
පොලිස් ඉතිහාසයේ මෙතරම් කතාබහට ලක්වූ කාලයක් නැත. පොලිස්පතිවරයාට හතර වටෙන්ම විරෝධතාය. ඔහුව බේරගන්නට ආණ්ඩුවේ දෙතුන් දෙනෙක් පෙනී සිටියත් බහුතරයකගෙන් ඔහුට බැණුම්ය. ඒ නිසාම පොලිස්පතිවරයාට ඉවත්වී යන ලෙසට සිදු කෙරෙන යෝජනා දැන් දැන් ප්‍රසිද්ධියේ අසන්නට සිදුව ඇත. එහෙත් ඒ සියල්ලටම නොසැලී මුහුණ දෙමින් පොලිස්පතිවරයා තවමත් සිට තනතුරේ සේවය කරයි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එසේ සිදුවනවිට අද වනවිට සමස්ත පොලීසිය සම්බන්ධයෙන් ජනතාව කතාකරන තත්ත්වයක් උද්ගතවී ඇත. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා විසින් සිදුකරන්නට සුදානම් වූ යැයි චෝදනා කෙරෙන ඝාතන කුමන්ත්‍රණය නිසාය. දැන් දැන් මේ කතාව වෙනස්ම පැත්‍තකට තල්ලුවෙමින් තිබෙන්නේ කාටත් සිතා ගැනීමට නොහැකි වන ලෙසය. ඒ නිසාම විපක්ෂයේ අය මෙය ආණ්ඩුවේ වැඩක් ලෙස පෙන්නති. ආණ්ඩුවේ අය මෙය විපක්ෂයේ අයගේ වැඩක් ලෙස පෙන්නති. කිසිවකුට මෙහි බරපතළකම ගැන හැඟීමක් නැත. මෙය සාමාන්‍ය දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත.
කෙසේ වෙතත් මේ වනවිට පොලිස් ඔත්තුකරුවකු යැයි කියන නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති අතර හුවමාරු වූ හඬපටය රජයේ රස පරීක්ෂවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරි පරීක්ෂණ ඔවුන් විසින් සිදුකරගෙන යනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව මේ හඬවල් සැබෑවටම ඔවුන්ගේද යන්න සොයා බැලීමටය. මේ නිසා පසුගියදා නියෝජ්‍ය පොලිස්පති නාලකත් පොලිස් ඔත්තුකරැ නාමලුත් රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත ගියෝය. ඒ අදාළ පරික්ෂණවලට සාක්ෂි ලෙසය.
කෙසේ වෙතත් මේ පරීක්ෂණ සිදුකරණ අතරවාරයේදී රහස් පොලීසියට තවත් සාක්ෂියක් ලැබිණි. එය නියෝජ්‍ය පොලිස්පතිවරයා රුකියාව කරමින් සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ තිබී සොයා ගැනීමට හැකිවිය. ඒ සැහැල්ලු මැෂින් තුවක්කු (එල්.එම්.ජී) දෙකකි. මෙම තුවක්කු දෙක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලැබී තිබීම රහස් පොලීසියට ගැටලුවක් විය. එනම් එම කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා මැෂින් තුවක්කු භාවිත නොකිරීමය. පුදුමය නම් එම අවි පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය රාජකාරිවලට පවා භාවිත කිරීම යුද්ධයෙන් පසුව අතහැර දමා තිබීමය. දැනට එම ගිනි අවි විශේෂ කාර්ය බළකාය පමණක් භාවිත කරන අතර එයද පුහුණුවීම්වලට පමණක් යැයි සඳහන් වේ.
එසේ නම් කිසිදු අවශ්‍යතාවයක් නැති එල්.එම්.ජී අවි දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨශයට ලබා දුන්නේ කවුද? පැහැදිලිවම එය පොලිස්පතිගේ අවසරයකින් තොරව ලබාදිය නොහැකි අවියකි. එසේ නම් කිසිදු අවශ්‍යතාවයක් නැති ගිනි අවියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදීම සැක සහිතය. කෙසේ වෙතත් මේ පරීක්ෂණ අතරතුර නාමල් කුමාර සොයාගෙන ඉන්දියානු ජාතිකයකු පැමිණියේ ඔහුගේ නිවසටය. ඒ පැමිණි පුද්ගලයා පවසා සිටියේ තමන් ඉන්දියානු ජාතිකයෙක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයට මරණීය තර්ජන ඇති බවට තමන්ට තොරතුරැ ලැබී ඇති බවත්ය. පසුව නාමල් මේ ඉන්දියානු ජාතිකයා කෙරෙහි සැක සිතී රහස් පොලීසියට ඒ පිළිබඳව දැනුම් දුන්නේය. පසුව රහස් පොලීසිය එම ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා කී කතාවත් සමඟ මේ කතාව සම්පූර්ණයෙන් කනපිට හැරවිණි. එනම් හිටපු ජනාධිපතිවරයා ඝාතනය කරන කුමන්ත්‍රණයක් ඇති බවට කළ ප්‍රකාශය හේතුවෙන් වෙනත් මාතෘකාවක් ඒ හරහා ඉස්මතු විය. මේ නිසා එම ඉන්දීය ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කරන්නට විය. එහිදී සැකකරුගේ විස්තර ඉන්දියාවේ මහකොමසාරිස් කාර්යාලය විසින් සොයා බැලූ අතර එකී තොරතුරුවලට අනුව සැකකරු මානසික ලෙඩකු බව දැනුම් දී තිබිණි.
මෙම සැකකරු මීට වසර කිහිපයකට පෙර රිය අනතුරකින් තුවාල ලබා ඇති අතර මේ හේතුවෙන් ඔහු බරපතළ මානසික රෝගයකින් පෙළෙන බව තානාපති කාර්යාලය හරහා දැනුම් දෙනු ලැබීය. කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ පරීක්ෂණ මේ නිසා අත් නොහරින බවය. මේ පිළිබඳ සත්‍ය සෙවීම තවදුරටත් සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කළේය. මේ වනවිට සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.
මේ අතර මෙම පරීක්ෂණය කරන අතරවාරයේදි තවත් සිද්ධියක් එළියට ආවේය. ඒ ත්‍රස්ත විමර්ශනය භාරයේ තිබූ ස්නයිපර් අවියක් අතුරුදන් වීමය. මෙම අවිය මීට මාස කිහිපයකට පෙර ඔඩ්ඩුසුඩාන්හීදී ක්ලේමෝ බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුගේ තොරතුරු අනුව සොයාගත් අවියක් විය. කෙසේ වෙතත් එම අවිය මේ වනවිට අතුරුදන් වී ඇත. එම අවියෙක් කිලෝමීටරයක දුරකට වෙඩි තැබිය හැකි බව සඳහන් වේ. එහෙත් එම අවියට සිදුවූ දෙයක් නැත. එසේ නම් මෙම අවිය ඇත්තේ කොහේද? එය අතුරුදන් කළේ කවුද? අතුරැදන් කළේ කුමකටද? යන්න ගැටලුවක් වී ඇත.
කෙසේ වෙතත් මෙම අවිය අතුරුදන්වීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදුකිරීමට රහස් පොලීසිය තීන්දු කර ඇත. මෙම පරීක්ෂණය එන්න එන්න පුළුල් වෙමින් පවතින අතර ලැබෙන තොරතුරුද සාක්ෂිද එන්න එන්න ඉහළ ගොස් ඇත. එහෙත් පුදුමය නම් මේ නිලධාරියා තවමත් අත්අඩංගුවට නොගැනීමය. ඔහු යටතේ තිබූ ආයුධ පවා අතුරුදන් වී තිබියදි ඔහු නිදැල්ලේ සිටීම පුදුම සහගතය.
සාමාන්‍ය පුද්ගලයකු සමඟ මෙවැනි සංවාදයක් ඇසුනා නම් ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ඇත. එසේ කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන්ගේ කට හඬවල් පරීක්ෂා කරනු ඇත. එහෙත් මොහු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නිසාදෝ පරීක්ෂණ කණ්ඩායම් තවමත් චෝදනා එල්ලවන නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් එකදු ප්‍රකාශයක් හෝ ලබාගෙන නැත.
කෙසේ වෙතත් මේ කතාව අතරමැද සිදුවූ ඉන්දියානු ජාතිකයාගේ ආගමනය යම් ආකාරයක සැකයක් මතුකරන දෙයක් බව පොලීසිට පවසයි. එම ඉන්දියානු ජාතිකයා මානසික ලෙඩෙක් නම් ඔහු නාමල් කුමාර සොයා ගත්තේ කෙසේද? එපමණක් නොව රටක් කැළඹූ සිද්ධියක් ගැන පමණක් බොරැ කියයිද? එසේත් නැතිනම් මොහු මෙම පරීක්ෂණය යට ගැසීම සඳහා පැමිණි අයෙක්ද? ප්‍රශ්න ගොඩකි. එහෙත් තවම උත්තර නැත..
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රහස් පොලිස් නිලධාරියකු පැවසුවේ මේ සිද්ධිය හිතනවාට වඩා සංකීර්ණ සිද්ධියක් වන බවය. එසේම පොලිස් මූලස්ථානයේ ජ්‍යේෂ්ඨයකු පැවසුවේ ඊළඟ නඩු වාරයේදී මේ කතාවේ ඇත්ත හෙළිවන බවය.
කෙසේ වෙතත් මේ වනවිට නාමල් කුමාර විසින් තවත් හඬ පටයක් රහස් පොලීසියට ලබාදී ඇත.එම හඬ පටය තුළද ඇත්තේ නාලක සිල්වාගේ දෙබසක් බව සඳහනේ වේ. ඒ නිසා එයද ඇත්තේ මේ වනවිට රහස් පොලීසියේය. මේ කතාවේ ඇත්ත නැත්ත නොබෝ දුරකදී හෙළිවනු ඇත. එහිදී ඇතැම් අය මේ සිද්ධියේ පාර්ශ්වකරුවන් වෙනු ඇත. එදාට මෙහි සත්‍ය එළියට එනු ඇත.
ගයාන් ගාල්ලගේ