රටේ තාරුණ්‍යයේ සිතුම් පැතුම් හැසිරීම් මායාකරුවන් අනාගතය දකින වීදුරු බෝලයක් වැනිය. අප එසේ කියන්නේ අද තරුණ පරපුර හෙට වැඩිහිටි පරපුර වන නිසාවෙනි. අද තරුණ සිතුම් පැතුම් හැසිරීම්වල යම් ශේෂයක් අනාගතේ ඔවුන් පරිනත වනදාක ඔවුන් තුළ ඉතිරි වේ. එනිසාවෙන් අද තරුණ පරපුර ගැන යම් කියවා ගැනීමක් තිබීම වටී.
කලින් කලට එන රැලි මෙන්ම ට්‍රෙන්ඩ් ලෝකය තුළ නිර්මාණය වන්නේ තාරුණ්‍යය ඉල්ලක කර ගනිමිණි. එවන් දෑ නිර්මාණයවීම පිටුපස ඇති ඉතිහාස කතාව සියවස් ගණනාවක් දුරට දිව යයි. එය වෙනම කතාවකි. කෙසේ වෙතත් ගෙවුණු දශක දෙක තුළ සිදුවූ තාක්ෂණික පරිවර්තනයත් සමඟද තාරුණ්‍යයේ හැසිරීම් රටාව වෙනස් වුණි. ඒ අනුව වර්තමාන රැලි හා එහි සාධනීය නිශේධනීය බලපෑම් තිබේ. එයින් කිහිපයක් අප මේ සටහනින් සාකච්ඡා කරමු.
තාරුණ්‍යයේ සමාජ ජාල භාවිතය මෙහිදී පළමුව කාගෙත් අවධානය දිනාගන්නා මාතෘකාවයි. සමාජ ජාල මාධ්‍ය ජනගතවීම ඇරඹුණේ පසුගිය දශකය තුළය. තාරුණ්‍ය මෙම සමාජ ජාල පරිශීලනයේ අංක එක බවට පත්විය. ලොවපුරා ඉතා කෙටිකාලයක් තුළ විවිධ රැලි නිර්මාණය වීමට හේතුව සමාජ ජාලයි. ඇතිව ඇති රැලි එකින් එක ගෙන ඒවා හා සමාජජාල අතර පවතින සම්බන්ධ ගොනුකොට සාකච්ඡා කරමු.
ඒ අනුව සංචාරක හෙවත් ට්‍රැවලින් යනු නූතන තාරුණ්‍යයේ නව ප්‍රවණතාවකි. සංචාරය කිරීමේ මිනිස් ආශාව මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම තිබූවකි. එහෙත් එය ට්‍රෙන්ඩ් එකක් බවට පත්වන්නේ නූතනයේදීය. ලෝකය තුළ මෙය කාලාන්තරයක් තිබුණද ලංකාව තුළ සංචාරය වන්දනා ගමනකට පමණක් සීමාවිය. නමුත් අද වනවිට කුඩා කණ්ඩායම් ලෙසින් ලාංකික තාරුණ්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරයි. එය නිසි අයුරින් පරිසර හිතකාමී ලෙස කරන්නේ නම් මෙම නව රැල්ලේ වරදක් නැත. එහෙත් ට්‍රැවලින් රැල්ලෙන් වටිනා පරිසර පද්ධතිය විනාශ වී ඇති බව කිව යුතුය. පිදුරංගල සිදුවීමද මෙම රැල්ලේ ප්‍රතිඵලයකි. ලෝකය තුළ උස් ස්ථානවලට ගොස් එවන් ජායාරූප ගැනීමේ රැල්ලක් තිබේ. Instergram වැනි සමාජ ජාලවල එවන් ජායාරූප දැකගත හැකිය. කෙසේ වෙතත් මෙම රැල්ල සාධනීය ලෙස භාවිතා කිරීමටත් තාරුණ්‍යට අවස්ථාවක් තිබිය යුතු බව කිවයුත්තකි.
සමාජ ජාල සහාය ඇතිව මත්රැල්ලට තාරුණ්‍යය නතු වූ ආකාරය පිළිබඳව දැන් අවධානය යොමුකරමු. සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ, අනුග්‍රහය ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය කංසාය. කංසා පිළිබඳව හා එහි භාවිතය පිළිබඳව ලෝක මට්ටමෙන් Face book සහ Instergram වැනි මාධ්‍යය තුළ ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ලංකාව තුළද අද වනවිට කංසා නීති ගතකරන ලෙස, සමාජ ජාල ඔස්සේ යම් හඬක් නැගෙමින් පවතී. මෙය තුළ පුළුල් සංවාදයක් වන බව සැබෑවකි. නමුත් කංසා ප්‍රසිද්ධියේ නිශේධනීය බලපෑමට ලක්වන්නේ නව යොවුන් සමාජ ජාල පරිශීලකයන්ය. ඔවුන් තුළ කංසා භාවිතයට තිබෙන බිය හීනවෙමින් පවතී. ඇල්ම වැඩිවේ. ඒ හරහා පරපුරක විනාශයක් මේ මොහොතේ දී ද සිදුවෙමින් පවතී. ඊළඟට කෘත්‍රිම පෙති වර්ග ස්ටෑම් වැනි නූතන මත්ද්‍රව්‍ය භාවිතය තාරුණ්‍ය නතුවීමේ රැල්ලයි. Face book පාටි නමින් හැඳින්වෙන නව සංකල්ප මෙහි මූලික අඩිතාලම වී තිබේ. තාරුණ්‍යයේ වචනවලින්ම මෙම භාවිතය පාටි ලයිෆ් ලෙස හඳුන්වයි. දිවයිනේ තැන තැන පවතින සාදයන් පිළිබඳව මාධ්‍ය අනාවරණය කොතෙකුත් තිබුණ එහි අක්මුල් කිසිවෙක් නොසොයති. යුරෝපයේ හා ඇමරිකාව කේන්ද්‍රය කරගෙන මෙම සංකල්පය 70 දශකයේ සිට ක්‍රමයෙන් වර්ධනය වී පැමිණ තිබේ. දැන් මෙය ලෝක ව්‍යාප්ත තරුණ උප සංස්කෘතියකි. අද වනවිට පාටි ලයිෆ් ගතකරන තාරුණ්‍යයේ සිහිනය ලොව විශාලතම එළිමහන් සාදයක් වන ටුමාරෝ ලෑන්ඩ් වැනි පාටියකට සහභාගී වීමයි. මෙහි ප්‍රචාරක මාධ්‍යය සමාජ ජාලයි මෙම රැල්ල අතිශය විනාශකාරීය. එමෙන්ම තාරුණ්‍යය ඉතා සීඝ්‍රයෙන් නතුවූ රැල්ලක් ලෙසද මෙය ලෙස හැඳින්විය හැකිය.
තාරුණ්‍යයේ නූතන ප්‍රේමයේ ස්වාභාවය හා එහි නව ප්‍රවණතා දැනගැනීමද වටී. ලෝකයේ අද වනවිට තාරුණ්‍යය ප්‍රේමයට වඩා ඉඩකඩදී ඇත්තේ ලිංගිකත්වයටයි. තරුණයකු හා තරුණියක හමුවී ඇතිවන ආකර්ෂණය තුළින් ලිංගිකව හැසිරීමට ආරාධනය සිදුකිරීම අද බටහිර සාමාන්‍යකරණය වී තිබේ. එහෙත් සංස්කෘතික සමාජයක් වන ශ්‍රී ලංකාව තුළ එම රැල්ල එලෙසින් සමාජගත වී නැත. යම් යම් සීමාවලට යටත්ව නාගරිකව මෙම ලක්ෂණ දක්නට තිබේ.
ඒ නමුත් කාමරැල්ලට මෙරට තාරුණ්‍යය නතුව තිබේ. ඇමරිකානු නිල් සිනමා නළු නිළියන් ලාංකීය තාරුණ්‍යය අතර ජනප්‍රියව සිටින බව සමාජ ජාල අධ්‍යනයෙන් අවබෝධ වෙයි. එමෙන්ම ප්‍රේමයට ඇති වටිනාකම ක්‍රමිකව හීනවීම අද තාරුණ්‍යය මුහුණුපාන ඛේදනීය ඉරණමකි. මෙරට සංස්කෘතික ගති ලක්ෂණ හේතුවෙන් බටහිර ලිංගික සංස්කෘතියේ ආභාෂය මෙරට තාරුණ්‍යයට ලබා ගැනීමට නොහැකි වීමෙන් යම් පීඩනයක්ද නිර්මාණය වී තිබේ. එම පීඩනය විටෙක කාම අපරාධ ලෙසද මතුවෙයි.
අන්තර්ජාල ගනුදෙනුවල කෙළ පැමිණියේ නූතන තරුණ පරපුරය. තමන්ට අවශය දෑ E-Bay වැනි වෙබ්අඩවි හරහා ගෙන්වා ගැනීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මෙය අයහපත් රැල්ලක් නොවේ. මෙම ප්‍රවනතාව තාක්ෂණයේ දියුණුවට සමගාමීව ලාංකීය තාරුණ්‍යයේ වෙනස්වීමට නිදසුනකි.
නිර්මාණකරණය හා කලාව විෂයෙහි ඇති වූ රුලි ට්‍රෙන්ඩ් පිළිබඳව ඊළඟට අපි අවධානයට යොමුකරමු. නව කලා අංග නූතනයේ දී තාරුණ්‍යය නිර්මාණය කරගෙන තිබේ. එමෙන්ම නිර්මාණකරණයේ දී වාණිජත්වය ගුරුකොට ගැනීම නවතම ප්‍රවණතාවයි. Youtube Chanel මීට කදිම උදාහරණයකි. අපේක්ෂාව වීව්ස් හෙවත් නැරඹුම් වාරය. සදාචාරය හෝ සභ්‍යත්වය අදාළ නොවේ. වාරණයක් නැත. එමෙන්ම කුණුහරුප හෝ රැප් එකක් ලෙස ගීයක් ලෙස කලඑළි බසියි. පසුගිය කාලයේ රැප් කල්ලි අතර කුණුහරුප රැප් සංග්‍රාමයක් තිබිණි. එය ප්‍රසිද්ධියට පත්විය. තාරුණ්‍යය ඒ සඳහා ආශක්ත විය. එම හඬපටවලට රංගනයක් එක්කරන ඇප් නිර්මාණය වී තිබේ. එය තාරුණ්‍යයේ නවතම රැල්ලකි. මෙවන් දෑ අතර කලාවේ සාධණීය නිර්මාණකරණයන් ද සමාජ ජාල තුළ වෙයි. මුහුණු පොතේ කවීන්, විචාරකයින්, මොබයිල් ජායාරූපකරණය එයින් කිහිපයකි. මේවාද ට්‍රෙන්ඩ්ය. මෙසේ ඉදිරිපත් කරනු ලැබුවේ නූතන තාරුණ්‍යය මුහුණදෙන රැලිවලින් කිහිපයක් පමණි. පරිගණක ක්‍රීඩා, ටැටූ වැනි තවත් බොහොමයක් මේ සමඟ විග්‍රහ කළ හැකිය.
මීළඟට රැලිවලට නතුවන තාරුණ්‍යයේ ලක්ෂණ කිහිපයක් අප සාකච්ඡා කරමු. නූතන තාරුණ්‍යය ඉතා කෙටි කාලයක් තුළ මාතෘකාවට ලක්කරන යම් යම් දේ වේගයෙන් අමතක කර දැමීම එක් ලක්ෂයකි. සමාජ ජාලවල එක රැයකින් තරු නිර්මාණය වූයේ මේ අනුවය. සමාජ ජාල ඇබ්බැහිවීම තවත් පසකින් මානසික රෝගයක් දක්වා වර්ධනය වෙමින් තිබේ. ඒ පිළිබඳව මනෝ විද්‍යාත්මක විශ්ලේෂණය ඉදිරිපත්ව තිබේ. තවත් ලක්ෂණයක් වන්නේ දේශපාලන බලපෑම් කණ්ඩාමක් බවට සමාජ ජාල පරිශීලනය කරන තරුණ පිරිස පත්ව සිටීමයි. එහිදී අර්ථ විරහිත චිචාරයන් මෙන්න අයහපත් බලපෑම තිබේ. කටකතාව, පුද්ගල චරිත ඝාතනය ආදීයට තාරුණ්‍යය සක්‍රීයව දායකත්වයක් ලැබේ. මේ ආදී වූ ලක්ෂණ රාශියක් ද තිබේ.
සමස්තයක් ලෙස සාධනීය දෑට වඩා මේ රැලි හරහා තාරුණ්‍යයට අයහපත් බලපෑම් එල්ල වී තිබෙන බව පෙනී යයි. රටකට සබුද්ධික තාරුණ්‍යයක් සිටීම ඉතා වැදගත්ය. රට සහ මතවාද වෙනුවෙන් කැරලි ගැසූ තාරුණ්‍යයක් මෙරට සිටි බව අප සිහිපත් කළ යුතුය. එහෙත් අප එම කැරලි හා දේශපාලන භාවිතයන් අගය නොකරමු. නමුත් එදා තාරුණ්‍යය ශක්තිමත්ය. අද තාරුණ්‍ය කැරලි කෙසේ වෙතත් රැලි නිසා දිය වෙමින් සිටී. තාක්ෂණය භාවිතය හා ලෝකයට අනුගත වීම, අත්‍යවශ්‍ය බව සත්‍යයකි. එහෙත් සියලු හර පද්ධතීන් ඉන් බිඳීයාමට ඉඩ තැබීම් සාධාරණ නොවේ. මන්ද තාරුණ්‍යයේ විනාශය අනාගතයේ මුළු රටේම බිඳවැටීම වන බැවිණි.
චමිඳු නිසල් ද සිල්වා