2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

යාළුවාගේ බැංකු පොතේ සල්ලි අරං කුඩු ගැසූ සිකියුරිටි

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

“මට හදිස්සියකට ගෙදරට යන්න වෙනවා. ගෙදර කිට්ටුව ඥාතියෙක්ගෙ මළගෙදරක් වෙලා. හෙට අනිද්දා දෙකම නිවාඩු දාලා යන්නෙ. අයිඩින්ටි, බැංකු පොත් ගෙනියන්නෙ නෑ. ඒවා මගෙ පොඩි බෑග් එකේ තියලා යනවා. ඔයා පරිස්සමට තියන්න.”

මහරගම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගීවීම සඳහා පිටත්ව යන මොහොතේ තමා සමඟ සේවයේ නියුතුව සිටි හිතවත් ආරක්ෂක නිලධාරියාට එසේ පැවසූ ඔහු පිටත්ව ගියේය. ඒ වනවිට ඔහු සේවයේ නිරතව සිටියේ කිරුළපන කාලිංග මාවතේ පිහිටි සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමකට අයත් වැඩබිමකය.

ඉදිකිරීම් භූමියේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක සේවා සමාගමකින් නිලධාරීන් තිදෙනකු යොදවා තිබුණි. ඔවුන් සඳහා මුරකුටියට යාබදව තිබූ නවාතැන් කාමරයකි. එහි සිට පිටත්ව ගිය පෙර කී නිලධාරියා ඔහු සතු කුඩා අත්බෑගයක් ඇණයක එල්ලා තබා ගියේ සහාය නිලධාරීන් දෙදෙනා පිළිබඳ විශ්වාසය ඇතිවය.

හිතවත් නිලධාරියාගේ අත්බෑගය පරිස්සම් කිරීම කෙසේ වෙතත් නිලධාරියා පිටව ගිය මොහොතේ පටන් ඔහුගේ මතකයට ඇවිත් තිබුණේ මිතුරාගේ හැඳුනුම්පත සහ බැංකු පොත පරිස්සමට තබා ගිය බවය. නිවාඩු ලබා අවමංගල්‍යට සහභාගී වූ පුද්ගලයා නැවත සේවයට පැමිණ තිබුණේ දින දෙකක් ගතවූ පසුවය. එසේ පැමිණි ඔහු තමාගේ අත්බෑගය පිළිබඳව සොයා බැලුවේය. හිතවතාට බලාගන්න යැයි කියමින් ගියද පැමිණි මොහොතේ එම බෑගය තිබී ඇත්තේ වෙනත් ස්ථානයකය. ඒ පිළිබඳව හිතවතාගෙන් විමසීමේදී ඔහු කියා තිබුණේ,

“මම දන්නෙ නෑ... මම ඊයෙ පෙරේදා වෙන තැනක හිටියේ” යනුවෙනි.

ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ බෑගයේ හිමිකාර ආරක්ෂක නිලධාරියා අත්බෑගය පරීක්ෂා කළේය. එහිදී පෙනී ගොස් තිබුණේ තමන්ගේ ජාතික හැඳුනුම්පත සහ බැංකු පොත අස්ථානගතවී ඇති බවකි. ඒ මොහොතේ සැකයක් ඉපදීමත් සමඟ කල්පනා කළ ආරක්ෂක නිලධාරියා සිතුවේ තමා බැංකු පොත විවෘත කළ බැංකුව වෙත ගොස් අස්ථානගතවූ බැංකු පොත පිළිබඳව දැන්විය යුතු බවය. ඒ අනුව නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගිය ඔහු සිදුවීම දන්වා ජාතික හැඳුනුම්පත් අංකය මගින් සිය ගිණුමේ තොරතුරු ඉල්ලා සිටියේය. එහිදී බැංකුවේ කාර්ය මණ්ඩලය ඔහුට දන්වා ඇත්තේ මීට දිනකට පෙර අදාළ ගිණුමෙන් රුපියල් 50,000ක් නැවත ලබාගෙන ඇති බවය. වැඩිදුරටත් කියා තිබුණේ එම මුදල කිරුළපන පිහිටි සිය බැංකු ශාඛාව මගින් ලබාගෙන ඇති බවකි.

දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදල සොරාගෙන ඇතිබව හෙළිවීමෙන් කලබලයට පත්වූ ඔහු බැංකු නිලධාරීන්ගේ උපදෙස් අනුව සිදුවීම පිළිබඳව කිරුළපන පොලිස්ථානයට පැමිණිලි කළේය. එහිදී පොලීසියේ නියෝග මත අදාළ සිදුවීම සම්බන්ධ හෝඩුවාවක් සොයාගැනීම සඳහා කිරුළපන පිහිටි බැංකු ශාඛාවේ රහසිගත කැමරා දර්ශන විමර්ශනයට ලක් කළේය.

ඒ අවස්ථාවේදී හෙළිවී තිබුණේ අදාළ බැංකු ගිණුමේ මුදල් ලබාගෙන තිබූ වේලාවට මත්තෙන් සැකසහිත දෙදෙනෙක් බැංකුවට පැමිණෙන බවත් ඔවුන් විසින් අදාළ වේලාව තුළදී බැංකු පොතකින් මුදලක් ලබාගෙන පිටව යන බවය.

ඒ අවස්ථාව දවසේ දහවල් කාලයකි. බැංකුව කාර්යබහුල අවස්ථාවක් වූ හෙයින් ඒ මොහොතේ පාරිභෝගිකයන් රාශියකින් පිරීගොස් තිබුණි. ඒ අවස්ථාවේදී එක් කවුන්ටරයක සෙනග අතුරින් පෝලිමේ උන් සැකසහිත පුද්ගලයන් දෙදෙනා හැඳුනුම්පත පෙන්වා ව්‍යාජ අත්සනක් යොදා රුපියල් 50,000ක මුදලක් රැගෙන ගොස් තිබුණි. බැංකුවෙන් පිටත්ව යන අවස්ථාවේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ කසළ පිළිස්සෙමින් තිබූ ස්ථානයකි. ඔවුන් අත වූ හැඳුනුම්පත සහ බැංකු පොත ගිනිගොඩට විසිකර දැමූ දෙදෙනා කිසිවක් නොවූ ලෙස ගමන් කරන අතරතුර රුපියල් 25,000 බැගින් දෙදෙනා අතර බෙදාගෙන තිබුණි.

සී.සී.ටී.වී. කැමරා දර්ශනවල දකින්නට ලැබුණු සැකකරුවන් අතර අයෙක් බැංකු පොත හිමි නිලධාරියා සමඟ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකි. කරුණු අනාවරණය කරගන්නා අවස්ථාව වනවිටත් ඔහු සේවා ස්ථානයේ නොසිටියේය. අනතුරැව ඔහු පිළිබඳ විමර්ශනය කිරීමේදී ඔහු වෙනත් ඉදිකිරීම් ආයතනයක ආරක්ෂක සේවයට ගොස් තිබුණි. ඔහු සොයා ගිය නිලධාරීන්ට එම සැකකරු හමුවී තිබුණේ රාජගිරිය ප්‍රදේශයේ සිටියදීය. ඒ වනවිටත් ඔහු නිවාඩු ලබා ඌව පරණගම සිය ගමට යන්නට සූදානමින් සිටියේය. ඔහු 58 හැවිරිදි අයෙකි.

ඔහු සමඟ වංචාව සිදුකිරීමට දායක වූ අනෙක් සැකකාර පෞද්ගලික ආරක්ෂක සේවා සමාගමක සේවය කළ පුද්ගලයා කිරැළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කාලයක පටන් හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටි අයෙකි. දෙදෙනා එක්ව සොරකම් කළ මුදලින් හෙරොයින් පානය කළ බවත් බැංකු පොත හිමි අයගේ පෙනුමට හා වයසට ගැලපෙන රෑපයකින් යුතු වූ තමා වංචාව සඳහා සම්බන්ධ කරගත් බවද අත්අඩංගුවට ගත් පුද්ගලයා පවසා තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර කිරුළපන ප්‍රදේශයෙන් ඔහු පළාගොස් ඇතැයි වාර්තා විය.

සිදුවීම පිළිබඳව කිරුළපන පොලීසියේ ස්ථානාධිපති උපුල් සමරසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදුකරති.

►සමන්ත ප්‍රදීප විල්තෙර