2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

පොලිස් ලොක්කාගේ රියැදුරු මැරූ කුඩ්ඩා කොටුකළ මෙහෙයුම

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 214

 

දිනය 2016 දෙසැම්බර් 16 වැනිදාය. එදින ජනාධිපති අරක්ෂක අංශයේ සේවය කරන පොලිස් සැරයන් (1786) තලවින්නේගෙදර විජේනායක පොළොන්නරුවට පැමිණියේ සිය සුපුරුදු රාජකාරිය ඉෂ්ඨ කිරීම සඳහාය. විජේනායක කාලයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රියැදුරු විය. පසු කලෙක ඔහු ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ රියැදුරුද විය. ඔහු එලෙස සේවය කළත් ඊට අමතරව තවත් ප්‍රධාන රාජකාරියක් ඔහුට පැවරී තිබුණි. ඒ ජනාධිපතිවරයාටත්, ජනාධිපති ආරක්ෂක අංශයටත් අයත් සියලු වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීමය. 

ඒ අනුව විජේනායක එදින පොළොන්නරුව ප්‍රදේශයට ගියේ පොළොන්නරුව ජනාධිපති මන්දිරයේ වූ වාහන ප‍ෙක්ෂා කිරීම සඳහාය. ඒ ඊට දින කිහිපයකට පසුව ජනාධිපතිවරයා පොළොන්නරුවට පැමිණීමට සිටි බැවිනි.

පොළොන්නරුවට පැමිණි විජේනායක ප්‍රථමයෙන්ම ගියේ ජනාධිපති මන්දිරය වෙතය. එම ස්ථානයට ගොස් ඔහු රාජකාරියට පැමිණි බවට සටහන් දමා ජනාධිපති මන්දිරයේ සිට කිලෝමීටරයක් වත් නැති ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ නිවසට පිටත්ව යාමට සූදානම් වුණේය. ඒ සඳහා ඔහු ජනාධිපති මන්දිරයේ සිටි පොලිස් කොස්තාපල් ජයන්තගේ යතුරුපැදිය ඉල්ලා ගත්තේය.

එලෙස ඉල්ලා ගන්නා විටත් ජයන්ත, සැරයන් විජේනායකට පවසා සිටියේ හැකි ඉක්මනින් පැමිණෙන ලෙසය. ඉක්මනින් පැමිණෙන බව කියූ විජේනායක පිටත්ව ගියේය. ඒ වනවිට වේලාව සවස 3.00ට පමණ විය. 
හැකි ඉක්මනින් එන බව කියූ විජේනායක පැයක් එකහමාරක් යනතෙක් පැමිණියේ නැත. මේ නිසා යතුරැපැදියේ හිමිකරැ වූ ජයන්ත සිය යතුරුපැදිය සොයා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ නිවෙසට ගියේය. එසේ යනවිට යතුර පැදිය නිවසේ තිබුණේ නැත. නි‍ෙවසේ ඉදිරිපස දොරටු දෙකම විවෘතව තිබූ අතර, එතෙක්ද විජේනායක පෙනෙන්නට සිටියේ නැත. සම්ප්‍රදායට අනුව පහළ නිලධාරියකු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ නිවසට ඇතුළු නොවන නිසා කිහිප වතාවක් කතාකොට ජයන්ත නැවත හැරී ආවේ විජේනායකටද සිදුවූ දෙය කල්පනා කරමිනි. 

වේලාසනින් ගෙදර එන බව කියූ විජේනායක ගැන නි‍ෙවසටවත් පණිවිඩයක් ලැබුණේ නැත. අවසානයේ කොළඹ ජනාධිපති මන්දිරයෙන්ද විජේනායක ගැන සෙව්වේය. මේ නිසාම පොළොන්නරුව ජනාධිපති මන්දිරයේ පිරිසක් විජේනායක සොයා වික්‍රමසිංහ මහතාගේ නිවසට ආහ. එසේ යන විට විජේනායක ලේ විලක් මැද නි‍ෙවස තුළ වැටී සිටින අයුරු දැක ගත හැකි විය. වහාම පිරිස මේ බව පොළොන්නරුව පොලීසියට දැනුම් දුන්හ. ඒ අනුව පොළොන්නරුව පොලීසිය පැමිණ පරික්ෂණ ආරම්භ කරන්නට විය.

පොළොන්නරුව පොලීසිය පරීක්ෂණ කරන විට එම නි‍ෙවසේ එක් තැනක තිබී ඇඳ ඇතිරිල්ලකින් ඔතන ලද මල්ලක් දැකගත හැකි විණි. එම මල්ල ලිහා බලන විට ඒ තුළ කලිසම්, ඇඳුම්, පාවිච්චි කරන ලද දත් බුරුසු, රේසර් ආදී භාණ්ඩ ගොඩක් විය. මේ නිසා පොලීසිය සැකකළේ මෙය සොරෙකු විසින් සිදුකළ අපරාධයක් ලෙසිණි.

දිනය ඊට පසුදා එනම් 17 වැනිදාය. එදින උදෑසන මින්නේරිය පොලීසියට තොරතුරක් ලැබුණේය. ඒ මින්නේරිය දේවාලයේ කපු මහතාගෙනි. ඔහු සඳහන් කර සිටියේ තමන් මින්නේරිය ජලාශයට බහින විට ජලයේ යතුරැ පැදියක් තිබූ බවය. එම යතුරු පැදිය කිසිවකු විසින් දමාගොස් ඇති බව ඔහු සඳහන් කර සිටියේය. එම පණිවිඩයට අනුව පැමිණි මින්නේරිය පොලීසිය එය ගොඩට ගත්තේය. ගොඩට ගෙන පොළොන්නරුව පොලීසියට දැනුම් දුන්නේය. පොලීසිය මේ පිළිබඳව තවත් පරීක්ෂා කරන විට අදාළ යතුරු පැදිය විජේනායක රැගෙන ආ ජයන්තගේ යතුරු පැදිය බව හඳුනාගත්තේය. මේ නිසාම යතුරු පැදිය පොලීසියට රැගෙන ගියේය.

කෙසේ වෙතත් 17 වැනිදා වනවිට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබිණි. ඒ නිසාම පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් අදාළ පරික්ෂණ ආරම්භ කර තිබුණේ මෙහි අබිරහස සොයා ගැනීමටය.
ඒ අනුව අදාළ කණ්ඩායම ප්‍රථමයෙන් වික්‍රමසිංහ මහතාගේ නිවසේ තිබූ ඇඟිලි සලකුණු ලබාගත්හ. එසේම ලේ පැල්ලම් කිහිපයක්ද සාම්පලද සොයාගත්තේය. ඉන් පසුව අදාළ නිවසට එන මාර්ගයේ පිහිටි ආයතන සහ නිවෙස්වල සී.සී.ටී.වී. රෑප රාමුද පරික්ෂා කිරීම ආරම්භ කෙරුණි. එම රූප රාමු පරීක්ෂා කිරීමේදි සැකකරු බවට සැකකළ හැකි අයුගේ රූප කිහිපයක් සටහන් වී තිබුණේය. එම රූප රාමු ලැබුණේ මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනකුගේ නිවෙසේ සහ ආයතනයක කැමරාවල සටහන් වී තිබියදීය. ඒ අනුව අදාළ රූප රාමු වල පුද්ගලයකු යතුරු පැදියකින් ගමන් කරන අයුරු පැහැදිලිව සටහන් වී තිබුණි. අදාළ පුද්ගලයා එක්තරා ස්ථානයකින් නොපෙනී යන අයුරුද දැකගත හැකි විය. ඒ අනුව එම ඡායාරූප ගෙන පිරිස කණ්ඩායම් දෙකකට විසිරි ගියහ. ඒ ප්‍රදේශ හතරකටය. 

පිරිසක් පොළොන්නරුව නව නගරය වෙත ගියහ. තවත් පිරිසක් මින්නේරියට ගියහ. තවත් කණ්ඩායමකම් දෙකක් හිඟුරක්ගොඩ සහ කඳුරුවෙලට පිටත් වූහ. මෙලෙස ගිය පිරිස අතෙහි සැකකරුගේ ඡායාරූප කිහිපයක් තිබුණේය. මේ අතර පිරිසගේ වැඩි දෙනකු ගියේ මත් පෙති, මත් කුඩු භාවිත කරන පුද්ගලයන් සොයාය. ඔවුන් හට පෙන්වමින් සැකකරැ ගැන විමසුවේ මීට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු සම්බන්ධ වී සිටිනු ඇතැයි සැකකළ නිසාය.

එලෙස විමසන විට හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී එක්තරා අයකු විසින් සැකකරු හඳුනාගත්තේය. ඔහු සඳහන් කර සිටියේ මෙම සැකකරු නිතර හිඟුරක්ගොඩ ප්‍රදේශයේ යන එන ඉසුරු නැමැති අයකු බවය. ඒ අනුව එහි සිටි පිරිසගෙන් අදාළ සැකකරු පිළිබඳව සියලු තොරතුරු ලබාගත්තේය. එම තොරතුරුවලට අනුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සැකකරුවන්ගේ නැන්දා කෙනෙකුට අයත් නිවසක් වෙත ඔවුහු ගියහ. ඒ අනුව එම නි‍ෙවසට ගොස් ඉසුරැ පිළිබඳව රහස් පොලීසිය විමසුවේය. එහෙත් ඉසුරු දැනට මාස කිහිපයක සිට නොපැමිණි බව එහි සිටි ඥාති දියණියක් කීවාය. එම පිළිතුරින් සෑහීමට පත් නොවූ රහස් පොලීසිය ඇයගේ දුරකථන අංකයද රැගෙන පැමිණියහ. 

එලෙස රැගෙන ආ අංකය ප්‍රථමයෙන් පරීක්ෂා කරන්නට විය. එහිදී එක් අංකයක් පිළිබඳ රහස් පොලීසියට සැකයක් මතුවිය. එම අංකයෙන් දිගින් දිගටම එම ඥාති දියණියගේ අංකයට ඇමතුම් ලැබුණු අයුරු සටහන් වී තිබිණි. එම සැක සහිත අංකය ගැන පරීක්ෂා කිරීමේදී එය විසන්ධි කර තිබුණේය. එය විසන්ධි කර තිබුණේ එදිනමය.

නැවතත් අදාළ ඥාති දියණියගේ අංකය පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී ඥාති දියණියගේ අංකයට තවත් අංකයකින් ඇමතුම් ලැබෙමින් තිබුණේය. එම අංකය පරීක්ෂා කිරීමේදී එම අංකයත් විසන්ධිකර තිබූ අංකයත් පරික්ෂා කිරීමේදී එකම ජංගම දුරකථනයකින් අදාළ ඇමතුම් ලැබී තිබුණු අයුරු හෙළි විය. ඒ අනුව රහස් පොලීසිය අදාළ අංකය ක්‍රියාත්මක වූ ප්‍රදේශය සොයා එහි ගියේය. අනුරාධපුරයේ හිඳෝගමටය. එම ප්‍රදේශයෙහි ඉසුරුගේ මහ ගෙදර පිහිටා තිබුණේය. ඒ අනුව රහස් පොලීසිය එම නිවසට යන විටත් ඉසුරු එහි සිටියේය. එහිදී ඉසුරු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් ඉසුරු මඟට එන්නටත් පෙර කතාව හෙළි කළේය.

ඉසුරැ 15 වැනිදා හිඟුරක්ගොඩ පිහිටි සිය නැන්දාගේ නිවසට ගොස් ඇත. එහෙත් ඉසුරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි නිසා නිවසේ පිරිස ඉසුරුව එළවා දමා ඇත. පසුව ඉසුරු සිය නවාතැන කරගෙන ඇත්තේ පොළොන්නරුවේ පිහිටි ක්‍රීඩාංගණයකි. එතනට පැමිණි ඉසුරු එහි තිබූ ගසක් යට නිදාගෙන ඇත. එම ගස යට සිටින විට අධික කුසගින්න සහ මත්පෙති නොමැති වීම නිසා ඉසුරු එම ක්‍රීඩාංගනය අසල පිහිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිවාස වෙතට ඇතුළු වී කන්නට යමක් සොයා ඇත. එහිදී නිවැසියෙක් ඉසුරුව දැක ඔහුට පහරදීමට තැත්කර තිබිණි. පසුව එම ස්ථානයෙන් පැනගත් ඉසුරු පාර දිගේ ඇවිදගෙන පැමිණ ඇත්තේ පාළු නිවසක් සොයාගෙනය. එලෙස එන විට පාළු ගෙයක් ඔහුට හමුවී ඇත. ඒ වික්‍රමසිංහ මහතාට අයත් නිවසය. එහෙත් මේ ගැන කිසිදු තොරතුරක් නොදත් ඉසුරු එම ගෙවත්තට ඇතුළු වී ඇත්තේ කිසිවකුත් නොසිටි නිසාය. ඉසුරු නිවසට ඇතුළු වීමට උත්සාහ දරා ඇත. ඒ සඳහා ඉසුරු ඉදිරි දොරටුව වෙත ගොස් දෙවතාවක් දොරෙහි උරහිස වැද්දවීය. දෙවැනි අවස්ථාවේ දොරෙහි පියන් දෙක ඇරී මොහු ඇතුළට වැටී තිබේ. ඉන් අනතුරුව මොහු නිවසේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර ඇත. එහෙත් කිසිදු වටිනා කියන දෙයක් නිවසේ තිබී නැත. මේ නිසා මොහු නිවසේ තිබෙන ඇඳුම්වල සිට ඇල්පෙනෙත්ත දක්වා ඇඳ ඇතිරිල්ලක ඔතාගෙන ඇත. එලෙස ඔතාගත් ඉසුරු, අධික කුසගින්නත් මත්පෙති ඌනතාවයත් නිසා වික්‍රමසිංහ මහතාගේ නිදන කාමරයට ඇතුළු වී වික්‍රමසිංහ මහතාගේ ඇඳෙහි වැතිරි නිදාගෙන ඇත. අධික තෙහෙට්ටුව නිසා පැයකට අධික කාලයක් නින්ද ගියේ ඔහුටත් නොදැනීමයි.

එලෙස නිදාගෙන සිටි ඉසුරුට එකවරම වාහනයක් පණගන්වන ශබ්දයක් ඇසිණි. මේ නිසා ඔහු සිදුවන දේ දැනගැනීම සඳහා නිවසේ සිට මිදුල දෙස බලන විට කොට කලිසමක් ඇඳගත් අයෙකු නිවසේ ගරාජයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් පණගන්වන අයුරු දැකගැනීමට හැකි වී තිබේ. මෙය දුටු ඉසුරු බිය වී හැකි ඉක්මණින් ඇඳෙන් බැස නිවසේ කුස්සියට ගියේ පැනයාම සඳහාය. එලෙස ගියත් නිවසේ කුස්සිය අඟුලු ලා තිබූ නිසා නොහැකි විය. ඉසුරු පිහියක් ගෙන සූදානම් වුණේ අදාළ පුද්ගලයා බියවද්දා හෝ පැනයාම සඳහාය.

කෙසේ වෙතත් මඳ වෙලාවකට පසු එම පුද්ගලයා නිවසට ඇතුළු විය. එසේ පැමිණෙන විට ඉසුරු පිහිය පෙන්වා සැරයන් විජේනායකට තර්ජනය කළේය.

උඹ කොහෙද මෙහෙ? ඉසුරු ඇසුවේය.

මේක මම තමයි යකෝ බලාගන්නේ. උඹ කව්ද? සැරයන් විජේනායක ඇසුවේය.

මම උඹට කරදරයක් කරන්න නෙවෙයි ආවේ. පැත්තකට වෙලා ඉඳපන්. මම බඩු ටික අරගෙන යනකල් යැයි ඉසුරු කීවේය. 

ඊටපසුව ඉසුරු පිහිය පෙන්වා විජේනායක සාලය මැද දණ ගැස්සුවේය. එසේ දණ ගස්වා ඇඳ ඇතිරිල්ලක් ගෙන ඉසුරු විජේනායකගේ ඔළුවට දැමීමට උත්සාහ කළේය. ඒත් සමඟ විජේනායක ඉසුරුව බදාගනිමින් පහර පිට පහර දෙන්නට වුණේය. එකදිගට පහරදීම නිසා දැඩි ලෙස අසරණ වූ ඉසුරු සිය අතෙහි වූ පිහියෙන් විජේනායකට ඇන්නේය. ඇන මල්ලත් ගේ ඇතුළේ දමා යන්නට ගියේය. 

එළියට පැමිණි ඉසුරු ප්‍රථමයෙන් පැනයාමට ක්‍රමයක් බැලුවේය. ඒ අනුව මිදුලේ නවතා තිබූ යතුරු පැදිය දුටුවේය. යතුරු පැදියේ යතුර නොමැති වීම නිසා ඔහු ඩිෆෙණ්ඩර් රියෙහි වූ යතුරක් ගෙන යතුරු පැදිය පණගැන්වීමට උත්සාහ කළේය. එය හරි ගියේ නැත. ඉන්පසුව රථ ගාලත් සමඟ තිබූ ගොඩනැගිල්ලේ ඉහළ මාලයට ගියේය. එහි ගොස් එම කාමරය පරික්ෂා කළේය. එවිට විජේනායකගේ ඇඳුම් තිබුණේය. 

ඇඳුම් පරීක්ෂා කරන විට කලිසම් සාක්කුවක තිබී යතුර හමුවුණේය. එසේම විජේනායකගේ මුදල් පසුම්බියද සොයා ගත්තේය. ඒ දෙකම රැගෙන ඉසුරු පහළට ආවේය. ඉසුරු ඇඳුම් පරීක්ෂා කළ නිසා පොලිස් ඇඳුමේ සෑමතැනම ලේ තැවරී තිබුණේය. 

යතුර රැගෙන පැමිණි ඉසුරු යතුරු පැදියේ නැගී යන්නට ගියේය. අතුරු මාර්ග ඔස්සේ ඔහු ඇළක් අසලට පැමිණ ලේ සෝදා ගත්තේය. ලේ සෝදාගෙන ඔහු ප්‍රථමයෙන්ම ගියේ හිඟුරක්ගොඩ සිය නැන්දනියගේ නි‍ෙවසටය. එසේ ගිය ඉසුරු සිය ඥාති සොහොයුරියට සිද්ධිය කීවේය. එසේ කියා පිරිසුදු වී නැවත යතුරු පැදියෙන් පොළොන්නරුවේ ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යන වෛද්‍යවරයකු හමුවීමට ගියේය. එම වෛද්‍යවරයා ඉසුරුගේ මිත්‍රයාය. රුපියල් 300ක් දුන්පසු ඔහු විසින් බෙහෙත් තුණ්ඩුවක් ලියාදෙන අතර එම තුණ්ඩුව රැගෙන ෆාමසියට ගිය පසු අදාළ මත් පෙත්ත ලබාගැනීමට හැකිය. ඒ අනුව අසල වෛද්‍යවරයාගෙන් තුණ්ඩුවක් ලියාගෙන ඉසුරු ඒ අසල පිහිටි ෆාමසියෙන් මත් පෙති 15ක් ගත්තේය. ඉන් 05ක් එකවර බිවූ ඔහු නැවත හිඟුරක්ගොඩ නිෙවසට ගියේය. එසේ ගිය ඔහු රාත්‍රියේ යතුරු පැදියට කළ යුතු දේ ගැන කල්පනා කළේය. කරන්නට තිබෙන සරලම දේ තේරුම්ගත් ඉසුරු යතුරු පැදියත් රැගෙන රෑ 8.00 පමණ නිවසින් ආවේය. එසේ පැමිණ යතුරුපැදිය මින්නේරිය වැව ළඟට රැගෙන ගොස් මින්නේරිය වැවට තල්ලු කළේය. එසේම විජේනායක මහතාගේ මුදල් පසුම්බියෙන් මුදලුත් පොලිස් හැඳුනුම්පතත් ගෙන ඉතිරි සියල්ලද වැවට විසිකළේය. විසිකර දමා හිඟුරක්ගොඩට ත්‍රීරෝද රථයකින් පැමිණියේ සියලු දෙයින් නිදහස් වූ අයකු ලෙසිනි.

එසේ පැමිණි ඉසුරු ඊට පසුදින නිවස බලායාමට පිටත්ව ගියේය. ඒ සඳහා ඔහු බසයට නැග අතරමඟ දුරක් එනවිට අසල සිටි මුස්ලිම් අයකු සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පට නරඹමින් සිටින අයුරු දැකගත හැකි විය. වහාම ක්‍රියාත්මක වූ ඉසුරු ඝාතනය වූ විජේනායකගේ පොලිස් හැඳුනුම්පත එම පුද්ගලයාට පෙන්වීය.

මම බලාගෙන ආවේ තමුසේ කරපු දේවල්. ඉස්සරහින් බහිනවා. යමු පොලීසියට

එම වචනවලට එම පුද්ගලයා සැබවින්ම බිය විය. ඒ නිසා ඔහු කිහිප වතාවක් නොවදිනා වැඳුම් දෙමින් සමාව ඉල්ලුවේය. අවසානයේ සමාව ලබාදීමට ඉසුරු රුපියල් 2500ක් ලබාගත්තේය. ඒ අනුව එම මුදලත් රැගෙන ඉසුරු අනුරාධපුරයේ සිය මව වෙත ගියේ කිසිදු දෙයක් නොකළ පුද්ගලයකු ලෙසිනි.

දින කිහිපයක් ඉසුරු මුස්ලිම් පුද්ගලයාට සිදුකළ දේ වැනි සිද්ධි කිහිපයක්ද සිදුකළේය. ජංගම දුරකථන විකිණීමට සිටින පාසල් දරුවන් කැඳවා ඔවුන්ට පොලිස් හැඳුනුම්පත පෙන්වා මුදල් ලබාගත් අවස්ථා කිහිපයක්ද සිදුකර ඇති බව මෙහිදී හෙළි විය. කෙසේ වෙතත් පොලිස් හැඳුනුම්පත ගිනි තබා අළුකර තිබී ඇත. එසේම ලේ තැවරුණු ඇඳුම් සහ පිහිටි ඇළකට විසිකර දමා තිබිණි. අවසානයේ පොලීසිය ඔහු පසුපස පැමිණීම හේතුවෙන් ඔහුගේ සිම්පත විසිකර දමා සිය මවගේ සිම්පත භාවිතා කර ඇත. එහෙත් එයද හරි ගියේ නැත.

කෙසේ වෙතත් සැකකරුගේ පාපොච්චාරණයට අනුව ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා මෙම අපරාධයට මුල පිරුණු බව සඳහන් වේ. කෙසේ වෙතත් ඔහු පොලීසියෙන් කට්ටි පනින්න නොයෙකුත් උපක්‍රම භාවිත කර අවසානයේ පොලීසියට කොටුවූයේ තාක්ෂණයේ ප්‍රතිඵල නිසාය.

මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අධ්‍යක්ෂ සඳුන් නාගහමුල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි කලණසිරි ගීතාල් යන අයගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඇල්ලෙපොල, උප පොලිස් පරික්ෂක මනතුංග 2603 මැදගම, 10703 විජේකෝන්, 60380 බණ්ඩාර, 61231 තුසිත, 86099 අමිල, 89207 අධිකාරි, රියැදුරුවරුන් වන 27116 බණ්ඩාර, 1768 අමිත් යන අය විසින් සිදුකළහ.

♦ ගයාන් ගාල්ලගේ