
- බෙල්ලන්විල ධම්මරතන නාහිමි
වර්තමානයේ රටේ පවතින සමාජ, ආර්ථික තත්ත්වයන් පිළිබඳව බෙල්ලන්විල ධම්මරතන නාහිමි සමඟ කළ සාකච්ඡාවකි මේ.
රටේ විවිධ කුමන්ත්‍රණ කතා, රජයේ ඉහළ නායකයින්ගේ මතගැටුම් නිසා රට අස්ථාවර තත්ත්වයකට පත්වෙලා ඇතැයි ප්‍රකාශ වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඉස්සර රටට තිබුණ ලොකුම ප්‍රශ්නය යුද්ධය. අද දේශපාලන ප්‍රශ්න ඇතිවෙලා...?
යුද්ධය අවසන් කළායි කියලා කිව්වට අවසන් වුණේ එක පියවරක් විතරයි. යුද්ධයක් අවසන් කළ එක ඇත්තටම හොඳ ක්‍රියාවක්. කාටවත් කරන්න බැහැයි කියලා කියපු යුද්ධයක් තමයි පසුගිය රජය මගින් අවසන් කළේ. නමුත් යුද්ධයක් ඉවර වුණාම එන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳීමට අපි ක්‍රියාකරපු ආකාරය එච්චර හොඳ නැහැ. යුද්ධය ඉවර වෙලා ටික කලකින් ඒ රජය වෙනස් වුණා... යුද්ධය ඉවර වුණාට පස්සේ රට ගොඩනැගීමට කළයුතු යම් යම් ක්‍රමවේද තිබුණා නම් ඒ හැම දෙයක්ම විනාශ වෙලා ගියා. ඒනිසා යුද්ධයෙන් පස්සේ ඒ අයට අවස්ථාව නොලැබීමත්. අද තියෙන සමහර ප්‍රශ්නවලට හේතුවක් කියලයි මට හිතෙන්නේ. යුද්ධයක් ඉවර වුණාම යුද්ධය නිසා තරහ වෙන අය ඉන්නවා. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් නැති කළාය කිව්වට ත්‍රස්තවාදයට හිතවත් පිරිසක් එකපාරටම නැතිවෙලා නැහැ. ඒ වගේම ත්‍රස්තවාදීන් ජයග්‍රහණය කරලා රටේ කොටසක් වෙන්කරලා වෙනම රාජ්‍ය පිහිටවීම හොඳයි කියලා හිතන ජනතාවක් උතුරේ විතරක් නෙමේ... ලංකාවේ තැනින් තැන විසිරිලා හිටියා. ඒ නිසා ත්‍රස්තවාදය පැරදීම නිසා ඒ අයගේ යටි හිතේ යම්කිසි වේදනාවක් ඉතිරි වුණා...
යුද්ධය නිම කිරීමෙන් පසුව පැවති ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල තුළින් ඒක ඔප්පු වෙනවා නේද...?
ඔව්... යුද්ධය ජයග්‍රහණයට වගකිවයුතු අය ලබපු පරාජය තුළින් විශාල වශයෙන් උතුරේ සහ ලංකාවේ විවිධ පළාත්වල යුද්ධයට කිසියම් විදිහකින් හිතවත් නොවුණත් වෙනම රාජ්‍යයක් වශයෙන් රට බිහිවෙනවාට සතුටු පිරිසක් හිටියා... ඒ අය යුද්ධය ජයග්‍රහණය කරන්න කැපවුණු රජයට විරුද්ධ ඡන්දය දුන්නා. මම කියන්නේ නැහැ ඒ නිසාම ඡන්දය දුන්නා කියලා. නමුත් ඒකත් එක හේතුවක් වුණා. ලංකාවේ ත්‍රස්තවාදය පරදා රජය ජයග්‍රහණය කළාට ජාත්‍යන්තර වශයෙනුත් සමහරු එච්චර කැමැති වුණේ නැහැ. විශේෂයෙන් ලංකා ආණ්ඩුව ශක්තිමත් වෙනවාට ඉන්දියා ආණ්ඩුව කැමති නැහැ. එක්සත් ජාතීන්ගෙන් ආ බලපෑම, මානවහිමිකම් මණ්ඩලයෙන් ආ බලපෑම් අද දක්වාත් බොහොම දරුණුවට ඉදිරිපත් කරනවා. ඒ නිසා යුද්ධය අවසන් වීමත් සමඟ රට ඇතුළේ සාමය එක්තරා විදිහකට ඇතිවුණානේ. බලාපොරොත්තු නැති තරම් ප්‍රශ්න සමූහයක් ජාත්‍යන්තර බලපෑම්වලිනුත් අපිට එන්න පටන් ගත්තා. ඒක කවදාවත් අපි අමතක කරන්න නරකයි.
ජාත්‍යන්තර බලපෑම් එහෙම වෙද්දී රටේ විවිධ කුමන්ත්‍රණ ඉහළ නායකයින්ගේ මතගැටුම් අද වෙද්දී බහුලව පවතින බව පේනවා...?
දේශපාලන මතභේදවලට අපේ රට බොහෝම ප්‍රසිද්ධයි. කිසියම් රාජ්‍යයක් බලයට ආවිට වැඩිකල් යන්නට පෙර ඒ ආණ්ඩුව වෙනස් කරලා වෙනත් ආණ්ඩුවක් ලබාගැනීමේ හැඟීමක් පුරැද්දක් අපේ මිනිස්සුන්ට තියෙනවා. ඒක හරියට අපේ රටේ මිනිස්සුන්ට උරැම වුණු දෙයක් වගෙයි. පිරිසක් බලයට එන්නේ තියෙන පාලනය බොහෝම දරැණු විදිහට විවේචනය ඉදිරිපත් කරලා. “ඔවුන් අසාර්ථකයි. අපි ඒ තත්ත්වය වෙනස් කරලා රටට සෞභාග්‍ය ගේනවා. රටේ සීඝ්‍ර දියුණුවක් ඇති කරනවා. කියලයි මේ රජය බලයට ආවෙත් ඒ විදිහටයි.
මේ ආණ්ඩුව රටේ ප්‍රශ්න විසඳනවාද හාමුදුරුවනේ?
යුද්ධය ඉවරවීමත් සමඟ පැවති රජය වැඩි වශයෙන් සිදුකළේ රටේ යටිතල පහසුකම් සැලැසීමයි. විශේෂයෙන් රටේ මාර්ග පිළිසකර කිරීම ඉතා සීඝ්‍රයෙන් සිදුකළා. ඒක වැරුද්දක් විදිහට මම දකින්නේ නැහැ. ඒක ඒ වෙලාවේ කළයුතු දෙයක් ලෙස මම දන්නවා. නමුත් ඒ දෙයට ඔවුන් වැඩි අවධානයක් යොමුකරද්දී රටේ තවත් දැවෙන ප්‍රශ්න තියෙනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. මම මේ රජයටවත් විරැද්ධ කෙනෙක් නෙමේ. නමුත් මේ රටේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී මේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ ඉතාමත් මන්දගාමී විදිහටයි. සමහර වෙලාවට මේ අය ක්‍රියාකරන ආකාරයට මොවුන් ළඟ විසඳුම් තිබුණාද කියලා කියන්නත් අමාරුයි. ඒ නිසා අද මිනිස්සු තදින්ම දේශපාලනය ගැන කතා කරනවා. රටේ ඉහළ නායකයින් අතරේ මතගැටුම් ඇතිවෙලා තියෙනවා. රටේ ආර්ථිකය කඩා වැටිලා කියලා විරැද්ධ පාක්ෂිකයන්ගෙන් චෝදනා එනවා.
අද පුවත්පත් බලද්දී, රූපවාහිනිය නරඹද්දී නිතරම කතාවෙන ප්‍රශ්නයක් තමයි අතවශ්‍ය බඩු මිල ඉහළ යාම. නමුත් ආණ්ඩුව කියන්නේ මිල අඩුයි කියලයි. අද මිනිස්සුන්ගේ ආදායම එක තැන. වියදම වැඩිවෙලා...?
බඩු මිල ඉහළ යාම, ආර්ථිකයේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නවලට රටේ ජනතාව විසින් පවතින රජයට චෝදනා කරද්දී ඒවා ගැන මොනව හරි දෙයක් ආණ්ඩුවට කියන්න වෙනවා. ඒ නිසා එහෙම දෙයක් වෙලා නැහැ කියලා ආණ්ඩුවේ අය කියනවා. ඒක එක අතකින් කණගාටුවට කරුණක්. බිම් මට්ටමින් බලද්දී මේ බඩු මිල වැඩිවීම, තෙල්මිල ඉහළ යාම, ඩොලරය කඩා වැටීම ඉතාම පැහැදිලිව පෙනෙන දේවල්. ඒවාට විසඳුම් හොයනවාට මහන්සි ගන්නවාට වඩා මේවාට “අපේ වගකීමක් නැහැ. මේවා මේ ලෝක තත්ත්වයට අනුව වෙන දේවල්" කියලා කීම එච්චර සාර්ථක පිළිතුරක් නෙමේ. ඒ නිසා මේ සම්බන්ධව පවතින ආණ්ඩුව ඉතාමත් සාර්ථක පිළිතුරක් සොයාගත යුතු වෙනවා. ජනතාවට එන මේ පීඩනය අඩු කිරීමට විසඳුම් සොයා ගැනීමේ වගකීම මේ පවතින ආණ්ඩුවට තියෙනවා. ඒ වගකීමෙන් ආණ්ඩුවට මඟහරින්න බැහැ.
පසුගිය කාලයේදී දකුණේ පාසලකදී හාමුදුරුවන් වහන්සේලා දෙනමක් ඉදිරියේ රටේ පොලිස්පති හැසිරුණ විදිහ ගැන බොහෝ දෙනාගේ විවේචනයක් තිබෙනවා. නමුත් තවමත් ඒ පිළිබඳව නිසි පියවරක් ගෙන නැහැ නේද...?
පූජිත පොලිස්පති මගේ සමීප මිත්‍රයෙක් නෙමේ. නමුත් එතුමාව මම ටිකක් දන්න කෙනෙක්. හම්බවුණාම කතාබහ කරන, බොහොම ප්‍රියමනාප විදිහට කතා කරන, විහිළු තහලු කරන කෙනෙක්. නමුත් ඒ ප්‍රියමනාප කතාවත්, විහිළු තහලු කතාවත් පොලිස්පති ධූරයේ කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ. පූජිත මහත්තයා තව කාලයක් පොලිස්පති තනතුරේ ඉන්නවා නම් “පොලිස්පතිවරයා* කියන පදවියේ වගකීම ගැන අවධානය යොමු කරලා තමන්ගේ රාජකාරිය පිළිබඳව මෙයට වඩා වගකීමක් ඇතිව කටයුතු කරන්න කියලා තමයි මම නම් කියන්නේ. තමන් යන තැන්වලදී වුණත් මීට වඩා කල්පනාකාරීව කතා කරන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. පොලිස්පතිවරයා පිළිබඳව ක්‍රියාකරනවාට වැඩිය මෑතකදී චෝදනාවට ලක්වුණු නියෝජ්‍ය පොලිස්පති ගැන මම යමක් කියන්නම්. ඔහු ගැන වුණත් ආණ්ඩුව ක්‍රියාකරපු ආකාරය ශක්තිමත් මදි බවයි මගේ අදහස. ඔහුට එරෙහි චෝදනාව බොහෝම බරපතළ එකක්. ඒ නිසා ආණ්ඩුව මීට වඩා ඉක්මනින් සහ මීට වඩා ප්‍රබල විදිහට ක්‍රියාකළා නම් හොඳයි කියලයි මගේ අදහස වෙන්නේ. මෙහෙම කියද්දී සමහරැ හිතාවී මම ආණ්ඩුවට විරැද්ධයි කියලා. නමුත් එහෙම ආණ්ඩුවට මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ආණ්ඩුව කරනා සමහර ක්‍රියාමාර්ග ගැන මගේ විරැද්ධකමක් තියෙනවා.
සමස්තයක් ලෙස ගත්කල ආර්ථික, දේශපාලන, සාමාජීය වශයෙන් අද රට පරිහානියක් වෙලා කියලයි බොහෝ දෙනා කියන්නේ. පවතින රජය ආගමික නායකයින්ගේ අනුශාසනාවලට මීට වඩා ඇහුම්කන් දී උපදෙස් ලබාගැනීම උචිත නොවේද...?
ඒකත් හොඳයි. නමුත් එහෙම අනුශාසනා කළත් ඒවා ක්‍රියාවට නංවන්න ඒවා පිළිගන්න රජයේ සමහර අය කැමති නැහැ. හැබැයි ඒ සඳහා අනුශාසනා ලබාගත යුතු වන්නේත් කිසියම් වගකීමක් ඇති භික්ෂූන් වහන්සේලා සමඟයි. අද ඇතැම් භික්ෂූන්වහන්සේලාත් දේශපාලනඥයන් පස්සේ යමින් පක්ෂවලට බෙදිලා කණ්ඩායම් හදාගෙන තමන්ගේ ආත්ම ගෞරවය එක්තරා ප්‍රමාණයකට දියකරගෙන තියෙනවා. සංඝයා වහන්සේලා පක්ෂ දේශපාලනයට එකතුවෙනවාට මම තදින්ම විරුද්ධයි. නමුත් හාමුදුරුවරු දේශපාලනය කරන්න ඕනේ. හැබැයි ඒක පක්ෂ දේශපාලනය නොවේ. රටේ දේශපාලනය රටේ අවශ්‍යතාවයන්, ජනතාවගේ ප්‍රශ්න ගැන භික්ෂූන් වහන්සේලා සෑම විටම මැදිහත් වෙන්න ඕනේ. රජයට උපදෙස් දෙන්න ඕනේ. ඇතැම් අවස්ථාවලදී තමන්ම ඉදිරිපත් වී ක්‍රියාකළ යුතුයි කියන මතයේ මම ඉන්නවා. නමුත් පක්ෂ දේශපාලනයට බැසීම මම අනුමත කරන්නේ නැහැ. ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉතා අවාසනාවන්ත විදිහට පක්ෂ දේශපාලනය කරගහගෙන භික්ෂූන් වහන්සේගේ ගෞරවය අඩුකරගෙන තියෙනවා. ඒ නිසා රජය වුණත් භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් ගනිද්දී බොහෝම පරිස්සමෙන්, වගකීමක් ඇති භික්ෂූන් වහන්සේලාගෙන් අනුශාසනා ලබාගත යුතුවෙනවා.
කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ සහ සමන්තභද්‍ර හාමුරැවෝ සමාජ මාධ්‍යවලින්, මුහුණු පොත හරහා දැඩි මතගැටුම් ඇතිකරගෙන. මෙවැනි මතගැටුම් භික්ෂූන් වහන්සේලාට ගැලපෙනවාද...?
කොහෙත්ම නැහැ... මම කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කියන කරන හැමදේම අනුමත කරන්නේ නැහැ. නමුත් මේ සංවාදයේදී උන්වහන්සේ හුඟාක් සංයමයෙන් තමයි කතා කරන්නේ. සමන්තභද්‍ර හාමුදුරුවන් තුළ ඒ සංවරය මම දකින්නේ නැහැ. සමන්ත භද්‍ර හාමුදුරැවෝ භික්ෂූ සමාජය තුළ එක්තරා විදිහකින් බොහෝම වාදවිවාදවලට භාජනය වුණු හාමුදුරැ නමක්. උන්වහන්සේ බුද්ධ ධර්මය පිළිබඳව ඉදිරිපත් කරන අදහස්වල වුණත් බුදු හාමුදුරැවන්ගේ මූලික ඉගැන්වීම් එක්ක ලොකු ගැටීමක් තියෙනවා. ඒ නිසා සමන්ත භද්‍ර හාමුදුරුවෝ කියන ඒවා ගැන එච්චර ගැඹුරකින් කල්පනා කරන්න අවශ්‍යයයි, සාකච්ඡා කරන්න අවශ්‍යයයි මම හිතන්නේ නැහැ. උන්වහන්සේට තමන් කියන දේ හරිද නැත්ද කියන එක ගැන තේරුම් ගන්න තව ටික කාලයක් දෙන්න ඕනේ.
රටේ ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට ක්‍රමන්ත්‍රණ කළ සැලැස්මක් සම්බන්ධව උණුසුම් වාදවිවාද පාර්ලිමේන්තුවේදී පවා පැවැත්වෙනවා. ඊට අදාළව සිදුකරන පරීක්ෂණ කටයුතු මීට වඩා ඉක්මන් වියයුතු නේද...?
පසුගියදාක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගෝඨාභය කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. එයාට ආරක්ෂාව දෙන්න අවශ්‍යතාවක් නැහැ කියලා තියෙනවා. ඒක ඇත්තටම හරිම අවාසනාවක්. දේශපාලනය කරන අය පෞද්ගලික අමනාපකම් වෛරය වගේ දේවල්වලට මුල්තැන දෙන්න හොඳ නැහැ. හිටපු හමුදාපති කියන්නේ බොහෝම ලොකු වගකීමක් දරපු කෙනෙක්. එවැනි කෙනෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැතිව කල්පනාකාරීව ප්‍රකාශනයක් කළානම් හොඳයි කියලයි මගේ අදහස වෙන්නේ. කවුරු කොහොම කිව්වත් ගෝඨාභය මහත්තයා මේ රටේ මෑත ඉතිහාසයේ කිසියම් වැදගත් තැනක් ලබාදිය යුතු කෙනෙක්. හැමෝටම බැහැයි කියපු කාර්යයක් හොඳින් කළමනාකරණය කරලා සාර්ථකව එතුමා යුද්ධය නිම කළා. ඒ නිමකිරීමෙන් පසුවත් මේ රටේ දියුණුව සඳහාත් යමක් කරන්න පුළුවන් කියලා එතුමා ඔප්පු කළා. රටේ දියුණුවට අදාළ දේ සංවිධානය කිරීමට එතුමාට ඇති හැකියාවෙන් එතුමා ඒ දේ ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා එතුමාගේ ආරක්ෂාව වැදගත් වෙනවා. සිංහල බෞද්ධයෝ කියන්නේ කළගුණයට වැදගත් තැනක් දෙන පිරිසක්. ඒනිසා එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. මේ දේශපාලන අදහස් පැත්තකට දාලා රජය එතුමාගේ ආරක්ෂාව පිළිබඳව ලොකු අවධානයක් යොමු කරනවා නම් මීට වඩා හොඳයි. එතුමාටත්, ජනාධිපතිතුමාටත් මරණ තර්ජනව පිළිබඳව තියෙන කතාවේ සත්‍යතාවය ඉතාම ඉක්මනින් හොයලා බලලා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඇත්තටම මේ අවස්ථාවලත් ආණ්ඩුව හරිම දියාරුයි.
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූපය - සුමුදු හේවාපතිරණ