
යල කන්නයේ වී අස්වැන්න ගොවීන්ගෙන් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය සැදී පැහැදී සිටියේ අවුරුද්දේ මැද සිටය. මණ්ඩලයේ ගබඩා හිස්කර තබාගෙන අවශ්‍ය මුදල් ප්‍රතිපාදනද වෙන් කරගෙන සියලු පියවර සම්පූර්ණ කරගෙන ගොයම් කපනතුරු බලා සිටියේය. වී අලෙවි මණ්ඩලයේ අභිනව සභාපති උපාලි මොහොට්ටි මහතා තම පියවර පිළිබඳ ගොවියන්ද දැනුවත් කර තිබූ අතර කන්න රැස්වීම්වලදීද මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර සුබවාදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියේය. ඇතැම් ගොවි සංවිධානද පැවසුවේ අලුත් සභාපතිතුමාට යම් උනන්දුවක් තිබෙන බව දක්නට ලැබෙන නිසා වෙනදාට වඩා තම අස්වැන්න වී අලෙවි මණ්ඩලයට වැඩි මිලට විකුණාගත හැකිවනු ඇති බවය.
එසේ වුවද ඒ සියලු අපේක්ෂා සුං කරවමින් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා දැන් පවසන්නේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් සුළු ප්‍රමාණයක්වත් වී අලෙවි මණ්ඩලයට නොලැබුණු බවය. ඔහු පැවසුවේ රජයේ සහතික මිලට වඩා ඉහළ මිලක් ගෙවා පෞද්ගලික වෙළෙඳුන් ගොවීන්ගෙන් වී මිලට ගැනීම මෙයට හේතුව බවයි.
මෙවර අස්වනු නෙලීම ආරම්භ වීමටත් පෙර සිට වී අලෙවි මණ්ඩලය වී මිලට ගැනීමට කටයුතු යොදා තිබුණු අතර තම පාර්ශ්වයෙන් කිසිදු අඩුපාඩුවක් සිදුනොවුණු බව ඔහු අවධාරණය කළේය. එසේ වුවද තමාගේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වූ බව සභාපතිවරයා පවසයි.
මෙවර වී වගාව කෘමි වංසගතවලට ගොදුරුවීම නිසා අස්වැන්න විශාල වශයෙන් හානි වී තිබෙන බවද ආරංචි මාර්ග සනාථ කරයි. එම තත්ත්වය නිසා සීමිත අස්වැන්න ඉහළ මිලකට අලෙවි කර ගැනීමට ගොවීන්ට හැකිව තිබේ. එය ගොවීන්ගේ පැත්තෙන් වාසියකි. ඔවුන්ට අස්වැන්න අධික වූ කන්නවල මෙන් වී අලෙවි කර ගැනීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩා අසල ලොරි නවත්වාගෙන පෝලිමේ බලා සිටින්නට සිදුවූයේ නැත. වෙනදා වී අලෙවි මණ්ඩලය කටයුතු කළේ ගොවීන් කලකිරවන අන්දමටය. අදාළ ප්‍රමිතියට නැතැයි වී මිලට නොගෙන ලොරි හරවා යැවූහ. එසේම මිලට ගත් වී වලටද මුදල් ලබාගැනීමට බොහෝ කාලයක් ගත කරන්නට ගොවීන්ට සිදුවිය.
එහෙත් මෙවර ඒ කිසිදු දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවූයේ නැත. පෞද්ගලික වෙළෙඳුන් පටු පාරවල් දිගේ කුඹුරු ආසන්නයට ගියහ. ලොරි අතරමඟ නවත්වාගෙන මඟ බලාසිටියේ ගොවීන් අස්වැන්න සකස් කරගෙන එනතුරුයි. එම අස්වැන්න වී අලෙවි මණ්ඩලයේ මිලට වඩා ඉහළ වටිනාකමකට මිලට ගත්හ. එවෙලේම ගනුදෙනු බේරූහ. අස්වැන්න ටික වුවද ගොවීන්ගේ අතමිට සරුවිය. සමහර වී මුදලාලිලා ගොයම් හැදෙන කාලයේ කුඹුරුවලට ගොස් ගොවීන්ට අත්තිකාරම් මුදල්ද ලබාදීමට තරම් කාරුණික වූහ. කෘෂි රසායන ලබාගැනීමට මුදල් පවා වැය කළහ. ඒ නිසා අස්වැන්න ඔවුන්ට නොදී සිටින්නට ගොවීන්ට නොහැකි විය. වෙනදා කුණුකොල්ලයට වී මිලට ගන්නා පෞද්ගලික මුදලාලිලාට ගොවීන්ට ඉහළ මිලක් ගෙවීමට සිදුව තිබිණ.

මේ පිළිබඳව රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි පවසන්නේ වී අලෙවි මණ්ඩලය කරනුයේ බෝඩ් දමන එක පමණක් බවයි. වී මිලට නොගන්නා බව ඔහු කියයි. ඔහුගේ අදහස නම් හැමදාම සිදුවූයේ මෙය බවය.
“වී අලෙවි මණ්ඩලය උත්සාහ කළත් ගොවීන් එතැනට වී දෙන්න සූදානම් නැහැ. වී අලෙවි මණ්ඩලය නාඩු කිලෝව 38ට සහ සම්බා 41ට මිලට ගන්න බව පැවසුවත් ගොවියන් එම මිලට වඩා රුපියලක් දෙකක් අඩුවෙන් පෞද්ගලික අංශයට දෙන්නයි කැමැති. එයට හේතුව රුපියල් 1 – 2 ලාබ වුණාට ඒ අයගේ කොන්දේසිවලට දීමට නොහැකි වීමයි. ඒ නිසා සුළු මිල අඩුවකට මෝල් හිමියන්ට දීම ගැමියන්ට වාසියි. සල්ලි එවෙලේම ගන්න පුළුවන්. තෙතමනය ගැන බලන්නේ නැහැ.
මේ වනවිට පෞද්ගලික වෙළෙඳුන් නාඩු 39ට, සම්බා 52ට වැනි ඉහළ මිලට ගන්නවා. එයට හේතුව දැන් පිටවී නැති නිසයි. තියෙන ටික හරි ගන්න වැඩි මිලක් ගෙවනවා. ඒ නිසා වී අලෙවි මණ්ඩලයට කොහොමවත් ගන්න ලැබෙන්නේ නැහැ. එක ගොවියකුගෙන් කිලෝ 200 ගාණේ ගත්තා නම් මණ්ඩලයට විශාල තොගයක් මිලට ගන්න තිබුණා. ඒත් එහෙම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. කොහොම වුණත් මෙවර හාල් මිල තවත් ඉහළ යාවි.
මුදල් තියෙනවා යැයි ආණ්ඩුව කියන කතාව බොරු. මුදල් ගෙවන්නේ මහ දිසාපති මාර්ගයෙන්. ඒත් දිසාපති කාර්යාලයට ආණ්ඩුවෙන් සල්ලි දීලා නැහැ. ඒ නිසා ගොවියෝ පෞද්ගලික අංශයට නැඹුරු වෙනවා. මෙම කන්නයේ සමහර ප්‍රදේශවලට හරියට වතුර ලැබුණේ නැහැ. කෘමි උවදුරු ඇතිවුණා. ඒ නිසා අස්වැන්න අඩු වුණා. කොහොමත් දැන් වී විකුණලා ඉවරයි. දැන් සූදානම් වෙන්නේ මහ කන්නයටයි. දැන් රාජාංගන ව්‍යාපාරයට 10දා වතුර දෙන බව කන්න රැස්වීම්වල කිව්වා. ඒ නිසා දැන් වැඩ කරන්නේ ඊළඟ කන්නයටයි.”
මහකන්දරා වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ,
“2015 දී මණ්ඩලය නාඩු 45ට සම්බා 50ට ගන්න බව නිවේදනය කළා. එහෙත් අද මිලට ගන්නේ 38 – 42ටයි. ඉතින් ගොවියා බලාපොරොත්තු වන්නේ කීයක් හෝ වැඩි මිලට දෙන්නයි. ඒ නිසා ඒ අය පෞද්ගලික අංශයට විකිණීම පිළිබඳ දොස් කියන්න බැහැ. වී අලෙවි මණ්ඩලයේ සභාපති වෙනස් වුණාට ඒගොල්ලන්ගේ මුලින් තිබූ කොන්දේසි ඒ හැටියටම බලපවත්වනවා. ඉතින් ණයවෙලා වගා කරන ගොවියා පහසුවෙන් මුදල් ගත හැකි නිසා මුදලාලිලාට වී දෙනවා.
මේ යල කන්නයට මහකන්දරා වැවේ වගා කළේ අක්කර 1035 යි. අක්කර 6100ක් වගා කළ හැකිව තිබුණා. ලැබුණු අස්වැන්න ඉතාම ඉහළයි. එහෙත් බොහෝ දෙනා වී අලෙවි නොකර තම පාරිභෝජනයට තබාගත්තා. අලෙවි කරන අයත් පෞද්ගලික අංශයටයි දුන්නේ. කොහොම වුණත් මණ්ඩලය වී මිලට ගන්න සූදානම් බව කල්තබා දැනගත් පෞද්ගලික වෙළෙන්දෝ මෙයට පෙර ගත් මිලට වඩා තරමක් වැඩිකරලා මිලට ගත්තා. ඒත් ඒ මිල වුණත් මණ්ඩලය ගන්නවයි කියන මිලට වැඩිය අඩුයි. කොහොමත් ගොවියන් වැඩි සම්බන්ධකම් පවත්වන්නේ පෞද්ගලික මුදලාලිලා සමඟයි. එවැනි හිතවත්කම් ගොඩනගාගන්න නිසාත් කල් ඇතිව මුදල් ගෙවන නිසාත් ගොවියන්ට මුදලාලිලාට වී නොදී බැරිවෙනවා.
කොහොමහරි මහා පරිමාණ වී මෝල් හිමියන් සියලුම වී අස්වැන්න එකතු කර ගැනීමට මේ කන්නයෙත් කටයුතු කර අවසන්. ජනතාවට බත් කන්න වෙන්නේ ඒ අය නියම කරන මිලටයි.”
කෙසේ වුවද වී අලෙවි මණ්ඩලය පසුගිය කන්නවල ගොවීන්ගෙන් මිලට ගත් වී වුවද සහල් කර වෙළෙඳපොළට නිකුත් කළේ නැත. ඔවුන් කළේ වී තොග ගබඩාකර තබාගෙන පසුව නරක් වූ බව පවසා අඩු මිලට සත්ත්ව ආහාර සඳහා යැයි සමාගම්වලට විකිණීමය. ඒ නිසා විශාල ප්‍රචාරයක් යොදාගෙන වී මිලට ගැනීමට කටයුතු කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබේ. එයට හේතුව එම වී සහල් බවට පත් නොවන නිසා වෙළෙඳපොළේ සහල් මිල පහළ දැමීමට එයින් සහයක් නොලැබීමය. ඒ නිසා රටේ සහල් මිල පාලනය කිරීමට වී අලෙවි මණ්ඩලයට හැකි නොවේ. මුළු සහල් වෙළෙදාමේ ඒකාධිකාරයම හිමිකරගන්නේ පෞද්ගලික මුදලාලිලාය. මොවුන් කිහිපදෙනා රටේ දේශපාලන අධිකාරියට සම්බන්ධ බැවින් සහල් මිල අඩුකර ඔවුන්ට හානි කිරීමට ආණ්ඩුව ඉදිරිපත් නොවන බව පැවසේ. මෙම තත්ත්වය ඇතිව ඇත්තේ වර්තමාන ආණ්ඩුව යටතේ පමණක් නොව මෙයට පෙර පැවති සෑම ආණ්ඩුවක්ම මෙයට නියම සහ අනියම් ආකාරයෙන් දායක වී තිබෙන බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා වී තොග දීර්ඝ කාලයක් ගබඩාකර තබාගෙන නරක් වූ බව හඟවා ඉතාම අඩු මිලට කුකුළු කෑම සඳහා යැයි පවසමින් සමාගම්වලට අලෙවි කිරීම අතීතයේ සිට එන කූඨ ජාවාරමකි. ඇතැම් දේශපාලනඥයන් සහ කුප්‍රකට නිලධාරීන් තම හොද්ද බොරකරගැනීම සඳහා රටේ බත් කන ජනතාව උගස් තැබීම සිදුකරයි. මෙයින්ද වාසි ලබන්නේ මුදලාලිලා වෙති. ඔවුන් නිසා වී අලෙවි මණ්ඩලය ගොවියන්ගෙන් වී මිලට ගැනීම නිසා පාරිභෝගිකයන්ට සැලසෙන සහනයක් නොමැත. රටේ සහල් මිල අඩුවීමට එය හේතුවන්නේ නැත.

මේ පිළිබඳ ආසන්නම උදාහරණය වන්නේ මෙවැනි දූෂණයක් පිළිබඳ දැන් නඩු කටයුතු ආරම්භ වී තිබීමය.
2014/ 2015 මහ කන්නයේ සහ 2015 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය මිලයට ගත් වී තොග පෞද්ගලික වෙළෙඳුන්ට නැවත විකිණීමේදී රුපියල් කෝටි 400කට අධික පාඩුවක් සිදුවූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත. මෙම පැමිණිල්ල කර ඇත්තේ සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ශියාන් සෝමචන්ද්‍ර විසිනි. මේ පැමිණිල්ල අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ කොට්ඨාසය කරැණු වාර්තා කර තිබේ.
මෙයින් කියැවෙන්නේ සහල් මාෆියාවක නිරතවන ප්‍රධාන පෙළේ වී ගැනුම්කරුවන් දෙදෙනකුට වාසිවන අන්දමට ඒ කාලයේ සිටි ඇමැතිවරුන් දෙදෙනකු ගත් තීරණ හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට මෙම කෝටි 400ට අධික පාඩුව සිදුව ඇති බවයි.
2014 හා 2015 කන්න දෙකේදී වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබූ නාඩු සහල් කැබිනට් මණ්ඩලය අනුමත කළ අවම මිල නොසලකා නැවත විකිණීමේදී මෙම පාඩුව සිදුවූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතිබව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත. මෙම වී නැවත අලෙවි කිරීමට පුවත්පත් දැන්වීමක් පළකර තිබුණද කැබිනට් මණ්ඩලය නියම කළ අවම මිලට අඩුවෙන් විකිණීමෙන් මෙම පාඩුව සිදුව තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එවකට සිටි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති හා මුදල් ඇමැති විසින්ය.
සමස්ත ලංකා ගොවිජන සංගමයේ ලේකම් ටී.බී. සරත්,
“මෙලෙස වී විකුණමින් වංචා කිරීම ආණ්ඩු කිහිපයක් තුළදී සිදුවූ දෙයක්. මෙම උපක්‍රමය වන්නේ වී අලෙවි මණ්ඩලය වැඩි මිලට ගත් වී ගබඩා කර තබාගෙන පසුව නරක් වූ බව පවසා සත්ත්ව ආහාරවලට යැයි කියා අඩු මිලට විකිණීමයි. නමුත් මෙහෙම විකුණන වී සියල්ලම සත්ත්ව ආහාර තරමට නරක්වෙලා නැහැ. මුළු තොගය ටොන් 50,000ක් නම් ඒවායින් මෙට්‍රික් ටොන් 500ක් විතරක් නරක්වෙලා තිබෙන්න පුළුවන්. ඒත් මුළු තොගයම නරක් වූ බවටයි වාර්තා කරන්නේ.
ආණ්ඩුව ගොවියන්ගෙන් වී මිලට ගන්නේ සියයට 14කට වඩා අඩු තෙතමනයෙන් යුතුවයි. එවැනි වී නරක් විය නොහැකිය. නරක් වෙන්නේ සියයට 18ක පමණ තෙතමනය තිබෙන ඒවායි. එවැනි වැඩි තෙතමනයෙන් යුතු වී මණ්ඩලය මිලට ගන්නේ නැහැ.
සාමාන්‍යයෙන් කිලෝව රුපියල් 50ට පමණ මිලට ගන්නා වී නරක් වූ බව පවසා රුපියල් 24 – 25ට පමණ විකුණනවා. ඉතින් මෙමගින් විශාල මුදලක් දේශපාලනඥයන්ට සහ අදාළ නිලධාරීන්ට යනවා. මෙය දෙගොල්ලොම එකට එකතුවෙලා කරන කුමන්ත්‍රණකාරී ජාවාරමක්. හැබැයි මෙලෙස විකුණන්නේ ද ටෙන්ඩර් කරලයි. එවිට ගැටලු ඇතිවෙන්නේ නැහැ. ඒත් ටෙන්ඩරය ලැබෙන්නේ තමන්ට අවශ්‍ය මහා පරිමාණ ජාවාරම්කාරයන්ටයි. කොහොමහරි ඒ අයට දෙන්නයි කටයුතු කරන්නේ.
මේ නිසා අනාවරණය වූ කාලය තුළ සිදුවූ පාඩුව තමා කෝටි 400 කියන්නේ. ඒත් මෙයට වැඩියෙන් මේ ක්‍රියාපිළිවෙළ නිසා පාඩුවෙනවා. වී අලෙවි මණ්ඩලය ගොවියන්ගෙන් ගන්න වී ගබඩා කර තබාගෙන සහල් කරලා වෙළෙඳපොළට දාන්න අවශ්‍යයි. එහෙත් එය සිදුවන්නේ නැහැ. ගබඩා කර තබාගත්විටයි මේ ගැටලුව ඇතිවෙන්නේ. සියයට 14කට හෝ එයට අඩු තෙතමනය තියෙන වී නරක් නොවී අවුරුදු දෙකක් විතර ගබඩා කර තබාගන්න පුළුවන්. ඒවා මාස 2 – 3කදී සත්ත්ව ආහාර වෙන්න හැටියක් නැහැ. ඒවා මිලට ගන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන් වැඩි මිලට විකුණලා අසීමිත ලාබ ලබනවා.
අපි ගබඩා වටලා මෙම වංචාව අපරාධ විමර්ශන අංශවලට පෙන්නුවා. ලොරි ආපහු හරවලා යැව්වා. ඒත් ඇමැතිවරු එය පිළිගත්තේ නැහැ. අපි පෙන්නුවාට පසු පරීක්ෂණ කළා. අනතුරුව තමා මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළේ. දැන් පරීක්ෂණ යනවා. ඒත් කොයි තරම් යුක්තිය හා සාධාරණය ඉටුවේදැයි කියන්න බැහැ.”
►යසවර්ධන රුද්රිගු