
කොතරම් නීති රීති අණපනත් සකසා තිබුණත් ඉතා සූක්ෂම ලෙස ඒවායෙන් රිංගා යමින් පරම්පරා තුනක් තිස්සේ නවීන තාක්ෂණික ක්‍රම පවා උපයෝගී කරගනිමින් අඛණ්ඩව සිදු කරගෙන ගිය අපූරු කසිප්පු ජාවාරමක් තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි වැටලීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
මෙම කසිප්සු ස්කාගාරය පවත්වා ගෙන ගොස් තිබුණේ තංගල්ල මාතර පාරේ නාකුළුගමුව පහජ්ජාව ප්‍රදේශයේය. ඒ පියා, දියණිය සහ පුතෙකු විසිනි. මෙම ස්ථානයේ සිදුවෙන කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පොලිසියට කරුණු වාර්තා වුවද කසිප්පු ගෙන එන්නේ කොහෙන්ද පෙරීම සිදු කරන්නේ කොහෙද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි විය. මේ නිසාම විටින් විට පොලිසිය මෙම ස්ථානයේ වැටලීම් සිදු කළද එම අවස්ථාවේදී හමුවෙන කසිප්පු බෝතලය හෝ දෙක රැගෙන විත් සැකකරැට එරෙහිව නඩු පැවරීම සිදු කළද මෙම ජාවාරම නොනැවතිණි. දිගින් දිගටම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තා වන්නට විය. මේ හේතුව නිසාම මාස කිහිපයක් තිස්සේ පොලිස් නිලධාරින් මේ ස්ථානය පිළිබඳව තොරතුරු සෙවීම සිදු කළේ ඉතා සූක්ෂම ලෙසිණි.
මෙම කසිප්පු ජාවාරම මිට වසර කිහිපයකට පෙර මියගිය සැකකරැගේ සීයා වන රත්නේ නැමැත්තා විසින් පවත්වා ගෙන ගොස් තිබේ. ඒ කැලේ කොහේ හෝ තැනක තබාගෙන කසිප්පු පෙරා බෝතල්වලට දමා රැගෙන විත් අලෙවි කිරීමයි. ඔහුගේ මරණයත් සමඟ මෙම ජාවාරම ඔහුගේ පුතා වන ධර්මේ නැමැත්තා විසින් පවත්වා ගෙන යයි. ඔහු සිය පියාගේ ක්‍රමය වෙනස් කර නිවසේ සිටම සූක්ෂම ලෙස කසිප්පු පෙරීම සිදු කරගෙන ගොස් තිබේ. කාලයත් සමඟ මෙම ජාවාරම හේතුවෙන් මුදල් වැඩි වශයෙන් අතමිට ගැවසීම නිසා ධර්මේගේ පුතා වන නිමල් සහ දියණිය ද මේ සඳහා හවුල් වන්නේ නවීන ක්‍රමද උපයෝගී කර ගනිමිණි. සීයාගේ අභාවයෙන් පසු තාත්තයි පුතයි දුවයි එක්ව කරගෙන ගිය මෙම ජාවාරම නිසා ඔවුන් අත යහමින් මුදල්ද ගැවසිණි.
කෙසේ හෝ කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරක් සොයා ගැනීමට තංගල්ල පොලිස් ඡායාරූප ඒකකයේ නිලධාරින් හා තංගල්ල කොට්ඨාස පාරිසරික ඒකකයේ නිලධාරින් උකුසු ඇස් හෙලා හිටියේ කසිප්පු පෙරීම සිදු වන්නේ කොහි සිටද යන්න සෙවීමටය. එහෙත් එය සිතූ තරම් පහසු කාර්යයක් නොවීය. මාස කිහිපයක් තිස්සේ සිදුකළ සොයා බැලීමකදී මෙම නිලධාරින්ට අනාවරණය කරගත හැකි වූයේ මෙම කසිප්පු පෙරීමේ වැඩේත් නිවසේ කොහි හෝ තැනක සිට සිදු කරනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් පරිදි තංගල්ල මුලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාගේ නායකත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් මේ සඳහා පත්කෙරැණි. ඒ අනුව මෙම නිලධාරීන් පළමුවෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තුවක් ද ලබාගැනීමට පියවර ගනු ලැබීය.

අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවට අනුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් නිවස හා අවට පරීක්ෂා කර බැලුවද කසිප්පු පෙරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් උත්සාහය අත්නොහළ පොලිස් කණ්ඩායම නිමල්ගේ හදාගෙන යන නිවසේ උඩ තට්ටුව ද පරීක්ෂා කළේය. එහිදී පොලිසියට දැක ගත හැකි වූයේ ඉතා සුක්ෂම ලෙස සකස් කර තිබූ ටැංකියකි. වතුර ටැංකියක් නම් කිසිසේත් සඟවා තැබිය යුතු නොවන බව දැනගත් පොලීසිය එය පරීක්ෂා කළේය. එහිදී දැක ගත හැකි වූයේ ඒ අසල තවත් බැරල් තුනක් සඟවා ඇති අයුරුයි. නිවසට යන එන කිසිවකුටත් සැක නොසිතෙන පරිදි සඟවා තිබූ මෙම බැරල් තුනෙහි දක්නට ලැබුණේ කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩාය. දැඩි පරිශ්‍රමයකින් පසු සඟවා තිබූ ගෝඩා බැරල් තුනම සඟවා තිබූ ස්ථානයෙන් ගොඩගැනීමට කටයුතු කිරීමේදී පොලීසියට දැක ගත හැකි වූයේ ඇස් අදහා ගත නොහැකි දෙයකි. ඒ මෙම ගෝඩා බැරල් තුළ සිට මිටර් සියයක් පමණ දුරින් පිහිටි එම පවුලේ අක්කාගේ නිවස දෙසට භූගතව නල මාර්ගයක් එලා ඇති අයුරුය. පොලිසිය එහිද ගොස් පරීක්ෂා කිරීම ආරම්භ කළේය. ඉතා අලංකාර ලෙස සකස් කර තිබූ නිවෙස හා නිවෙසේ මිදුල පුදුම තරම් ලස්සනය. ගෙමිදුල ඉදිරිපස බිමට චිප් ගල් අතුරා තැන තැන කොන්ක්‍රීට් කැටද අල්ලා මල් පැළ සිටුවා තිබුණේ කිසිවකුටත් සැකයක් නොසිතෙන පරිදිය. එහෙත් පොලිසියේ උකුසු ඇස් මේ නිවැසියන් කෙරෙහි යොමු වී තිබුණේ කාලාන්තරයක් තිස්සේය. පොලිස් නිලධාරීහු ඉතා සූක්ෂම නිමල්ගේ අක්කාගේ නිවසෙහි මිඳුලද පරීක්ෂා කළහ. එහිදී පැය ගාණක සෝදිසියකින් පසු පොලිසියට දැක ගත හැකි වූයේ නිමල්ගේ අක්කගේ නිවසේ ඉදිරි මිදුලෙහි යට තැන තැන බංකර් ඉදිකර ඇති අයුරුය. නිමල්ගේ ගෙදර උඩ තට්ටුවේ තිබී සොයා ගත් ගෝඩා බැරල් තුනත් හා අක්කාගේ නිවසේ මිදුල යට තිබී සොයාගත් බංකර් කිහිපයත් නිසා මෙම ජාවාරමේ සුලමුල සොයා ගැනීමට පොලිසියට පහසු විය.
නිමල්ගේ නිවසේ හැදෙන ගෝඩා මීටර් 100ක් පමණ දුරින් පිහිටි අක්කාගේ ගෙදරට භූගත නළ මගින් පොම්ප කරනු ලබයි. එලෙස පොම්ප කරනු ලබන ගෝඩා අක්කා නිවසේදී කසිප්පු බවට පෙරළෙන්නේද අපුරැ ලෙසිනි. නිමල්ගේ අක්කාගේ නිවසේ මිදුලේ තිබී කොන්ක්‍රීට් කර භූගතව සකස් කර තිබූ බංකර් තුනක් සොයා ගැනීමට හැකි විය. මිදුලේ එක තැනක කොන්ක්‍රිට් දමා සකස් කරන ලද බංකරයකි. එහි සඟවා තිබුණේ කසිප්පු පෙරීමට යොදා ගන්නා බැරලයයි. ඊට මඳ දුරකින් තිබූ තවත් එක් බංකරයක තිබුණේ කසිප්පු පෙරීමට යොදාගන්නා සැලැංගි හා ඊට අවශ්‍ය උපකරණයි. ඒ අසලින් සොයාගත් තුන්වැනි බංකරයේ තිබුණේ පෙරන ලද කසිප්පු ගබඩා කර තබන බංකරයයි. මෙම සියලු දෙනාගේ එකතුවෙන් කසිප්පු පෙරා තිබුණේද අරැම පුදුම ක්‍රමයකටය. මසකට සෑහෙන්න එක් දිනක් පමණක් කසිප්පු වඩිය පෙරීම මේ අයගේ ක්‍රමය විය. ඒ අනුව කසිප්පු පෙරන දවස සියලු දෙනා එක්ව කතිකාකර ගත් පසු අක්කාගේ ගෙදර බංකර් තුළ වළ දමා තිබෙන බැරල් හා සැලැංගි ආදිය ගොඩගනී. ගොඩ ගන්නා බැරලය හා සැලැංගි ආදිය නිවස පිටුපසට වන්නට ඇති නිවසේ වතුර ටැංකිය අසලට රුගෙන ගොස් ඒ ස්ථානයේ ගෑස් ලිපක් තබා සැලැංගි නිවෙසේ වතුර ටැංකියට දමා සූදානම් වූ පසු සිය මල්ලි වන නිමල්ගේ නිවසේ උඩු මහලේ සඟවා ඇති ගෝඩා භූගත නළ ඔස්සේ අක්කාගේ නිවස වෙත පොම්ප කරනු ලබයි. මල්ලිගේ නිවසේ සිට පොම්ප කරනු ලබන ගෝඩා අක්කාගේ නිවසේදී කිසිවකුටත් සැක නොසිතෙන පරිදි කසිප්පු බවට පත්වෙයි. මෙලෙස අක්කාගේ නිවසේ සිට නිපදවෙන කසිප්පු එම නිවසේම භූගත බංකරයක වෙනම ස්ථාන ගත කරයි. පෙරීම අවසන් වූ වහාම ඊට යොදා ගත් බැරල් හා සැලැංගි ආදිය නැවතත් භූගත බංකර් තුළ සඟවා නැවත මිදුල තිබූ පරිදිම සකස් කරනු ලබයි. මෙලෙස පුතාගේ නිවෙසේ හා දුවගේ නිවෙසේ සිට නිපද වෙන කසිප්පු අලෙවිය සිදුවන්නේ ධර්මේගේ නිවෙසේ සිටය. ධර්මේ යනු නිමල්ගේ තාත්තාය. නිමල්ගේ නිවසත් තාත්තා වන ධර්මේ ජීවත් වෙන නිවසත් ඇත්තේ එකම ස්ථානයකය. ධර්මේගේ නිවසේ කුඩා හෝටලයක් ද පවත්වා ගෙන යයි. ඇත්තටම මේ තුළ සිදුවන්නේ හෝටලයට වඩා කසිප්පු හා විදෙස් අරක්කු ජාවාරමයි.

පුතාගේ නිවෙසේ සිට ගෝඩා පොම්ප කර දුවගේ නිවෙසේ සිට කසිප්පු නිපදවා භූගතව සඟවා තැබෙන කසිප්පු පියාගේ හෝටලය වෙත රුගෙන යන්නේ ප්ලාස්ටික බෝතල් මගිනි. එලෙස රුගෙන යන කසිප්පු බෝතල් පුතාගේ නිවසේ එක් ස්ථානයක සකස් කර ඇති භූගත කොන්ක්‍රිට් බංකරයක් තුළ සඟවා තබයි. එයද සකසා තිබුණේ අපූරු ආකාරයටය. අඩි තුනක් පමණ පළලින් යුක්ත, අඩි දෙකක් පමණ ගැඹුරින් යුක්ත මෙම භූගතව ඉදිකර තිබූ කොන්ක්‍රිට් බංකරය කොන්ක්‍රීට් තහඩුවකින් වසා තිබේ. එම බංකරය මැදින් එක් ස්ථානයක පමණක් අතක් දැමිය හැකි තරමේ සිදුරක් තිබේ. මෙම සිදුර පොල් කටුවකින් වසා ඊට උඩින් කුඩා චිප් ගල් දමා වසා තිබේ. කිසියම් අයෙකු පැමිණ කසිප්පු මිලදී ගැනීමට පැමිණි පසු ආ පුද්ගලයා පිළිබඳව සැකයක් නොමැති නම් පමණක් අදාළ බංකරය ඇති ස්ථානයට ගොස් මිදුලේ ඇති චිප් ගල් ඉවත් කර පොල්කටුව පසෙකින් තබා කුඩා සිදුරෙන් බංකරය තුළට අත දමා ඒ තුළ ඇති කසිප්පු බෝතලය රැගෙන නැවතත් පොල්කටුව තබා බංකරයේ සිදුර වසා දමයි.
දැඩි පරිශ්‍රමයකින් පසු කාලාන්තරයක් තිස්සේ පොලිසියේ ඇස්වලට ද වැලි ගසමින් පවත්වාගෙන ගිය මෙම කසිප්පු ජාවාරමේ සුලමුල මේ ආකාරයට හෙළිකර ගැනීමට පොලීසිය සමත් විය. වැඩිදුරටත් සිදුකළ සෝදිසියක දී කසිප්පුවලට අමතරව විවිධ වර්ගයේ විදෙස් මත්පැන් බෝතල් රැසක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඕනෑම පෝය දවසක මෙන්ම නිවාඩු දවසක කොහේ කසිප්පු හා අරක්කු නොමැති වුවත් ධර්මේගේ හෝටලයේ අරක්කු හා කසිප්පු නම් වරදින්නේ නැත. ඒ නිසාම නිතරම වාහන පහ හයක් මෙම හෝටලය ඉදිරිපිට නවතා තිබීම සාමාන්‍ය දෙයකි. මිට අමතරව කෑමට පෙර පොඩි ෂොට් එකක් දමාගැනීමට පුරුදුව සිටින සැමදෙනා ද මේ හෝටලයටම පැමිණීම ද සාමාන්‍ය දෙයකි. ඒ වෙනුවෙන් ද මෙහි සියලු පහසුකම් සකසා තිබුණි. ඒ තරමටම සූක්ෂම අයුරින් මෙම කසිප්පු ජාවාරම පවත්වාගෙන යාමට මෙම පිරිස කටයුතු කර තිබුණි.
මෙම වැටලීමේදී කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා මිලි ලීටර් ලක්ෂ පහක් සමඟ භූගත ප්ලාස්ටික් ටැංකි කිහිපයක්, පෙරන ලද කසිප්පු මිලි ලීටර් 60,000ක්, විවිධ වර්ගයෙන් යුතු විදෙස් මත්පැන් බෝතල් තොගයක්, කසිප්පු පෙරීමට යොදාගන්නා ලද සැලැංගි, බට ඇතුළු උපකරණ රැසක් ද සමගින් නීති විරෝධීව බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු ළඟ තබාගැනීම හා විකිණීම, කසිප්පු පෙරීම ඇතුළු චෝදනා රැසක් වෙනුවෙන් නිවැසියෝ ද පොලිස් භාරයට ගනු ලැබූහ. මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ චෝදනාවන් සඳහා වැරදිකරුද නිවැරදිකරුද යන්න වීමේදී සැකකරුවන් පැවසුවේ තමන් නිවැරදිකරැවන් බවය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් ද පෙනී සිටියේය. වීඩියෝ හා ඡායාරූප සාක්ෂි ද සමගින් අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් කිසිදු බියන් සැකක් නොමැතිව අධිකරණයේදී තමන් නිවැරදිකරු යැයි පැවසීම හේතුවෙන් සැකකරැවන් ඇප මත නිදහස් කෙරැණු අතර නඩු විභාගය සඳහා දින නියම කෙරුණි.
කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ සැකකරැවන්ට එරෙහිව මේ වනවිට කසිප්පු ජාවාරම් සම්බන්ධයෙන් හා විදෙස් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් අධිකරණවල විභාග වූ හා විභාග වන නඩු 30ක් පමණ පවතින බවයි. ඒ කොතරම් නඩු පැවතියත් කොතරම් පොලිස් අත්අඩංගුවට පත්වූවත් පුදුමයට කරුණ නම් මෙම සැකකරැවන් නැවත ගෙදර ගොස් නැවත නැවතත් සිදු කරන්නේ මෙම ජාවාරමම වීමය. එයින් වඩාත් පැහැදිලි වන්නේ අන්කිසිවක් නොව මෙවැනි වැරදිකරැවන් සඳහා ක්‍රියාත්මක නීතියේ යම් යම් අඩුපාඩු පවතින බවය. මෙම ජාවාරම්කරැවන් කලින් කලට බලයට පැමිණෙන විවිධ දේශපාලන පක්ෂවල යම්කිසි දේශපාලනඥයකුට උදවු කරමින් ඔවුන්ගේ බලයේ කොටසක්ද සිය ව්‍යාපරයට යොදාගෙන කරගෙන යාමද විශේෂත්වයක් වී තිබේ.
තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කොට්ඨාස පාරිසරික ඒකකය, තංගල්ල කොට්ඨාස පොලිස් ඡායාරෑප ඒකකය, වීරකැටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. (මෙහි එන නම් මන:කල්පිතයි)
සටහන හා සේයාරූ -
සූරියවැව නුවන් ජයසේකර