්‍රදීප් විල්තෙර