2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

රටින් ගේන බඩුවලට ආණ්ඩුවෙන් වැටුණු බදු

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

මෙම මස 29දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැත්වෙන පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික තීරණ කිහිපයක් ගනු ලැබ තිබේ. මෙම තීරණ ගෙන ඇත්තේ දැනට අැතිවෙමින් පවතින අර්බුදය හමුවේ උග්‍රවෙන විදේශ විනිමය ගැටලුවට යම් පමණක හෝ විසඳුමක් වශයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම, ඇමැතිවරුන්ට අමාත්‍යංශවලට, දෙපාර්තමේන්තු සංස්ථා සහ මණ්ඩලවලට හා රාජ්‍ය ආයතනවලට වාහන ආනයනය නැවත දැනුම් දෙනතුරු නැවැත්වීම, රාජ්‍ය සේවකයන් සඳහා සහනදායි පදනම මත වාහන ගෙන්වීමට බලපත්‍ර නිකුත් කිරීම මාස හයකට අත්හිටුවීම මෙම තීරණවලට අයත්වේ. එසේම දෙමුහුන් වාහන ආනයනය කිරීමේදී වාහනයේ වටිනාකම අනුව පැවැති ණය අනුපාතය 70:30 සිට 50:50 දක්වා අඩුකර තිබේ. බස් රථ, ලොරි හා ගිලන් රථ හැර සෙසු වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනයේ වටිනාකම මෙන් සියයට 200ක මුදලක් තැන්පත් කළ යුතුබව ද සඳහන්ය. මේ හැර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනි, සුවඳ විලවුන්, ජංගම දුරකත, ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී ඒවායේ මුළු වටිනාකමම තැන්පත් කළයුතු බවද නියමකර තිබේ.

මේ වසරේ මුල් මාස 6 තුළ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 11400 වන අතර මෙයින් වාහනවලට පමණක් වැයවී ඇති මුදල ඩොලර් මිලියන 813ක් බව ආණ්ඩුව කියයි. එසේම ජංගම දුරකතන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සඳහා මිලියන 2620ක් වැයවී තිබේ. මේ පිළිබඳ අවධානය යොමුකර යම් පමණකට හෝ විදේශවලට ඇදීයන මුදල් කන්දරාව පාලනය කිරීම සඳහා කෙටි කලකට ගත් තීරණවලට අනුකූලතාව දක්වමින් සහයෝගය ලබාදෙන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලයි. එසේම තවදුරටත් රුපියල රැකගැනීමේ සහ විදේශවලට මුදල් යාම නැවැත්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් සකස්කරන ලෙස අගමැතිවරයා අදාළ අංශවෙත උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඉදිරියේදී තවත් පියවර ගනු ඇතැයි උපකල්පනය කෙරේ.

සුඛෝපභෝගී භාණ්ඩයැයි සලකා ශීතකරණ, වායුසමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා ජංගම දුරකතන ආදියට රජය පැනවූ කොන්දේසි පිළිබඳ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක සභාපතිවරයකු පැවසුවේ සමස්ත 2017 වසර පුරාවට බිලියන 19ක් වූ අපනයන වියදමෙන් ගෘහස්ථ උපකරණ විදුලි භාණ්ඩ ආදියට වැය වී ඇත්තේ බිලියන 4.4ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි. එසේම මෙම භාණ්ඩ පාවිච්චි කරනුයේ සුපිරි ධනපතියන් නොව මධ්‍යම පාන්තික ජනතාව වෙයි. මේ නියෝග නිසා ඔවුන්ගේ ජීවත් වීමේ අයිතියට පහරවැදී ඇති අතර මෙම භාණ්ඩ ආනයනය කරන තමන් වැනි සමාගම්වලින් යැපෙන දහස් සංඛ්‍යාත සේවකයන්ගේ රැකියා අහිමි වී යාමේ අවදානමක් ඇති වී තිබෙන බවද ඔහු කියයි. මෙවැනි භාණ්ඩවලට නීති නොදමා ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් පාලනය කළානම් ලැබිය හැකි ප්‍රතිඵල වැඩි බවද ඔහු කියයි. දේශපාලනඥයන් වැනි කොටස් අධි සුඛෝපභෝගී ජීවිත ගතකරමින් සාමාන්‍ය ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම වැරදි බවද ඔහු කියයි.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මේ පිළිබඳ පවසන්නේ මෙලෙස විදේශ විනිමය අර්බුදයක් ඇතිවූයේ ක්ෂණිකව නොව මෙතෙක් පැවැති ආණ්ඩු විසින් ගන්නා ලද අමනොඥ ආර්ථික තීන්දු නිසා බවය.

“ඩොලරයේ නැගීම කරුණු දෙකක් මත සිදුවෙනවා. ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවූ පරිවර්තන සහ දේශීය ආර්ථික කළමණාකරණයේ දුර්වලතා නිසයි. ලෝක ආර්ථිකය කළමනාකරණය කිරීමට අපට අපහසු බව ඇත්ත. ඒත් එයින් සිදුවන බලපෑම් අධ්‍යයනය කර එයින් වැළකීමට කටයුතු කළ යුතුයි. එසේම දේශීය ආර්ථිකය නැංවීමෙන් මෙම අර්බුදයට මුහුණදීමට පියවර ගැනීම අවශ්‍යයයි.

අපි අපනයනයට වඩා දෙගුණයකටත් වැඩියෙන් ආනයනය කරනවා. එසේම සැපයුමට වඩා ඉල්ලුම වැඩිවූ විට මිල ඉහළ යාම කොහොමටත් සිදුවන දෙයක්. රුපියල අවප්‍රමාණ වීම පමණක් නොව මෙම අර්බුදයට ජාත්‍යන්තර හේතුද වඩාත් බලපෑවා. මෙයට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් දෙකක් තියෙනවා. කෙටිකාලීන විසඳුම වන්නේ ආනයන පාලනයයි. අතවශ්‍ය නොවන දේ ගෙන්වීම තාවකාලිකව හෝ අඩු කළයුතු වෙනවා. එවිට ඩොලර් ඉල්ලුම අඩු වෙනවා. අත්‍යවශ්‍ය දේවල් ආනයනය පාලනය කිරීමට බැහැ.

වාහන බලපත්‍ර නිසා විශාල මුදලක් පිටරටවලට ගිය බව ඇත්තයි. ඒ නිසා වාහන ආනයනය පාලනය කිරීම හොඳයි. එය මෙයට පෙර සිට ක්‍රියාත්මක කළානම් වඩාත් හොඳයි. එසේම ජංගම දුරකතන, ශීතකරණ, වායුසමීකරණ වැනි ආනයන පාලනය කිරීමත් හොඳ තීරණයක්. මේ නිසා තම ව්‍යාපාර කඩාවැටෙන බවට ව්‍යාපාරිකයන් කෑ ගහනවා. ඒ අයගේ පැත්තෙන් එය ඇත්තක්. එහෙත් එම ව්‍යාපාරිකයන් අතලොස්සට වඩා රටේ සමස්ත ජනතාවගේ යහපතට හේතුවෙනවා නම් එය කළයුතුයි. වාහන ආනයනය තහනම රක්ෂණ, හා මූල්‍ය ව්‍යාපාර කේෂ්ත්‍රවලට බලපානවා. ඒ නිසා ඒ පිළිබඳව ද අවබෝධයෙන් කටයුතු කළයුතු වෙනවා.

මේ සියල්ල සමඟම කළයුත්තේ රජයේ අනවශ්‍ය වියදම් පාලනයයි. එහෙත් එය ඉටුවන පාටක් නැහැ. මෙවර ජනපතිගේ අමෙරිකානු සංචාරයට විශාල සංඛ්‍යාවක් සහභාගී වුණා. අවශ්‍ය අය මෙන්ම අනවශ්‍ය අයත් ගියා. යහපාලන ආණ්ඩුව මුලදී පැවසුවේ මෙවැනි වියදම් සීමාකරන බවයි. ඒත් මේ වනවිට පරණ ආණ්ඩුවේ තත්ත්වයටම පත්වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයන් විදේශ ගත වනවිට අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ගන්න ඕනෑ. ගමන නිමකර ඇවිත් ප්‍රගතිය වාර්තා කළ යුතුයි. එහෙත් දේශපාලනඥයන්ට මේ මොකවත් නැහැ. රජයේ කාර්යාල ගොඩනැලි වියදම්, උත්සව වියදම්, ප්‍රචාරණ වැය, වාහන හා ඉන්ධන වැය පාලනය කළ යුතුයි. මෙහිදී උඩ සිට පහළට ආදර්ශවත් විය යුතුයි.

ආනයන පාලනය පමණක් නොව ආනයන ආදේශන කර්මාන්තවලට යොමුවිය යුතුයි. අපේ සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි මත්පැන් පෙරීමට පාවිච්චි කරන අතර විශාල වශයෙන් සීනි ආනයනය කරනවා. සීනි කර්මාන්තශාලා 3ක් තනන බව තුන් වැනි අයවැයේදී පැවසුවා එහෙත් සිදුවූ දෙයක් නැහැ. සීනි ආනයනය කරන්නේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙක්. දැනට ඇති අර්බුදයට විසඳුම් ලෙස රටේ මූල්‍ය විනය උසස් කළයුතු අතර ආනයන ආදේශන ක්‍රමයක් ඇති කළ යුතුයි. රටේ අඩාල වී ඇති පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුවෙනවා. සංවර්ධනය කියන්නේ සියලු දෙනාම පොදු ප්‍රවාහනය පාවිච්චි කිරීමයි. එසේ නැතුව වරප්‍රසාද ලත් කොටස සුඛෝපභෝගි වාහනවල යෑම නොවෙයි.

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරී සංගමයේ සභාපති. ප්‍රභාත් චන්ද්‍රකීර්ති

රජයේ ඒකාබද්ධ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට මෙතෙක් කල් තිබුණු තීරු බදු සහන යටතේ වාහන බලපත්‍ර දීමේ ක්‍රමය තාවකාලිකව හෝ නැවැත්වීම අපේ නිලධාරින්ට අහිතකර ලෙස බලපානවා. මෙය විවිධ වෙනස්කම් සිදුවුණත් අපි දිගටම බුක්තිවිඳි වරප්‍රසාදයක්. පසුගිය දිනවල මෙවැනි බලපත්‍ර 8000 පමණ නිකුත් කර තිබෙනවා. එකවර මෙතරම් බලපත්‍ර සංඛ්‍යාවක් දීම මෙවැනි තීරණයකට බලපාන්නට හේතුවෙන්න ඇතැයි අප හිතනවා. වසර පහෙන් පහට දෙන සහනයක් නිසා එකවර වැඩි සංඛ්‍යාවකට ගන්න බැහැ. ක්‍රමයෙන් තමයි ගන්නේ.

මුලදී දුන් මිලියන 5ක් වූ බදු සහනය මේ වනවිට 3.5 දක්වා අඩු කර තිබෙනවා. අද රටේ තියෙන විදේශ විනිමය නාස්තිය ගැන බලන විට අපට මෙම සහනය දීමෙන් විශාල විනිමය අහිමිවීමක් වෙන්නේ නැහැ. මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ මෙම සහනය නැවැත්වූයේ මාස 6ක් වැනි තාවකාලික කාලයකට කියලයි. එහෙත් එම කාලය තුළ විශ්‍රාම යන නිලධාරින්ට මෙම තීරණය අහිතකරව බලපානවා. ඒ අයට විශ්‍රාම යනවිට ලැබෙන තීරුබදු සහනය සහිත වාහනය නොලැබී යන්නට ඉඩ තිබෙනවා. බොහෝ දෙනා වසර 5ක් තිස්සේ වාහනයක් නොගෙන විශ්‍රාම යනවිට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ. එවිට ලැබෙන තීරුබදු සහනය වැඩි නිසයි. එලෙස ප්‍රමාද කරන්නේ. ඒ නිසා අප බලාපොරොත්තු වෙන්නේ මේ මාස 6 තුළ විශ්‍රාම යන අයට සිදුවන අසාධාරණය නැතිවෙයි කියලයි. ඒ ගැන තහවුරු කිරීමක් අප බලාපොරොත්තු වෙනවා. එහෙත් යම් අසාධාරණයක් සිදුවුවහොත් අප එයට එරෙහිව නැගී සිටිනවා.

කෙසේ වුවත් මෙම අපහසු අවස්ථාවේ රජය ගත් තීරණයට අපි ප්‍රබල ලෙස විරුද්ධ වන්නේ නැහැ. යම් කැපකිරීමක් කළහැකියි. ඒත් ඉහළ මට්ටමෙන් ආදර්ශවත්ව කටයුතු කළ යුතුයි.

විනිමය අනුපාත අවප්‍රමාණ වීමට බලපාන විශාල හේතු තියෙනවා. අ‍ෙප් ඍජු විදේශ ආයෝජන අඩු වෙලා. රුපියලේ ඩොලර් අගය අවප්‍රමාණ වීමද තදින් බලපානවා. රටේ නිෂ්පාදනය කළහැකි භාණ්ඩ පවා දිගට හරහට ආනයනය කරනවා. පසුගියදා ඩොලර් විදේශයට ගෙනයාමේදී පනවා තිබූ ඩොලර් 5000 සීමාව 10,000 දක්වා වැඩිකර තිබෙනවා. රටට ගෙන එන ඩොලර්වලට බදු පැනවීම ද විදේශ විනිමය රට තුළට ගෙනඒමට බාධාවක් වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය උපයන අය ඒවා මෙරටට නොයවා විදේශ බැංකුවලට බැරකර ආදායම ලබනවා. මෙවැනි විශාල කපොලු වැසීම කළ යුතුයි. එසේ නොකර අපගේ සුළු සුළු වරප්‍රසාද සීමා කිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවයි අපේ අදහස.”

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ මැති ඇමැතිවරුන් සුඛෝපභෝගි වාහන සම්පූර්ණ තීරැබදු සහන යටතේ ගෙන්වා ගෙන ඊට පසු ඔවුන්ගේ වරප්‍රසාදය නැවැත්වූවා යැයි පැවසීම ජනතාව මුලාවට පත්කිරීමට ගත් වෑයමක් බවයි. “පාර්ලිමේන්තු, මන්ත්‍රීවරුන් පමණක් නොව පළාත් සභා මන්ත්‍රීවරුන්ද දැන් මේ වාහන ගෙන්වා ගෙන අවසන්. අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම වගේ මේ සියල්ල දැන දැනත් ආණ්ඩුව කරන ප්‍රචාරය ජනතාව නොමඟ යැවීමට දරන අසාර්ථක ප්‍රයන්තයක්. සිදුවෙලා තියන දේ ජනතාව හොඳ හැටි දන්නවා. ජනතාව අන්දවන්න ඇමැතිවරුන්ට බැහැ. ෆ්‍රිජ්එකක්, වොෂින් මැෂින් එකක් පාවිච්චි කිරීම සුඛෝපභෝගි භාණ්ඩ පාවිච්චියක් නෙවෙයි. ඒවා හා ජංගම දුරකතන ආදියට සීමා පැනවීම පොදුජනතාවට විශාල ලෙස අහිතකරව බලපානවා.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස්

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව ගත් මේ තීරණය හොඳ බවයි කිවයුතු වන්නේ. මේ අවස්ථාවේ ක්ෂණික විසඳුමක් වශයෙන් ආනයනයට මෙවැනි සීමාකිරිම් දැමීම කළයුතු දෙයක්. දිගුකාලීන විසඳුම්වල ප්‍රතිඵල ලැබෙන තුරු මෙවැනි දේ ක්‍රියාත්මක කළ යුතුයි. එසේම වහ වහා මෙම ගැටලුවට දීර්ඝකාලීන විසඳුම් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යව තිබෙනවා.

පසුගිය මාසයේ රට තුළ ආනයනවල වටිනාකමින් 2/3 පමණ වැයවී ඇත්තේ වාහන සඳහායි. ඒ නිසා තමා ආණ්ඩුව වාහනවලට සීමා පැනවීම පිළිබඳ විශේෂයෙන් කටයුතු කර ඇත්තේ මෙවැනි අවස්ථාවක ආනයන පාලනය කිරීම සඳහා ආණ්ඩුව උපක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් නම් ආනයන බදු වැඩිකිරීමෙන් ආනයනය දුර්වල කිරීමයි. එය ඍජුව පරිභෝගිකයාට බලපාන්නක්. අනෙක තමා ආනයනකරුවා අධෛර්යමත් කිරීම. මේ වනවිට ක්‍රියාත්මක කර ඇත්තේ දෙවැනි ක්‍රමයයි. එය ජනතාවට නොව ව්‍යාපාරිකයාටයි අහිතකර වෙන්නේ.

මෙහිදී ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනයේ මුළු වටිනාකම තැන්පත් කළයුතුයයි මුලින් පැනවූ කොන්දේසිය පසුව දෙගුණයක් තැන්පත් කළයුතුයැයි ඉහළ දමා තිබෙනවා. CIF වටිනාකම ලක්ෂ 50 නම් ලක්ෂ 100ක් බැංකුවට දැමිය යුතුයි. වාහනය ගෙනා පසු වැඩිපුර කර ඇති තැන්පතුව ආපසු ගතහැකිය. එසේ වුණත් මේ නිසා ආනයනය කිරීම් සෑහෙන්න අඩුවෙනවා. බදු වැඩිකිරීමට වඩා මේ ක්‍රමය සාධනීයයි. මෙහිදී පාරිභෝගිකයා බේරලා ආනයනකරුවා පීඩාවට පත්කර තියෙනවා. මේ අවස්ථාවේ හැටියට රට ගැන හිතලා අපට සිදුවන හානිය විඳදරා ගත යුතුවෙනවා. ව්‍යාපාරවල ලාභය අලාභය තිබෙනවා. පහසුව අපහසුව තිබෙනවා. සැමවිටම ලාභය පමණක් බලාපොරොත්තු නොවිය යුතුය. මේ තත්ත්වය අපේ ආයෝජන අඩු වීමට බලපානවා. වෙනත් පහසු ක්‍රමවල මුදල් ආයෝජනය කිරීමට ව්‍යාපාරිකයන් උනන්දු වෙයි.

මෙම තත්ත්වය අපට පමණක් නොව අපේ සේවකයන්ට ද බලපානවා. වාහන “පොලිෂ්” කරන මනුස්සයා දක්වා බලපානවා. ආණ්ඩුව මේ කර්මාන්තය කඩා වැටීමට ඉඩ නොදිය යුතුයි. අප තමා ආණ්ඩුවට වක්‍රව බදු එකතුකර දෙන්නේ. තනි තනි පුද්ගලයාට බදු ගහනවට වැඩිය විශාල ප්‍රමාණයක් වාහන ආනයනය කරන විට අපි රජයට වක්‍ර බදු ගෙවනවා. අපි බදු වේලාසනින් ගෙවලා වාහන ගෙන්නලා පාරිභෝගිකයාට අලෙවි කරනවා. මෙතැනදී අපි කලින් මුදල් ගෙවනවා.

එහෙත් ආණ්ඩුව කියන පරිදි මෙම කොන්දේසි මාස හයකට පසු වෙනස් විය යුතුයි. එතෙක් අපිට අමාරුවෙන් හරි මේ කැපකිරීම කළහැකියි. ඒත් මාස හය ඉක්මවූ පසු අපට සහන දිය යුතුයි. එහෙම නැතිනම් වාහන කර්මාන්තය කඩා වැටේවි.

විදේශ විනිමය අර්බුදය අවම කිරීම සඳහා අපේ අපනයනය දියුණු කළ යුතුයි. දේශීය නිෂ්පාදන දිරිගැන්විය යුතුයි. තායිලන්තය, සිංගප්පූරුව වැනි භූමිය හා ඉඩ පහසුකම් නැති රටවල් නිෂ්පාදන ඉහළ නැංවීමට උපරිමයෙන් උත්සාහ ගන්න පරිසරයක අප වැනි සෑම පහසුකමක්ම තිබෙන රටවල් එසේ නොකරන්නේ ඇයි? මෙයට පෙරදී සිටම අපනයන ගැන උනන්දුවක් දක්වන්නට කටයුතු කළා නම් අපට අද මේ තත්ත්වය ඇති වන්නේ නැහැ.


►යසවර්ධන රුද්රිගු