2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

රුපියල් 250කට මිනිසෙකු මැරූ ත්‍රීරෝද රයදුරා

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 53

මිනිත්තු කිහිපයකට පෙරාතුව පැවති වාහන තදබදය අඩුය. නුගේගොඩ ගුවන් පාලම අසලින් කොහුවල දෙසට මාර්ගයේ වෙනසක් නැතත් වාහන රාශියකි. එකක් පසුපස එකක් සෙමෙන් ධාවනය කෙරෙන වාහන අතර මාර්ගයේ වම්පසින් ඉදිරියට ධාවනය කෙරෙන ත්‍රිරෝද රථයකි. ඇතැම් වාහන ඊට ඉඩ ලබාදුන්න ද ඉදිරියේ වූ ත්‍රිරෝද රථයක රියදුරු එය තැකීමක් කළේ නැත. එසේ තිබියදී වම්පසින් ඉදිරියට ධාවනය කළ ත්‍රිරෝද රථයේ කෙළවරක ගැටුණු අනෙක් ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩිය කැඩී ගැලවී වැටුණේය.

එය දුටු ඉස්සර කිරීමට උත්සාහගත් ත්‍රිරෝද රථයේ රියැදුරු වහාම රථය නවත්වද්දී එම රථය පසුපසින් කෙළවරකට වන්නට අනෙක් ත්‍රිරෝද රථය නැවැත්වූ එහි රියැදුරු බිමට බැස්සේ කෝපයෙනි.

ආවේගශීලී වූ එම රියැදුරා පෙර කී ත්‍රිරෝද රථයේ රියැදුරු අසලට ගොස් දෝෂාරෝපණය කළේය. සිදුවූ වරද පිළිබඳව සමාව අයදින්නට හෝ වරදට හේතුවක් කියන්නට ඔහුට වේලාවක් නොවීය. ඉඩක් නොතබාම එක දිගට සිදුකරන දෝෂාරෝපණය මැද යමක් කියන්නට ඉදිරිපත් වූ රියැදුරු හා සෙසු පුද්ගලයා අතර බහින් බස්වීම ගෝරියක් බවට පත්වීමට ගතවූයේ ටික වේලාවකි. ඒත් සමඟ කේන්තියෙන් උන් ත්‍රිරෝද රථ රියැදුරු තමාව පසුකර යන්නට ගිය රථයේ රියැදුරුට පහර දෙන්නට සැරසුණේය.

“හරි හරි... මට ගහන්න එපා... මට බයිපාස් එකක් කරලයි තියෙන්නේ. අනේ මට ගහන්න එපා...” යැයි ගැටුම ආරම්භයේදීම පහර කෑ රියැදුරු පැවැසුවද ඔහුගේ ඉල්ලීමට ඉඩක් ලැබුණේ නැත. වැරෙන් පහර කීපයක් එල්ලකර ඔහුව වේගයෙන් තල්ලුකර දැමීමේදී එතැන තිබූ ත්‍රිරෝද රථයේ බඳ සිරුරේ ගැටීමත් සමඟ පහර කෑ රියැදුරා ඇද වැටුණේය. ඒත් සමඟම නහයෙන් හා කටින් සෙම දමන්නට වූ පහර කෑ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් ගැහෙන්නට විය.

බියට පත්වූ පහරදීම සිදුකළ රියැදුරා එසැණින් ක්‍රියාත්මක වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ පුද්ගලයා ඔසවාගෙන තමන්ගේම රථයට නංවා ගත්තේය. තවත් මොහොතක් හෝ පමා නොවූ ඔහු පවනට බඳු වේගයෙන් කොහුවල හන්දිය පසුකරමින් දෙහිවල දෙසට රිය ධාවනය කළේය. බහින් බස්වීම, ගැටුමක් ඇතිවීම, පහරදීම හා අයෙක් අසාධ්‍ය තත්ත්වයට පත්වීම අසළ සිටි පිරිස් දැක තිබුණ ද කිසිවෙක් ඊට සම්බන්ධ වී තිබුණේ නැත.

මේ අතර පහරදීමෙන් අසාධ්‍ය වූ තැනැත්තා රැගෙන ගිය ත්‍රිරෝද රථය නැවතී තිබුණේ කළුබෝවිල මහ රෝහල ඉදිරිපිටය. එම රෝහලේ හදිසි අනතුරු ඒකකය මගින් රෝගියා ඇතුළත් කරන්නට පියවර ගත්තත් ඒ වනවිටත් පහර කෑ තැනැත්තා ජීවිතක්ෂයට පත්ව සිටියේය.

සැබෑ තත්ත්වය දැනගත් රෝගියා රැගෙන ආ සහ ඔහුට පහරදුන් ත්‍රිරෝද රථ රියැදුරා සිදුවීම පිළිබඳ රෝහල් පොලීසියට දැන්වීමට කටයුතු කළේය. ඒත් සමගම ක්‍රියාත්මක වූ රෝහල් පොලීසියේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව කොහුවල පොලිස්ථානයට දැනුම් දුන්හ. වහාම රෝහලට පැමිණි කොහුවල පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසුව මරණකරු පැමිණි ත්‍රිරෝද රථය නුගේගොඩ- කොහුවල මාර්ගයේ අතහැර දමා තිබියදී සොයාගෙන තිබුණි. සිද්ධිය පිළිබඳ විමර්ශනයේදී සැකකරු හෙළිකළ කරුණු අනාවරණය කරගැනීමට පහරදීම වූ ස්ථානයේ පිහිටි පෞද්ගලික ආයතනයක තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන උපයෝගී කර ගැනිණ. එහි මෙකී පහරදීම සිදුවන බවත් අයෙක් බිම ඇද වැටෙන බවත් පැහැදිලිව දකින්නට ලැබුණු බව පොලීසිය සඳහන් කළේය. එහෙත් වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා සිද්ධිය ඇසින් දුටු කිසිවෙක් තොරතුරු හෙළිකිරීමට ඉදිරිපත් නොවූහ.

මියගිය අය පැදවූ ත්‍රිරෝද රථය පිළිබඳව සහ ඔහු සතුව තිබූ ලිපිද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් හෙළිකරගෙන තිබුණේ මියගිය පුද්ගලයා ගල්කිස්ස, අබේසේකර පාරේ 5 වැනි අදියරේ පදිංචිකරුවෙක් වූ කදිරවේල් ජෝන් ජෝශප් නැමැත්තෙක් බවය. 27 හැවිරිදි වියේ පසුවූ ඔහු විවාහකයෙක් විය.

කදිරවේල් ජෝන් ජෝශප් අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් ආයතනයක කාර්යාල සේවකයෙකි. සුළු ප්‍රමාණයෙන් පවත්වාගෙන ගිය ඇඟළුම් ආයතනයේ කළමනාකාරීත්වයට හිතවත්ව සේවය කළ ජෝශප් සිය රැකියාවට නියමිත කාර්යයන්ට අමතරව පැවරෙන ඕනෑම වගකීමක් ඉටුකළ අයෙකි. ඒ අනුව විටෙක එම ආයතනය සතු ත්‍රිරෝද රථයෙන් එහා මෙහා ගියේ ආයතනික අවශ්‍යතා සඳහාය. ඔහු පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේදී පහරකෑමට ලක්ව තිබුණේ ද ආයතනයේ අවශ්‍යතාවයකට යමින් සිටියදී බවට අනාවරණය වී තිබේ.

මරණයට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 40 හැවිරිදි වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මරණයට හේතුව ලෙස මෙතෙක් පොලීසිය විශ්වාස කරන්නේ බයිපාස් සැත්කමට ලක්ව සිටි මරණකරුගේ පපු පෙදෙසට එල්ල වූ දැඩි පහරක් හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවය.

බහින් බස්වීම අතරතුර ක්ෂණික කෝපයෙන් පහරදීම සිදුකර ඇත්තේ ඔහුට අයත් ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩිය කැඩීයාම හේතුවෙනි. පොලීසිය පවසන්නේ රුපියල් 250ක් පමණ වටිනා පැති කණ්ණාඩිය හේතුවෙන් මිල කළ නොහැකි ජීවිතයක් අකාලයේ නැතිවී තිබෙන බවය.
කොහුවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරී පිරිසක් විමර්ශන සිදුකරති.

සමන්ත ප්‍රදීප් විල්තෙර