2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

පරණ ඩයල්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 292

සැන්ටිපෝඩි මහත්තය‍ා

ඉස්සර ගම්වල සනීපාරක්ෂාව ගැන බලන්න මණ්ඩලයක් පිහිටුවා තිබුණා. එයට ඉංග්‍රීසියෙන් කිව්වේ සැනිටරි බෝඩ් (Sanitary Board) කියලයි. මේ සැනටරි බෝඩ් කියන ඉංග්‍රීසි කෑල්ල ගමේ අයට හුරුවුණේ නැහැ. ඒගොල්ලෝ ඒක හැඳින්වූවේ ‘සැන්ටිපෝඩ්’ කියලයි. සැන්ටි පෝඩ් එකෙන් තමයි ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයලා ලැබුවේ. මේ සැන්ටි පෝඩ් එකෙන් ගමේ සනීපාරක්ෂාව ගැන බලන්ඩ ආපු මහත්තයට ගම්මු කිව්වේ ‘සැන්ටි පෝඩ්’ මහත්තයා කියලයි.

ප්‍රදේශයේ සෞඛ්‍යයට සම්බන්ධ ප්‍රශ්න ගැන හොයලා බලලා ඒවට විසඳුම් දුන්නේ මේ නිලධාරියා තමයි. එයා අද කාලේ පී. එච්. අයි. මහත්තයා කරන රාජකාරියට අදාළ සමහර වැඩ තමයි කළේ. ඒ කාලේ ගම්වල ජනගහනය බොහොම අඩුවෙච්ච හින්දත් ගමේ ඉඩකඩම් බොහොම තිබුණු හින්දත් මිනිස්සුන්ට අද වාගෙ හිර වෙලා ජීවත් වෙන්න ඕනෑ වුණේ නැහැ. ඒ හින්දා ගමේ සෞඛ්‍ය ප්‍රශ්නත් ගොඩාක් අඩුයි.

එහෙත් වුණත් ඒවා නොතිබුණේම නැහැ. ඉස්සර ගම්වල හරක් කොටු, කුකුල් කොටු, ඌරු කොටු කරන අය වැඩියි. ගොවිතැන ඇරුණම කිරි හරකුන්ගෙන්, එළුවගේ හා කුකුළ්ලු ඇති කිරිල්ලෙන් අමතර ආදායමක් ගත්තා. මේවා හින්දා ගමේ සමහර ගෙවල් අපිරිසිදු වුණා. ඒ ගෙදර හරක් කොටුවේ, ඌරු කොටුවේ වතුර මේ ගෙදර මිදුලට ගලාගෙන ආවා. මේවායේ වතුර හරියට බැස්සේ නැති හින්දා විශාල දුර්ගන්ධයක් හැමුවා. ලෙඩ රෝග බෝවෙලා ළමයින්ට හානි වුණා. මෙන්න මෙහෙම වෙලාවට ළඟ ළඟ ගෙවල් අතර විරසකවීම් නොහොඳ නෝක්කාඩුකම් වැඩිවෙලා ආරවුල් ඇතිවුණා. මෙහෙම ආරවුල් පිළිබඳ පැමිණිලි සැන්ටි පෝඩ් එකට ගියා. ඒවා විභාග කරන්ඩ තමයි සැන්ටි පෝඩ් මහත්තයා ආවේ. එයා කාකි කොට කලිසම ඇඳලා, දිග මේස් සපත්තු දාලා, ඔළුවට ටොප් හැට් එකක් දාලා බස්තමක් අතේ තියාගෙනයි ගමේ ගෙවල්වලට හක්කලම් කළේ.. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති තැන් පරික්ෂා කරලා වතුර බහින්ඩ උපදෙස් දීලා ගමේ අය ලෙඩ රෝගවලින් බේරාගැනීමයි කළේ. ඒ වගේම පවුල් අතරේ තිබිච්ච විරසකකම් නැති කරන්නත් මේ විසඳුම් හේතු වුණා.

මේ හැරුණම ගමේ අයට අම්මාවරුන්ගේ අසනීප හැදුණාම ගමේ දිගටම පැතිරිල්ල වැළැක්කිල්ලත් සැන්ටි පෝඩ් මහත්තයාගේ රාජකාරියක් වුණා. එහෙම රෝග ගැන ආරංචි වුණාම ඒ ගෙවල්වලට ගිහිල්ලා රෝග බෝ නොවෙන්ඩ කළ යුතු දේවල් ගැන උපදෙස් දුන්නා. සරම්ප, පැපොල, කම්මුල්ගාය වාගේ අම්මාවරුන්ගේ අසනීපවලට ගම්මු අද වාගේ ඉංග්‍රීසි බෙහෙත් කළේ නැහැ. ඉස්පිටිතාලවල නවතින්ඩ ගියේ නැහැ. ඒවට පිළිගෙන තිබුණු කෙම් කරලා, දෙවියන්ට බාර හාර වෙලා, ගේ ඇතුළට වෙලා ගොඩ බේත් කළාම රෝගියා සුවපත් වුණා. නියම දවස් ගාණ ගියාට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් කිසිම බේතක් නැතුව වුණත් ලෙඩේ සනීප වුණා. එක ගෙදරක එක් කෙනකුට වැඩිය රෝගය බෝවුණේ නැහැ. කොහොමත් බෝවෙන ලෙඩක් තියෙනවයි කියලා ආරංචි වුණාම සැන්ටි පෝඩ් මහතත්යා ඇවිල්ලා ඒ ගෙවල් පරික්ෂා කරලා අවශ්‍ය උපදෙස් දුන්නා. ලෙඩේ වැඩි වුණොත් ග‍මේ දිස්පැන්සරියට යන්ඩ කියලා තමයි කියන්නේ. ඒ වුණාට ගමේ අය දිසැපැන්සරියට ගිහිල්ලා ඉංග්‍රීසි බෙහෙත් බොන්ඩ අකමැති හින්දා ඒක කොහොම හරි මඟ ඇරියා.

ඒ වගේම ගමේ එහෙ මෙහෙ ඇවිදලා ගම් වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයා බැලිල්ලත් එයාගේ රාජකාරියක්.එහෙම වෙලාවට ගමේ දරැවෝ අතරේ බඩ ගෙඩිය කළ ගෙඩියක් වාගේ පිම්බිච්ච අතපය කෝටු වුණ, ඇස් ගිලිච්ච ළමයි ඉන්නවනම් එහෙම අය පරික්ෂා කරලා ඒගොල්ලන්ට පාන්ඩුව තියෙන වග හොයාගෙන දිස්පැන්සරියට යන්ඩ කියලා නියම කරනවා. පස්සේ දවසක ඇවිල්ලා එහෙම බෙහෙත් ගන්න නොගියද කියලා හොයලා බලලා දෙමාපියන්ට තද නියෝග නිකුත් කළා. ඉස්සර ගම්වල දරුවන්ට තිබ්බේ පාන්ඩුව මාන්දම වගේ රෝගයි. එහෙම නැතුව අද අයට දැන් වගේ ප්‍රෙෂර්, සීනි, කොලොස්ටොයිල් වගේ අසනීප තිබ්බේ නැහැ.

ඒ වගේම ගම්වල ළිංවල පිරිසිදුකම බැලුවෙත් සැන්ටි පෝඩ් මහත්තයා තමයි. ඉස්සර වාගේ ගම්වල පයිප්ප වතුර තිබුණේ නැහැ. හැමදෙනාම පාවිච්චි කළේ ළිං වතුර. නාන්නේ ගම් සභාවෙන් හදලා තිබිච්ච පොදු ළිඳේ. බොන්න වතුර ගන්න හැම ගෙදරකම වගේ ළිඳක් කපාගෙන තිබුණා. මේ ළිං වතුරවල පිරිසිදුකම බලන්න මේ සැන්ටි පෝඩ් මහත්තයා ගම වටේ ගියා. නාන ළිඳේ වතුර බහින්නේ නැතිනම් ඒ වතුර බස්සන හැටි කියලා දුන්නා. ඒ වගේම බොන ළිංවල වතුරවල ඇල්ගී, දිය සෙවෙල් වගේ ලෙඩ හැදෙන දේවල් තියෙනවා නම් ඒවා ඉහලා ශුද්ධ කරලා වතුර පිරිසිදු කරන ඉඟිනි ඇට වගේ දේවල් දාන්න උපදෙස් දුන්නා.

ගමේ බොහෝ දෙනකුට වැසිකිළි තිබ්බේ නැහැ. බොහොම දෙනා මලපහ කරන්න ගියේ ගෙවල් අද්දර තියෙන ළඳු කැලෑවට. ඉතින් එහෙම වැසිකිළි නැති අයට වැසිකිළි හදන්න ඕනෑ කරන දේවල් සැනිටරි බෝඩ් එකෙන් අරන් දෙන්නත් ඔහු වැඩපිළිවෙළ කළා.

එහෙම උනන්දු වෙන්නේ නැතුව දිගටම කැලෑවට ගිය අයට අවවාද කරලා නිසි මගට ගත්තා.

සැන්ටි පෝඩ් මහත්තයාගේ අවවාද, නියෝග නොසලකලා කටයුතු කරන අය ගැන සැනිටරි බෝඩ් එකට වාර්තා කරලා ගම් සභා උසාවියේ නඩු දමන්න සැන්ටි පෝඩ් මහත්තයා පසුබට වුණේ නෑ. ගම් සභාවේ සභාපති තමා ගම් සභා උසාවියේ නඩු ඇහුවේ. එහෙම අහලා නීති කඩ කරපු අයට දඬුවම් නියම කළා. මුදල් දඩ ගැහුවේ නැති වුණත් ආණ්ඩුවේ ඉස්කෝලෙ වත්ත ශුද්ධ කරන්ඩ, විහාර ගේ පිරිසිදු කරන්න වගේ දඬුවම් තමා නියම වුණේ. ඇඟ බැඳිල්ල වාගේ තද දඬුවම් කළේ ලොකු වැරදිවලටයි.

►යසවර්ධන රුද්රිගු