2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ලෝක සමුළුවේදීත් ඩොනල්ඩ් ට්‍රම්ප් විගඩම් නටයි

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රුහානි එකිනෙකා තම තමන් සරදමට ලක්කර ගැනීම් හමුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට කළ තර්ජනය හමුවේ ඉරාන ජනාධිපතිවරයා, ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති මැට්ටකු බව ප්‍රකාශ කළේය. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කළ කතාවේ වැඩි කාලයක් වෙන්කළේ ඉරානය න්‍යෂ්ටික බලය වර්ධනය කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කිරීමට පියවර ගන්නා බව කීමටය.

ඉරාන නායකයන් දේශසීමා හෝ සිය අසල්වැසි රාජ්‍යයන් හෝ ස්වාධීන රාජ්‍යයක අයිතිවාසිකම් පිළිබඳව නොතකන බවටද ජනපති ට්‍රම්ප් චෝදනා කළේය. අමෙරිකානු ජනාධිපතිවරයා සිය කතාව තුළ අමෙරිකාවට ප්‍රමුඛස්ථානය ලබාදීමේ ප්‍රතිපත්තිය ද ඉස්මතු කළ අතර ඊට ලෝක නායකයන්ගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි.

ධූරයට පත්ව වසර දෙකකට අඩු කාලයකදී තමන් මීට පෙර කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයකු අත්කර නොගත් සාර්ථකත්වයක් අත්කරගත් බවට පුරසාරම් කියූ අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ සිනහවටද ලක්විය. ලෝක නායකයන්ගෙන් ලද එම ප්‍රතිචාරය හමුවේ වික්ෂිප්ත භාවයට පත්වූ ජනපති ට්‍රම්ප් පැවසුවේ, තමන් එවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා නොකළ බවය.

මේ අතර ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන් අමතා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර තරයේ විවේචනය කළේය. ජනපති ට්‍රම්ප් සමඟ ඡායාරෑපයකට පෙනී සිටීමට අවශ්‍ය නැති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා, ගෝලීය ආයතනවලින් ඈත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා දරන උත්සාහය ඔහුගේ පෞරුෂත්වයේ අඩුපාඩුවක් බවද පෙන්වා දුන්නේය. ඒ එය ශක්තිමත් බවේ සංකේතයක් නොව සංකීර්ණ, එකිනෙකට සම්බන්ධ ලෝකය තේරැම් ගැනීමට ජනපති ට්‍රම්ප්ගේ නොහැකියාව පෙන්නුම් කරන බව පවසමිනි.