2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

උතුර - නැගෙනහිර කරකුට්ටං; කන්න බොන්නත් නෑ

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2

ශ්‍රී ලංකාව තුළ දස ලක්ෂයකට ආසන්න පිරිසක්, එනම් සෑම විසිදෙනකුගෙන් එක් අයෙක් දරුණු ඉඩෝරටේ වින්දිතයන් බවට පත්ව සිටියි. යාපනය, මඩකලපුව, මන්නාරම, කිලිනොච්චිය සහ අනුරාධපුර වැසියෝ වඩාත්ම දරුණු නියඟයකට මුහුණ පා සිටිති. ඒ ඇතුළු දිස්ත්‍රික්ක දහඅටක් මෙම නියං තත්ත්වයට මුහුණ දී සිටින්නේ කාලයක සිටය.

මෙම පළාත්වල ජීවත් වෙන ගොවි ජනතාව ඉතා දරුණු ආහාර අහේනියකින් පීඩා විඳිති. කන්න ගණනාවක් තිස්සේම අස්වනු නොලැබී යාමෙන් මෙම පළාත්වල පදිංචිකරුවන්ට අවශ්‍ය ආදායම් නැත. ජලය සහ ආහාර හිඟයක් ද පවතී. ඒ අතරේ පැතිරී යන ලෙඩ රෝගවලට ද ඔවුහු ගොදුරු වෙමින් සිටිති.

කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සරත් පියතිලක ප්‍රකාශ කරනුයේ ගෝලීය උණුසම වැඩිවීම නිසා කාලගුණය ප්‍රබල වෙනස්කම්වලට මුහුණ දී ඇති බවත් නියඟ මෙන්ම තද වැසි පැවතීමට ඉඩ ඇති බවත්ය. මෙම තත්ත්වය ඇතැම් විට දරුණු වැසි ඇතිකරවන තත්ත්වයක් දක්වා පරිවර්තනය විය හැකි බවද ඔහු සඳහන් කරයි.

මෙය සන්සන්දනාත්මකව ගත් කල ලංකාවේ එක් පැත්තක දරුණු ලෙස නියඟයක් පවතිද්දී ලෝකයේ තවත් රටවල්වල දරුණු සුලි කුණාටු මඟින් ඇතිවන විනාශකාරී ගං වතුර තත්ත්වයක් ඇතිව තිබේ. අමෙරිකාවේ කැරොලිනා ප්‍රාන්තයේ සිදු වූයේ එම තත්ත්වයයි.

ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එස්. අමරානන්දන් මෙතෙක් මෙම නියඟයෙන් පවුල් 267,779ක 966,779ක පිරිසක් බැට කන බව ප්‍රකාශ කරයි. මෙම නියඟය බලපානු ලබන ප්‍රදේශවලට ජල ටැංකි හා ජල බවුසර් මඟින් පානීය ජලය සඳහා නොකඩවා ලබා දෙන බවද ඔහු සඳහන් කරයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරන්නේ රජය මඟින් රුපියල් මිලියන හයසීයක් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීමට, වෙන්කර ඇති බවය. කෙසේ වුවත් ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර සඳහන් කර ඇත්තේ රුපියල් බිලියන දෙකක් නියඟයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය. එමෙන්ම ආරක්ෂක හමුදාව හා පොලීසිය සහන කටයුතු සඳහා යොදවා තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඇති වූ සාකච්ඡාවකින් අනතුරුවය. මෙම එකිනෙකට පරස්පර නිවේදනවලින් පෙන්නුම් කරන්නේ හදිසි ආපදා සහන සම්බන්ධව නිසි සම්බන්ධිකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවයි.

දරුණු නියං තත්ත්වය හේතුවෙන් යාපනය, කිලිනොච්චිය හා මන්නාරම 100,000 අධික පිරිසක් පීඩා විඳිති. ආපදා කළමනාකරණ අමාත්‍යංශය පසුගිය 22 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව කිලිනොච්චියේ පවුල් 34,000ක 112,188ක් ද යාපනයේ පවුල් 30,421ක 110,170ක් ද, මන්නාරම පවුල් 29,421ක 102,163ක් ද පීඩාවට පත්ව සිටිති. මේ අනුව උතුරු පළාත්වල පමණක් පවුල් 104,257ක 360,303ක ජනතාවක් මෙම නියඟයෙන් විපතට පත්ව සිටිති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 32,409ක 105,676ක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 20,000ක 66,256ක ජනතාවක් ද මෙම නියඟයෙන් අධික ලෙස පීඩාවට පත්වී සිටින බව වාර්තා වෙයි.

නියඟයට බලපා ඇති දිස්ත්‍රික්කවල ජීවත්වන පවුල් 206,038කට පමණ පානීය ජලය බෙදා හරිනා බව ආපදා කළමනාකරණ සහන සේවා මධ්‍යස්ථානයේ නිල වාර්තාව සඳහන් කරයි.

ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අමරානන්දන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුට තවමත් නිශ්චිත වාර්තාවක් ලැබී නොලැබ ඇති බවත් එම වාර්තාව ලැබුණු වහාම කෘෂිකර්ම අමාත්‍යංශය හරහා පීඩාවට පත් ජනතාවට සහන සේවා යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

යාපනය දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එස්. රවී දන්වා සිටින්නේ කයිට්ස්, කරෙයිනගර්, කච්චතිව් සහ ඩෙල්ෆ්වලින් දරුණු නියං තත්ත්වයන් වාර්තා වී ඇති බවය. මෙම ජනතාවටත් ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ අවශ්‍ය ප්‍රමාණයට පානීය ජලය ලබා දීමට නොහැකි වීමය. කෙසේ වුවද ඊසාන දිග මෝසම් වැසි ලැබුණු විට ඒ තත්ත්වය මඟහැරී යනු ඇතැයි ඔහු සඳහන් කරයි.

මන්නාරම බටහිර ප්‍රදේශයේ ද දරුණු නියං තත්ත්වයක් පවතී. එහි ගොවිතැන් කරනා ප්‍රදේශවල වතුර කඳුළක් හෝ නොලැබීම හේතුවෙන් මුළු පොළවම ඉරි තැලී ගොස් ඇත.

මන්නාරම් දිස්ත්‍රික්කයේ පවුල් 29,000ක 102,163 ජනතාව මෙම නියඟයෙන් අධික ලෙස පීඩා විඳින බව මන්නාරම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කේ. තිලීපන් ප්‍රකාශ කරයි. මෙම පළාත්වල ජීවත්වන බොහෝමයක් ජනතාවගේ එදිනෙදා කටයුතු පසුගිය මාස දෙක ඇතුළත අඩපණ වී ඇත. වැව් සිඳී ගොස් ඇති හෙයින් පළාතේ ගොවීන් මහ කන්නයේ බලාපොරොත්තු අත්හැර දමා ඇත.

සත්ව ගොවිතැන් කරනා ජනතාව ද මෙම තත්ත්වයන්ට දරුණුවට මුහුණ දී සිටිති. පවතින පීඩාකාරී තත්ත්වය නිසා ගවයින් බොහෝ සේ මිය යමින් සිටිති. මේ හේතුවෙන් පශු සම්පත් ගොවියන්ගේ ආර්ථිකය ද දැඩි ලෙස බිඳ වැටී තිබේ.

මෙවර දිස්ත්‍රික් බොහෝමයකට එක දිගට මුහුණ පෑමට සිදුවූ මෙම නියං තත්ත්වය මින් පෙර සිදුවූ නියං තත්ත්වයට වඩා දරුණු ලෙස ජනතාව අනතුරේ හෙළා තිබේ.

Sunday Times හි පළ වූ ලිපියක් ඇසුරෙනි
දිශානි ජයමාලි කරුණාරත්න