2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

රටේ සල්ලි සාක්කුවට යවන ආදායම්බදු ජිල්මාට්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

බදු යනු  මහජනයාට අද වන විට කර්කශ කටෝර මාතෘකාවකි. ඒ නමුත් ආදායම් බදු යනු ඇති හැකි පංතියේ කතාවකි. නැති බැරි එදා වේල වෙනුවෙන් දහදිය කදුළු සලන මිනිස්සුට ආදායම් බදු පිළිබඳව වගක් නැත. අප කියන්නට සැරසෙන ආදායම් බදු පිළිබඳව මේ කතාව ඒ කොයි කාටත් එක සේ අදාළය.

මෙරට රජය ආදායම් ලබා දෙන ප්‍රධානතම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.  රාජ්‍ය ආදායමෙන් සීයට හතළිස් පහක් (45%) පමණ බදු ආදයම් බව කියවේ. ඉන් ආදායම් බදු ප්‍රධානය. ආදායම් බදු ගෙවුණු  ලබන්නේ ආදායම් බදු ගෙවිය යුතු පරිමාවට ආදායම් ලබන පිරිසය. එසේ ගෙවන ආදායම් බදු රාජ්‍ය ආදායමට එකතු වෙයි. නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපන ඇතුළු සියලු සුභසාධනයන්ට මුදල් ලැබෙන්නේ මෙම ආදායම් හරහාය.

එහෙත් ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සහ ආදායම් සඟවමින් වංචා සහගත ලෙස කටයුතු කරන්නෝ අප රටේ වෙති. පසුගිය වසරේ ඔවුන් නිසා කෝටි 5,100 ක් පමණ වූ රාජය ආදායමක් අහිමි වී ඇති බව දැනගන්න ලැබුණි. මේ සියල්ල රටේ පොදු මහජනයාගේ සුභසාධනය සඳහා යෙදවීමට තිබූ මුදල්ය. පිට පිට වක්‍ර බදු මහජනයා පිට වැටෙන්නේ ද මේ නිසාවෙනි. ආදායම් බදු වංචා කර ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයන් හා මහ පරිමාණ සමාගම්ය. ආදායම් බද්දේ තිරය පිටුපස කතාව සොයා යන්නට අප තීරණය කළේ එබැවිනි.

ආසියානු කලාපයේ අප වැනි රටවල ආදායම් බදු සම්බන්ධව අනුගමනය කරනු ලබන්නේ ස්ව තක්සේරු ක්‍රමකි. මෙහිදී තමන් උපයන ආදායම තක්සේරැ කර අදාළ ලිපිගොනු ලබාදෙන්නේ බදු ගෙවන්නන් විසිනි. ඒ අනුව බදු නියම වෙයි. ආදායම් බදු හේතුවෙන් රජයට අදායම් අහිමි වීම ප්‍රධන ක්‍රම තුනකට සිදුව තිබේ. එම ක්‍රම තුන පළමුව පහදමු. ඉදිරියේදී අප දක්වන ඊට අදාළව සිදුවන වංචාව අවබෝධ කර ගැනීමට එය අත්‍යාවශ්‍ය වේ.
මේ අනුව බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කර ඇති අදායම් වාර්තාවලට අනුව ගෙවිය යුතු අදායම් බදු ගෙවීම පැහැර හැර ඇති අවස්ථා පළමුවෙන්ම අපට හමුවෙයි. එම බදු මුදල් රජය අහිමිවී ඇත. දෙවනුවට අපට  හමුන්නේ තම ආදායම් සඟවා කටයුතු කරනු ලබන පිරිස්ය. ඔවුන් නිසාවෙන් ද බදු මුදල් රජයට අහිමි වී ඇත. තෙවනුව ආදායම් බදු  නියමිත දිනට නොගෙවීම හා වංචාවන් සඳහා පනවනු ලබන දඩ මුදල් නොගෙවීමය. මේ තුන් ආකාරයට ආදායම් බදු සම්බන්ධ ආදායම රටට අහිමිය ගොස් තිබේ.
දැන් ඇරඹෙන්නේ තිරය පිටුපස කතාවය. මෙරට ආදායම් බදු ලිපිගොනුවලින් වර්ෂයකට විගණනය වන්නේ සීයට එකක් (1%) පමණි. පෙර කී ආදායම් සඟවා කටයුතු කරණු ලබන පිරිස හසුවුණේ එහිදීය. විගණනය වන සීයට එකේ ද බහුතරයක් ආදායම් සඟවන ලද ලිපිගොනු වෙයි. මෙහිදී විගණන නොකරන ලිපිගොනු වසරකට සීයට අනූ නවයක් (99%) ඇති බව දැනගන්නට තිබේ. මෙම විගණන හා විමර්ශනය සීයයට එකකට (1%)  සීමා වන්නේ කෙසේ ද ඊළඟට මතුවන පැනය එයයි. එයට වගකිව යුතුත්තේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනය බවට තොරතුරැ හෙළිවන්නේ ආදයම් බදු දෙපාර්තමේන්තුවව තුළින්මය. ලක්ෂ සංඛාත ලිපිගොනු විගණන පහසු නැති බව සැබෑවකි.

ලිපිගොනු වාර්ෂික විගණනය අතින් කලාපීය බොහෝ රටවල් අප රටට වඩා ඉදිරියෙන් සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙම විගණන සීයට පහළව 15% දක්වා වැඩි කරන ලෙසට මෙරටට දන්වා ඇත. 

අපේ කතාවට තවත් දෙපාර්ශවක් ඈඳා ගත යුතුය. ඒ බදු උපදේශකයෝ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය. මේ දෙපිරිසේම ඉතා සුළු පිරිසක් දැන් හෙළිකරන කතාවට සහසම්බන්ධ වෙති. ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් බදු ගෙවන්නට උපදෙස් ලබා දෙන්නේ උපදේශක පිරිසය. මෙම උපදේශකයන් අතරින් කොටසක් දෙපාර්තමේන්තුව වෙත  ගෙවිය යුතු බදු ගෙවීමට ඉඩ ලබා නොදෙයි. ආදායම් සඟවන්නට උපදෙස් ලැබෙන්නේ ඔවුන්ගෙනි. ආදායම් බදු ගෙවන්නන්ට  දෙපාර්තමේන්තුව වෙත එන්නට ඉඩ නොතියා සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ඔවුන් විසිනි. මෙය එක්තරා ආකාරයක මාෆියාවක් හා සමානය. ඉන් ඔවුහු හොඳ හැටි උපයති. වාර්ෂික ලැබිය යුතු බදු ආදායමෙන් සියයට පනහක් (50%) පමණ මෙම උපදේශකයන්ගේ වංචනිකයට මැදිහත් වීම මත රටට අහිමි වී යයි.

ආදායම් බදු නිලධාරීන් මෙතැනට සම්බන්ධ වන්නේ කෙසේද? එහි දී සිහිපත් කළ යුතු කරුණක් වෙයි. මෙම සමස්ත කතාවම යදම් පුරැක් මෙන් එකින් එකට බැඳී පවතී. ආදායම් බදු ලිපිගොනුවලින් විගණනය වන්නේ  වාර්ෂිකව සියයට එකක් (1%) බව පෙරකී උපදේශකයෝ දනිති. නිලධාරීන්ගෙත් ඉතා සුළු පිරිසක් මෙම උපදේශකයන් සමඟ හිතවත්ය. ඒ අනුව පෙරකී උපදේශකයන්ට අදාළ ආදායම් බදු ලිපිගොනු සීයට අනූ නවය (99%) තුළ  තබා ගැනීමට අවැසි උපකාර එම නිලධාරීන්ගෙන් ලැබේ.  තවද එක් වසරකට අදාළ බදු ලිපිගොනුවක් සඳාහා ආදායම් බදු නිලධාරීන්ට කටයුතු කිරීමට ලැබෙන්නේ වසර එකහමාරක කාලයක් පමණි. එය කාල කඩයිම ලෙස හඳුන්වයි. මේ බව දන්නා උපදේශකයෝ ඉතා සූක්ෂම අයුරින් ලිපිගොනු හසුරවති. ප්‍රමාදයන් ඇතිකරති. ඒ අනුව ඇතැම් ලිපිගොනු වසර දහයකින් හෝ විගණනට ලක්ව නැති බව කියවේ. ඇතැම් බදු අභියාචනා ආදිය විසදීමේදී  බදු ගෙවන්නට විශේෂ සහන ලැබෙනේ ද උපදේශකයන් හා නිලධාරීන් අතර ඇති මිත්‍රකම් හරහාය. මේ අනුව බදු උපදේශකයන් සූක්ෂම ආකාරයෙන් ලිපිගොනු හැසිරවීමත් නිලධාරීන්ගේ සහයත් මත අවසානයේදී කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය රටට අහිමි වී යයි. මෙලෙස බදු නොගෙවනවුන් අතර ව්‍යාපාරිකයන්, වෛද්‍යවරැන්, නීතිඥයන් ඇතුළු වෘත්තිකයන් මෙන්ම සුප්‍රකට සමාගම් ද වන බව කියවේ.

දැන් බදු සහ නඩු කතාව පැහැදිලි කිරීමට කාලයයි. අප මේ ආදායම් බදු කතාව අතර තුර සිහිපත් කළ යුත්තේ  නිසි පරිදි ආදායම් බදු ගෙවන බදු වංචා නොකරන බදු ගෙවන්නන් ද මෙරට සිටින බවයි. බදු නඩු වැටෙන්නේ එවන් අයට නොවේ. බදු ගෙවීම පැහැරහැරීම ආදායම් සැඟවීම ආදී වංචා සිදු කළ පිරිස්වලටය. අප උදාහරණයක් ඇසුරින් බදු නඩු කතාව පහදමු.

නිසි පරිදි බදු ගෙවන්නෙක් හා අදායම් සඟවා බදු වංචා කරන්නෙක් සිටිති. වංචා සහගත පුද්ගලයා සිය අදායම් බදු නොගෙවා එම මුදල් අයෝජන කර පොලියක් ද ලබාගනිමින් සිටියි. ඔහුගේ අපේක්ෂාව බදු නඩු වැටුණහොත් එය ගෙවන්නටය. දෙපාර්තමේන්තුවට ඔහු අසුවී නඩු වැටුණහොත් එම මුදල් නැවත ගෙවන්න ඔහුට සිදුවනු ඇත. එහෙත් නඩු සම්බන්ධ ගැටලු කිහිපයක් වන බව දේපාර්තමේන්තු අභ්‍යන්තරයෙන්ම අපට දැනගන්නට තිබේ. නඩු කල්යාම ඉන් ප්‍රධානම ගැටලුවයි. අනෙක් කාරණාව තාක්ෂණික දෝෂ හේතුවෙන් නඩු නිෂ්ප්‍රභා වීමයි. තවද වංචා සහගත බදු ගෙවන්නන් නීතියෙන් වරදකරුවන් වූ විට ඔවුන්ට එම මුදල් ගෙවීමට දීර්ඝ කාලයක් ලැබීම ද ගැටලුවකි. ඔවුන් උසාවියේදී කල් ඉල්ලූ විට දෙපාර්තමේන්තුව ඊට එකඟ වීම මත මෙම තත්ත්වය නිර්මාණය වන බව දැන ගන්නට ලැබේ. එවිට අප පෙර කී නියමිත ආකාරයට ආදායම් බදු ගෙවන්නාට සිදුවන්නේ සෑම අතින්ම අසාධාරණයකි.

ආදායම් බදු නොගෙවීම හා වංචා සම්බන්ධව ඉහත පැහැදිලි කිරීම් අනුව විශාල අර්බුදයක් තිරය පිටුපස වන බව දන් ඔබට පැහැදිලි විය යුතුය. මේ සියල්ල තුළින්ම ආදායම් බදු ගෙවීම සම්බන්ධ බදු ගෙවන්නන් තුළ බිය නැති වී ඇති බව පෙනේ. බදු ගෙවන ඉහළ පෙළේ බොහෝ දෙනා හා ආයතන ධනයෙන් බලයෙන් ආඩ්‍යය වීමත්, ඔවුනට ඇතිවන සියලු ප්‍රශ්න ධනය බලය යොදවමින් කළමනාකරණය කරගැනීම හැකිවීමත් මීට ප්‍රධාන සාධකයක්ව  ඇත. දේශීය ආදායම් පනතේ බලතල ප්‍රමාණවත් නැතිද? අප මෙතෙක් කිවූ කතාවට අනුව එලෙස ඔබට සිතීම සාධාරණය. එහෙත් බදු නොගෙවන්ගේ බැංකු ගිණුම් තහනම් කර  බදු ලෙස අය කරගැනීමට පනත අනුව හැකිය. නිශ්චල දේපළ පවරාගෙන වෙන්දේසි කර බදු ආදායම් ලබා ගැනීමට ද හැක. එහෙත් එවන් දෑ සිදුවීම ඉතා විරලය. ඊට හේතුව පරිපාලන දුර්වලතායි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර අපරාධකරැවන් බිය ගැන්වීමට  උත්සහා කරනවා සේම දැඩි බදු නීති ක්‍රියාවේ යොදවා බදු අයකර ගැනීමට හැකියාවක් ඇති බව ද සිහිපත් කළයුතුව තිබේ. 

ආදායම් බදු ගෙවීම දුර්වලතා වළක්වා ගැනීමට සිදුකළ යුත්තේ කුමක් ද ඒ පිළිබඳව ද  බදු කතාවේ අවසාන අදියරේ දී සටහන් කිරීම වටී. බදු ගෙවන්නන් දැනුවත් කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක් වෙයි. නව බදු ගෙවන්නන් ලියාපදිංචි කරගත යුතුය.  උදාහරණයක් ලෙස ලියාපදිංචි සමාගම් ලක්ෂ දෙකක් පමණ තිබෙන රටක ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇත්තේ සමාගම් හතළිස් අට දහසක් පමණි. පැහැදිලිවම විගණන හා විමර්ශන සැලකිය යුතු ප්‍රතිශතයයකින් ඉහළ නැංවිය යුතුව තිබේ. එක්දාස් දෙසීයක් පමණ සිටින ආදායම් බදු දෙපාර්තමේන්තු සේවකයන්ගෙන් අවශය පිරිසට නව තාක්ෂණික දැනුම හා ජාත්‍යන්තර පුහුණුව ලබාදිමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාද පවතී. දූෂිත නිලධාරීන්ට හා බදු උපදේශකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් ඉතා සුළු පිරිසක් නමුත් සමස්ත රටට සිදුකරමින් සිටින හානිය සුළුපටු නොවේ. තවද මේවන විට ආදායම් බදු කොමසාරිස් තනතුර පුරප්පාඩු වී තිබීමෙන් එම ආයතන තුළ යම් යම් අර්බුදය නිර්මාණය වී ඇති බව දැනගන්න ලැබී ඇත. එම තත්ත්වයට ද කඩිනමින් විසදුම් ලැබේ නම් වටී.

ආදායම් බදු කතාව නිමා කළ යුතුව ඇත. අදායම් බදු යනු රටේ ප්‍රධානම ආදායමකි. සියලු සංවර්ධන හා සුභසාධනය කරාණාවන් වෙනුවෙන් විදෙස් ණය ගැනීමට රටට සිදුවී ඇත්තේ මෙම ආදයම් අහිමිවී හරහාය. ධනය බලය ඇත්තන්ගේ මෙම වංචාවන් මර්දනය කළ හොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට හයේ (6%) සිට සීයට දහ අට (18%) දක්වා ඉහළ ප්‍රතිශතයකට බදු ආදායම ගෙන ඒමේ හැකියාවක් පවතී. එය එසේ වුවහොත් විදෙස් ණය අර්බුදයට ද පිළිබඳම් ලැබෙනු ඇත. තවද අවසානයේ දී වක්‍ර බදු දිළිඳු බව ඇතුළු බොහෝ ආර්ථික අපහසුතා මග හරවා ගැනීමට ද හැකිවනු ඇත. සියල්ල සාර්ථක වුවහොත් දියුණුවේ රන් දොරටු ලාංකීය ජාතියට විවර වනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා