
දකුණු කොරියාවේ රැකියාව සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මීට වසර 20කට පෙර එරටදී සිදු කළ සමූහ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ විමර්ශනයක් පැවැත්වේ. එහි ජාන විද්‍යාත්මක සාක්ෂි (DNA) සනාථ වීමෙන් පසුව දැනට ලංකාවේ ජීවත්වන එම සැකකරුවන් සොයා දෙන ලෙස කොරියානු රජය මඟින් ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ජාත්‍යන්තර ඒකකයට ඉල්ලීමක් කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය. එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කොට තිබුණේ සැකකරුවන් සොයා විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසය.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් මෙරට දේශ සීමාවෙන් පිටතදී සිදු කළ යම් අපරාධයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ සංවිධාන පනතේ 9 වැනි වගන්තිය යටතේ පවතින බලය හා ප්‍රතිපාදන යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය මෙවැනි විමර්ශනයක් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ පළමුවැනි වතාවටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ පොලිස් අධිකාරී වෙදසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් පළමුවැනිදා අධිකරණයට කරුණු දැක්වීමේදී ඊට අවසරය ලැබී තිබේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කෙරෙන විමර්ශනයට අදාළ සිදුවීම මීට වසර 20කට ඉහතදී 1998 වසරේ අපරාධයකි. කොරියානු රජය අනාවරණය කරන පරිදි 1998 වසරේ දිනක එරට තේගු ප්‍රාන්තයේ භූමා නැමැති අධිවේගී මාර්ගයේදී වයස අවුරුදු 18ක තරුණියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. මළ සිරුර පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ ඇයගේ යට ඇඳුම ඉවත්ව ඇති බවය. ඒ පිළිබඳව විමර්ශනය කළ එරට රහස් පොලීසිය තරුණියගේ යට ඇඳුම සොයාගෙන තිබුණේ වෙනත් ස්ථානයක තිබියදීය. ඒ සිද්ධිය පිළිබඳව සැක සිතූ විමර්ශන නිලධාරීහු ඇඳුම විශේෂ පරික්ෂාවකට ලක් කළහ.
එහිදී අනාවරණය කරගෙන තිබුණේ එම ඇඳුමේ ශුක්‍රාණු කොටස් කීපයක් තැවරී ඇති බවය. ඒ අනුව කොටස් ශුක්‍රාණු පැල්ලම් නිස්සාරණය කර ආකෘතියක් වර්ධනය කරගන්නට පියවර ගෙන ඇති අතර ඒවායෙන් ලබාගත් ඩී.එන්.ඒ. වාර්තාව පෙන්වා දී ඇත්තේ පුද්ගලයන් තිදෙනකුගේ DNA එහි අඩංගු වන බවය. ඒ අනුව පොලීසියේ හෙළි කරගෙන තිබුණේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූවා යැයි කී තරුණිය සමූහ දූෂණයකට ලක්ව ඇති බවත් අනතුරුව ඝාතනය කර ඇති බවත්ය. එකී විමර්ශන සාර්ථකව සිදු කළ නමුත් ලබාගෙන තිබූ DNA වාර්තාව සැසඳීම සඳහා සැකකරුවෙක් හඳුනාගැනීමට පොලීසිය සමත්ව තිබුණේ නැත. එබැවින් මේ දක්වාම එකී DNA වාර්තා සුරක්ෂිතව ගබඩා කර තබන්නට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබුණි.
මේ අතරදී ඉහත සිදුවීමෙන් වසර 12 කට පසුව එළැඹි 2010 වර්ෂයේ දිනයකි. එදින කොරියා රටට රැකියාව සඳහා ගොස් සිටි ලාංකික පුද්ගලයෙක් බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ ගෙන තිබෙන අතර ඒ සඳහා මුදල් ගෙවීමක් ද සිදු කරන්නට උනන්දු වී තිබිණ. ඊට එරෙහි වූ දැරිය සිදුවීම පිළිබඳව ඇගේ වැඩිහිටියන්ට දන්වා සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණි. එහිදී එරට තේගු ප්‍රදේශයේ පිහිටි අධිකරණය ඉදිරියේ සැකකරු වරදකරු බවට පිළිගෙන ඇති අතර දඬුවම වශයෙන් නියම වූ දඩ මුදල ගෙවා සැකකරු ඉන් නිදහස ලබාගෙන තිබිණ.
දකුණු කොරියාවේ අධිකරණයකදී වරදකරුවකු වන ඕනෑම පුද්ගලයකුගේ DNA සාම්පල ලබාගෙන ගබඩා කිරීම සහ හඳුනා නොගත් සැකකරුවන්ගේ DNA සාම්පල සමඟ සැසඳීම එරට පවතින ක්‍රමවේදයකි. එසේ ඉහත කී DNA සාම්පලය සැසඳීමේදී 1998 වසරේ ඝාතනයට ලක්වූ තරුණියගේ යට ඇඳුමේ තිබූ DNA සාම්පලය හා ගැලපී ඇතැයි කියති. මේ බව අනාවරණය කරගෙන තිබුණේ 2011 වර්ෂයේදීය. මෙහිදී එරට විමර්ශන බලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ 1998 වසරේ හා 2010 වර්ෂයේ අපරාධ දෙකටම එක පුද්ගලයකුගේ සබඳතාවයක් ඇති බවටය.
මෙහිදී තේගු ප්‍රාන්ත පොලීසිය සැකකරු පිළිබඳව තොරතුරු දන්වමින් 1998 වර්ෂයේ සිදු වූ ඝාතනයට මෙකී සැකකරු සම්බන්ධ බවට කියා සිටිය ද එම නඩුව ඉවත දමන්නට එරට අධිකරණය පියවර ගෙන තිබුණි. ඊට හේතුව වූයේ කොරියානු නීතිය අනුව ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන් සැකකරුවකුට එරෙහිව නඩු පැවරීමේ උපරිම කාල සීමාව වසර 10ක් වීමත් ඒ වන විට එම කාලය ඉක්මවා තිබීමත්ය.
තත්ත්වය එසේ වුවද මියගිය තරුණ දියණියගේ පියා ඇතුළු ඥාතිවරුන් දියණියට වූ අපරාධය සම්බන්ධයෙන් සාධාරණයක් කරන ලෙස බලධාරීන්ගෙන් නැවත ඉල්ලා සිටියෝය. ඒ අතරතුර 1998 අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් අනාවරණය කරගෙන තිබිණ. ඒ අනුව කොරියානු රජයේ බලධාරීන් සිදුවීම පිළිබඳව 2017 අගොස්තු 28 වැනිදා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයටත් එතැනින් පොලීසියටත් කරුණු දක්වා තිබුණි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කළ ක්‍රමවේදය අනුව එරට දූත පිරිසක් ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට 2018 මැයි 30 වැනිදා ලංකාවට පැමිණ තිබුණි. ඉන් පසුව මෙරට නීතිපති හා අධිකරණ අමාත්‍යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුව තිබුණි.
එහිදී ලද නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොරියාව බලා ගොස් තේගු ප්‍රාන්තයේ භූමා අධිවේගී මාර්ගයේ දැරිය ඝාතනය වූ ස්ථානය නරඹා තොරතුරු සටහන් ලබාගෙන අනතුරුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගෙන පැමිණ තිබිණ.
අදාළ සිදුවීමට සම්බන්ධ ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනා මේ වනවිට මෙරටේ රැඳී සිටින බවට අනාවරණය වී තිබෙන බැවින් සමස්ත සිදුවීම පිළිබඳව ඉකුත් පළමු වැනිදා කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැනුම් දෙන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ පළමු අවස්ථාව මෙය බවට ඉතිහාසගතවන බවය.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර