
ට්‍රෝලර් ජීවිත අන්දරයේ හත්වැනි කොටස අද අපි ඔබ හමුවේ තබමු. මෙතෙක් මහ මුහුද හා ධීවරන් පිළිබඳ ගොඩබිමේ මිනිසුන් නොදත් අපූරු තතු අපි ඔබට කීවෙමු. දැන් මේ කතා පෙළ අවසන් අදියරට පැමිණ ඇත. කෙසේ වෙතත් අද අපේ සූදානම ට්රෝලර්ය කාල යාත්‍රාවක් බවට පෙරළාගෙන අතීතය හරහා යාත්‍රා කරන්නටය.
අනුර මහතා අප සමඟ බෙදා ගන්නට යෙදුණු මුහුදු ජීවිතයේ අතීත මතක කිහිපයක් ඇසුරින් අද කාතව ලියවෙයි. අද තරම් තාක්ෂණය දිවුණු වී නොතිබූ අතීතයේ මුහුදු ගමන කෙසේ වන්ට ඇද්ද? මඟ කියන්නට සැටලයිට් ආදිය නැති යුගයක මුහුදු ගිය මිනිසුන් ගොඩබිම සොයා ආවේ කෙලෙසද?
මේ කතාවට මුල පුරද්දී අපට එකවරම සිහිවූයේ මුහුදු ගමනේදී පාර කියන තරු රටාය. අතීතයේ වීර නාවිකයන් පිළිබඳව කතන්දරවල එන තරු රටා මගින් පාර සොයාගෙන මහා සාගරය ජයගත් පුවත් සිහි වූ නිසාවෙන් අපි අනුර මහතාගෙන් පැනයක් විමසුවෙමු.
මොකක්ද ඔය ඒ කාලේ තරුවලින් පාර හොයාගෙන මුහුදු ගියා කියන කතාව?
දන් අනුර මහතා අපට ඒ කතාව කියන්නට සැරසෙයි. අපි සවන් ඔහු වෙතට මුදා නිහඬ වූවෙමු.
“ඉස්සරම ඔය තරු කතාව තිබුණා. මීට අවුරුදු පහළොවකට විස්සකට උඩදිත් අපේ අය අතර ඔය කතාව තිබ්බා. ඒක මෙහෙමයි, ඉස්සර දියඹේ යන්නේ නෑනේ. මාළු අල්ලන්න. ඒ කියන්නේ අද වගේ ගොඩක් ඈත මුහුදට යන්නේ නෑ. මේ ළඟට යන්නේ. ඒ කියන්නේ ගොඩබිම නොපෙනී යනකොට බෝට්ටුව නවත්ත ගන්නවා. එතකොට මාළු හිඟ නෑ"
තරු ගැන කතා කියන්නට පෙර ඔහු අප හමුවේ තබන්නේ අතීත මුහුදු ගමනේ තොරතුරුය. ඒ අනුව ඔවුනට එදා මාලදිවයින, මැඩගස්කරය, සෝමාලියාව, ඕස්ට්‍රේලියා ආදී මුහුදු කලාපවලට යාත්‍රා කිරීම සිහිනයක් වන්නට ඇත. මේ ට්‍රෝලර් යාත්‍රාවල දීර්ඝ මුහුදු ගමන්වල ඉතිහාසය දශකයකට දෙකට සීමා වන බව අපට දැන් අපට හැඟේ. නැවතත් ඒ සිතුවිලි අතරින් අනුර මහතාගේ කතාවට අපි සම වැදුණෙමු.

“ඒ කාලේ සැටලයිට් පණිවිඩ හුවමාරු කරන රේඩියෝ වගේ දේවල් මුකුත් නෑ. මාත් මුහුදු ගිහිල්ලා තියනවා ඒ කාලේ. ඒ කාලේ තරුවක් පායනවා. අපි ඒකට කියන්නේ නමය තරුව කියලා. ඔය තරුවට බෝට්ටු තියාගෙන එන කොට කොහෙන් හරි ගොඩබිම පේනවා. එහෙම තමයි තරැවලින් පාර හොයාගත්තේ ඒ කාලේ. ඒත් දැන් ඒ කෙලි කරන්න බෑ. ඔය කියන හරියේ රස්සාව කරොත් පුළුවන්. දියඹට ගිහිල්ලා නම් බෑ. දියඹට ගියොත් ඔය සැටලයිට් එක තියෙන්නම ඕනා දැන් යන දුර හැටියට. නැත්නම් කවුරුත් ගොඩ එන්නේ නෑ"
නමය තරුව බලාගෙන එදා ගොඩබිම සොයා ආ යුගයේ අවසානයේදීත් අප කතානායක අනුර මහතා තරුණ ධීවරක්ව සිට ඇත. ලෝකය තාක්ෂණිකව සීඝ්රයෙන් වෙනස් වූ මෑත දශක දෙකක තුනක කාලය තුළ ඔහු මුහුදු රස්සාව සිදුකර ඇති නිසාවෙන් ධීවර කර්මාන්ත තාක්ෂණිකව පරිවර්තනට ලක්වූ ආකාරය ඔහුට හොඳහැටි මතකය.
ඔහු අපට තවත් අපූරු කාතවක් කියයි. මේ කතාව අදාළ යුගය වන විට රේඩියෝ සන්නිවේදන ට්‍රෝලරයට එක් වී ඇත. එහෙත් සැටලයිට් ඔවුන් සතුව නොවීය. තරමක් දියඹට ගොස් රස්සාව කරන්නට ධීවරෙයෝ බිය සැක හැර ගෙන තිබිණි. මේ අවස්ථාව ඔවුන් ලද්දේ ඔවුන් සිදුකළ අපූරැ සොයා ගැනීමක් හරහාය. අනුර මහතාගේ වදනින්ම අප මේ කතාව අසා දැනගමු.
“තාක්ෂණය අඩු කාලේ අපි ක්‍රමයක් හොයා ගත්තා. දියඹේ ගිහිල්ලා ගොඩ එන ක්‍රමයක්. මේ අපට නිකම්ම අහුවුණා කිව්වොත් හරි. ඉස්සර තිබුණා කොළොඹ වෙළෙඳ සේවය කියලා රේඩියෝ ලයින් එකක්. ඔය වෙළෙඳ සේවය කියන ලයින් එක රේඩියෝ එකේ දාලා කොළඹ පැත්තට හැරෙන කොට ලොක් වෙනවා. ඒ නතරවෙන පැත්තේ තමයි අනිවාර්යයෙන් කොළඹ තියෙන්නේ.”

මේ මහා සාගයේ ඈත දියඹටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය ශ්‍රවණය වීම තරමක් මවිතය දනවන සුළු කරුණකි. පසුව අප කළ සොයා බැලීමකට අනුව අතීතයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තරංග මැලේසියාව දක්වා ඇසුණු බව අසන්නට ලැබුණි. වෙළෙඳ සේවය අද ද පවතින නමුත් මහ මුහුදේ ඈත දියඹට ඇසේ දැයි අප දන්නේ නැත. කෙසේ හෝ ගුවන් විදුලියේ ලොකු ලොක්කන් පවා නොදන්නා අපූරු සේවයක් අතීතයේ දී ඔවුන් ධීවර ප්‍රජාවට සලසා දී තෙබේ. මේ අනුර මහතා මේ පිළිබඳව තවත් තතු අපට පවසයි.
“එහෙම වෙළෙඳ සේවයෙන් කොළඹ තියන පැත්ත හොයා ගත්ත ගමන් අපි ටක් ගාලා බලා ගන්නවා කොම්පාස් එක (මාලිමාව). හරියට රේඩියෝ එක නතර වුණ අංශක ගාණ බලාගන්නවා. අපි හිතමු නතර වුණේ අංශක 70ට කියලා. අපි බොට්ටුව අංශක 70ට අල්ලන් ආවා නම් කෙළින්ම කොළඹ තමා. කොයි ලෝකේ හිටියත් එහෙම තමා කාලයක් අපි පාර හොයාගත්තේ. ඒ කාලේ ඒක සෑහෙන්න වටිනවා. පස්සේ ඉතින් සැටලයිට් ආවම අපි ඒකට හුරුවුණා"
වෙළෙඳ සේවය ධීවර සේවයක් වූ අපූරු කතාව අනුර මහතා අපට හෙළි කළේ එලෙසය. ලාංකිකයන් කවදත් මෙවන් අපූරු උපක්‍රම සොයාගන්නට දක්ෂයෝ වෙති. මුහුදු ගමනේ අවදානම අදට වඩා එදා වැඩි වූ බව නම් දැන් අපට හැඟේ.
අද මෙන් ටෙලිවිෂන්, ඩි.වී.ඩී. සෙටප් ආදිය නොවූ අවදියේ මුහුදු ගමනේ පාළු කාන්සිය විඩාව නිවාගත්තේ කෙසේ දැයි අපි අනුර මහතාගෙන් විමසුවෙමු.
“අපිට ඒ කාලේ එහෙම ඒවා එච්චර ගාණක් වුණේ නෑ. එන්න එන්නනේ තාක්ෂණය දියුණු වුණේ. අපි ඔහේ කතා කරකර ඉන්නවා. පවුල්වල දේවල් කතා කරනවා, කාඩ් ගහනවා ඕවා තමා. හැබැයි ඉස්සර අපි මේ වගේ මුහුදේ හිටියෙත් නෑ. සතියයි දවස් දහයයි දොළහයි හිටියේ. දැන් කොහෙද මාස එකහමාර, දෙක, තුන වුණත් ගාණක් නෑනේ"

කාලය විසින් ගොඩබිමේ පමණක් නොව මුහුදු ජීවිතවල ද විශාල වෙනස්කම් සිදුකර ඇති බව මේ කතා ඇසුරින් පැහැදිළි වෙයි.
තවද අද විවිධ මාර්ග හරහා ගොඩබිම හා සන්නිවේදන කරන්නට අනුර මහතා වැනි ධීවරයන්ට අවස්ථාව සැලසුණත් අතීතයේ එය එසේ නොවුණි.
මුහුද රළු වන බවට කියවෙන කාලගුණ අනාවැකි එදා නොවුණි. මේ දිනවල මුහුදු නොයන ලෙසට නිවේදනයක් නිකුත් කරන්නට ආයතන නොවීය. මුහුදුකරයේ ධීවරයන්ගේ කාලගුණය පිළිබඳව වූ සාම්ප්‍රදායික දැනීම එකල එකම පිහිට විය.
අතීතයේ ධීවර පවුල්වල පසුබිම ද පැවසිය යුත්තකි. වෙරළ ආශිතව මහා සුළන් කෝඩ හමන විට ධීවරයන්ගේ අඹුදරුවන් තුළ වූයේ බියක් හා සංතාපයකි. නිවසේ බුදුපිළිම හෝ සුරුවම අභියස බිරින්දෑවරුන් පිහිට පතා වැඳ වැටී කදුළු තුළින් පහන් කළ රාත්‍රීන් පිළිබඳව මතක මුහුදුකරයේ තිබේ. එහෙත් අද ධීවර පවුල්වල ජීවන තත්ත්වය යම් පමණකට යහපත්ව ඇත. බිය නම් එදා මෙන්ම අදත් ඔවුන් සතුය. නමුත් තාක්ෂණය ඔවුන්ගේ සරණට පැමිණ තිබේ.
මුහුදු ජීවිතයේ රසවත් මෙන්ම දුක්බර අතීත කතාවන් තවත් බොහෝමයක් තිබේ. ඒ සියල්ල කීමට කාලය අපට හරස් වෙයි. එසේ හෙයින් අතීතය හරහා යාත්‍රා කළ අද ට්‍රෝලර් අන්දරයට මෙතෙකින් නැංගුරම්ලමු.
►චමිඳු නිසල් ද සිල්වා