2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

නුවරඑළියේ 12 දෙනාගේ ඇස් රතු කළ බෙහෙත

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

ලෝකයේ දියුණුයැයි සම්මත රටවල් ගණනාවකම නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැත. ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීම සඳහා ද පරීක්ෂණ පැවැත්වීම සඳහා ද අධික මුදලක් අයකරනු ලැබේ. එම රටවල පවතින යම් සහනයක් වන්නේ සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වීමය. ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. රක්ෂණයක් නැති පුද්ගලයන්ට හෝ මුදල් නැති අයට එම රටවල රෝහල් විවෘත නොවේ. අපේ රටේ පවතින නිදහස් සෞඛ්‍ය සේවයට පින් සිදුවන්නට අතේ සත පහක් නැති රෝගියාටද රෝහලකට ඇතුළත් විය හැකිය. අවශ්‍ය ප්‍රතිකාරද ලබාගත හැකිය. එහෙයින් අප රටෙහි දුගීභාවයෙන් පෙළෙන බොහෝ දෙනකු රජයේ රෝහල්වල සිටින වෛද්‍යවරුන්ට සලකන්නේ මිහිපිට දෙවිවරුන් ලෙසටය. ඕනෑම රෝගයකට බෙහෙත් කරන වෙදැඳුන් දෙවි කෙනකු ලෙස සැලකුවාට එහි වරදක් නොවේ.

නුවරඑළිය මහ රෝහල අප රටේ ප්‍රධාන රෝහලකි. සියලුම රෝගවල සිට හදිසි අනතුරු දක්වාම එම දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම රෝහලෙන් සැපයෙන්නේ අතිමහත් සේවාවකි. සෑම දිනකම අලුයම් කාලයේ සිට බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මෙම රෝහලෙහි  අක්ෂි රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ද විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ. එමගින්ද ප්‍රදේශයේ ජනතාවට සැලසෙන්නේ මහඟු සේවයක් බව කිවයුතු නොවේ.

වසර ගණනක් මුළුල්ලේ නුවරඑළිය ප්‍රදේශය අවට බොහෝ ජනතාවගේ ඇස් පරීක්ෂා කර නියමිත ඖෂධ මාත්‍රාවන් ලබාදුන් නුවරඑළිය රෝහලෙන් පසුගියදා අසන්නට ලැබුණේ ඇස් රතුවන ආරංචියකි. එය රෝගීන්ට මෙන්ම රටේ ජනතාවටද එතරම් සුබදායී පුවතක් නොවේ. එනම් නුවරඑළිය මහ රෝහලෙන් ලබාදුන් එන්නතක් විසවීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් 12 දෙනකුගේ ඇස්වල සංකූලතාවයක් ඇතිවූ බවකි.

පසුගිය 17 වැනිදා නුවරඑළිය මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් 55 දෙනෙක් අතරින් 12 දෙනකුට පමණක් මෙම සංකූලතාවය මතුවී තිබේ. රෝහල් ආරංචි මාර්ගවලට අනුව සියලු රෝගීන් හට එන්නත් දෙකක් ලබාදී ඇති අතර එම එන්නත විසවීමෙන් මෙලෙස ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් 12 දෙනකු හට මෙම සංකූලතා මතුවී තිබේ. ඇසෙහි දැවිල්ල, ඇස් රතුවීම, කඳුළු ගැලීම, ඇස් පෙනීම අඩුවී යාම වැනි රෝග ලක්ෂණ මෙම රෝගීන් වෙතින් පෙන්නුම් කර තිබෙන අතර රෝහල් කාර්ය මණ්ඩලය විසින් මොවුනට ප්‍රතිකාර ලබාදීම එම අවස්ථාවේදීම අරඹා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධව දේශයේ අප නුවරඑළිය මහ රෝහලෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු මෙලෙසින් අදහස් පළ කළේය.

“පසුගිය 17 වැනිදා සුපුරුදු ලෙස අපේ අක්ෂි පරීක්ෂාවට රෝගීන් පැමිණ සිටියා. අපි සුපුරුදු ලෙස ඒ අයට ප්‍රතිකාර කරමින් සිටින විට තමයි මෙම ප්‍රශ්නය මතුවුණේ. එහි එන්නතක් විසවෙන්න ඇති කියලා තමයි අපිත් විශ්වාස කරන්නෙ. රෝහල් කාර්ය මණ්ඩලය එම රෝගීන් 12 දෙනාට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. මේ වනවිට ඔවුන්ගේ තත්ත්වය සුළු අතට හැරෙමින් පවතිනවා. මෙම ප්‍රතිකාරවල වෙනසක් සිදුකළේ නැහැ. පෙර ප්‍රතිකාර සිදුකරන ආකාරයටම තමයි ප්‍රතිකාර කටයුතු කරනු ලැබුවේ. කොහොම වුණත් මේ සම්බන්ධව වාර්තාවක් ලබාගන්න කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත අපි යොමු කළා. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඒ වාර්තාව ලැබුණට පස්සෙ තමයි කියන්න පුළුවන් වෙන්නෙ.”

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට ඇතිවූ මෙම සංකූලතා තත්ත්වය ගැන විමර්ශනයක් සිදුකරන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද උපදෙස් ලබාදී තිබේ. මෙම තත්ත්වය යටතේ ප්‍රදේශයේ ජනතාව පසුගියදා පැවති අක්ෂි සායනයට පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණු බව රෝහල් ආරංචි මාර්ග කියයි.

රෝගීන් ගැන කතා කරන බලධාරීන් මෙන්ම සංගම්ද නුවරඑළියේ සිදුවූ මෙම සිදුවීම පිළිබඳ මුනිවත රැකීම පුදුමයට කරුණකි. රටේ අහිංසක දුප්පත් ජනතාවට වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවන මෙවැනි සිදුවීම් ගැන කිසිවකුත් හඬක් නඟන්නේ නැත. එමෙන්ම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ව්‍යාපාර ගෙනයන්නේද නැත.

♦ හසිත් අංජන