2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

තැන තැන උතුරන පාතාලේ ලේ පළිය

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 244

පාතාල මර්දනය සඳහා නොයෙකුත් උපක්‍රම දැරුවත් තවමත් එය මර්දනය කරගැනීමට හැකිවී නැත. 1989 සිට පාතාලය හිස ඔසවාගෙන ආ කාලයේ සිට පාතාල නායකයන් තැන තැන පොලීසිය අතින් වෙඩි කා නැසුණත් ඒ දම්වැල කැඩුණේ නැත. පුරුක් ගැලවී ගැලවී ගියත් ඒ පුරුක් පිරවීම සඳහා කාලයෙන් කාලයට මේ පාතාලයට එක්වූවෝ බොහෝය.

අතට අතක්, ඇසට ඇසක්, ලෙයට ලෙයක්, ජීවිතයට ජීවිතයක් ගන්නට වෙරදරන පාතාලයන්ගේ මේ පළිගැනීම දිගින් දිගටම දික්වූවා මිස අඩුවූයේ නැත. මේ පළිගැනීම් මගින් අද වනවිට සිය ගණනක් වෙඩිකා, කඩු පහර කා, පහරදී ඝාතනය කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් වර්තමානය වනවිට දකුණේ පාතාලය සහ ගම්පහ පාතාලය සක්‍රීයම පාතාල බවට පත්ව ඇත. දකුණේ මාකඳුරේ මදූෂ් සහ කොස්ගොඩ සුජිත් මේ දකුණේ කතාවේ ලොකුම නළුවෝ දෙදෙනාය. මේ දෙදෙනා සතියකට සැරයක් තමන්ගේ කල්ලියේ එකෙක් අනෙක් කල්ලියට බිලිදීමටත් බිල්ලක් ගැනීමටත් අමතක කරන්නේ නැත. ඒ තරම්ම දෙදෙනාට දෙදෙනා ඉන්නා ලේ පිපාසිතවය. එහෙත් සියලු චණ්ඩිකම් පාන්නේ රටින් පිට ගොස් හැංගි හොරාය.

මේ කියන්නට යන්නේ පසුගිය 30 වැනිදා මේ කල්ලි දෙකේ ගැටුමේ ප්‍රතිපලයක් ලෙස අහිමිවූ ජීවිත දෙකක් ගැනය. මෙලෙස ඝාතනය කරන ලද්දේ චමිල දීපාල් රණසිංහ සහ සමන් සුරේෂ් යන දෙදෙනාය. මොවුහු කොස්ගොඩ සුජීගේ ගෝලයන් වූහ. මොවුන් ඝාතනය කළේ මාකඳුරේ මදුෂ්ගේ ගෝලයකු වූ ඉන්දික මහේෂ් විසිනි. මොවුන් දෙදෙනා හොඳම මිතුරන් වූ අතර 2015 අප්‍රේල් මාසයේ 16 වැනිදා මේ යාළුකමට කන කොකා හඬලන්න විය. අලුත් අවුරුද්දට යාළු මිත්‍රයන් එකතු වුණත් එවර යාළු මිත්‍රයන් ඈත් කිරීම සිදුවූ දිනයක් විය. ඒ පැවති අවුරුදු උත්සවයකදි ඉන්දික විසින් දල්වා විසිකළ රතිඤ්ඤයක් සුරේෂ්ගේ පාදය අසල වැටී පිපිරීම නිසාය. එතැනින් ඒ ගැටුම ආරම්භ වී ඇත.

මේ ගැටලුව උග්‍රව ගොස් අවසානයේ දිනක් ඉන්දික සොයාගෙන දෙදෙනෙක් ආහ. ඒ ඉන්දිකගේ ගෝලයන්ය. ඔවුන් දෙදෙනා පැමිණ කීවේ සුරේෂ්ගේ දෙදෙනකු තමන්ට පහරදුන් බව කියාය. පසුව ඉන්දික ඇතුළු පිරිස ගොස් සුරේෂ්ගේ ගෝලයන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කළහ. ඒ 2015 නොවැම්බර් 03 වැනිදාය. සුරේෂ් අවසානයේ ඊට පළිය ඉන්දිකගෙන් ගන්න උත්සාහ කරන අතර පසුව ඉන්දික වඩාත් ළඟින් ඇසුරැ කරන බොස් සරත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කරන්නේ එකී පළිය ගැනීමටය. මේ නිසා සුරේෂුත් චමිල දීපාල් නැමැත්තාත් බන්ධනාගර ගතවෙති. එසේම සුරේෂ්ගේ ගෝලයන් දෙදෙනා ඝාතනයට ඉන්දිකත් බන්ධනාගාර ගතවෙයි.

එසේ බන්ධනාගාර ගතවූ ඉන්දික එළියට එන්නේ මාකඳුරේ මදුෂ්ගේ ගෝලයා ලෙසය. සුරේෂ් බන්ධනාගාරයෙන් නිදහස් වන්නේ සුජීගේ ගෝලයා ලෙසය. සුරේෂ් කොස්ගොඩ සුජීට එක්වන්නේ බන්ධනාගාර ගතවු චමිලගේ සබඳතා නිසාය. චමිලගේ සීයා වන මයිකල්, කොස්ගොඩ සුජීගේ හොඳම ගෝලයාය. 2011 ජනවාරි 4 වැනිදා අම්බලන්ගොඩ හෝටලයක් ඉදිරිපිට කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කරන්නේ මේ මයිකල් විසිනි. එපමණක් නොව තව ඝාතන දෙකක්ද ඔහුට එල්ලවී ඇති චෝදනා අතර විය. අවසානයේ මේ නිසා සුරේෂ්ද එළියට එන්නේ සුජීගේ ගෝලයෙක් ලෙසය.

මේ අතර ඉන්දික එළියට පැමිණි සැණින් කොස්ගොඩ සුජීගේ අනෙක් හතුරා වන කොස්ගොඩ තාරකත් සමඟ මාතර නිලේකා රත්තරන් අලෙවිසල කොල්ලකෑමට සම්බන්ධ විය. එහෙත් ඉන්දිකගේ සිතේ බොස් සරත් ඝාතනය සම්බන්ධයෙන් සුරේෂ් සමගත් චමිල සමඟත් බද්ධ වෛරයක් තිබිණි. ඉන්දික විසින් පසුගියදා මේ දෙදෙනා වෙඩිතබා ඝාතනය කර ඇත්තේ එම වෛරය හේතුවෙනි.

එසේ ඝාතනය කිරීමෙන් පසුව චමිලගේ හිස කඳෙන් වෙන්කර මළ සිරුරු රන්තොටුවිල සමූපකාරය අසලින් දමා ගොස් තිබුණේය. ඒ බොස් සරත්ගේ මළ සිරුරද එලෙස ගෙලෙන් වෙන්කොට සමූපකාරය අසලින් දමා යෑමේ පළියට පළිය ගනිමිනි. කෙසේ වෙතත් මේ සිද්ධියේදී මාකඳුරේ මදූෂ්ගේ පිරිස් සුජිත්ට වඩා ඉස්සර වූහ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ඔරුවල වානේ කම්හල ඉදිරිපිටදී  පාතාලයේ තවත් සාමාජීකයෙක් වෙඩි කෑවේය. ඔහුද මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් විය. බණ්ඩා නැමති මොහු මාතර නිලේකා රත්තරන් අලෙවි සල කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු බව තහවුරැ වී තිබිණි. ඔහුව සොයමින් සිට ඇති අතර කොහුවල වානේ කර්මාන්ත ශාලාව අසල ඔහු සිටිනා බවට තොරතුරැ ලැබී ඇත. ඒ අනුව ඔහුව අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වෙඩි හුවමාරැවක් සිදුවී ඇති අතර පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතළ තුවාල ලබා මේ වනවිට ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. කෙසේ වෙතත් මොහු බරපතළ තත්ත්වයේ පසුවන බව දැනගන්නට ඇත. මොහුට විරැද්ධව චෝදනා රැසක් ඇති බවද පොලීසිය පවසයි.

මේ අතර පසුගියදා ජා-ඇළ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් වෙඩි වැදී මියගියාය. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ පාතාලයේ අත්වැරදීමක් නිසාය. ඝාතනය කිරීමට පැමිණි පාතාලයේ වෙඩික්කරැ අජාය. අජා යනු ගම්පහ ඔස්මන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුය. ඔස්මන්ට වෙඩිතැබීමට අජාට, කොන්ත්‍රාත්තුව දෙන්නේ හිරගෙදර සිටින සංජීව විසින්ය. එහෙත් හරියට වැඩේ නොවුණු නිසා සංජිව අජාට මුදල් නොදී පැහැර හරින්නට විය. ඒ අනුව මෙම ගැටුම දුරදිග ගොස් දැන් අජා පසුපස සංජීවගේ පිරිස් වැටී ඇත. මේ කතාව කොයි වෙලේ හෝ අවසන් වන්නේ අජාගේ ජීවිතය හොරාගෙනය.

කෙසේ වෙතත් නැවත නැවත පාතාලයේ අළු යට ගිනි පුපුරැ ඇවිලෙන්නට පටන් ගෙන ඇත. කොයි වෙලේ හෝ මේ ගින්න නැවතත් ඇවිලනු ඇත. එදාට, නැවත නැවත මේ පොළවට ලේ හැලෙනු ඇත.

 අසංක කළුබෝවිල
පසුබිම් වාර්තා - ඡායාරූප:
තමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල