
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ මෙරට රජයේ මතය අගමැතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සරලව පැවසුවහොත් රුපියල අවප්‍රමාණය වන්නේ මෙරට ආර්ථික අර්බුදයක් හේතුවෙන් නොවේ. රුපියල අවප්‍රමාණය වන්නේ ලෝක ආර්ථිකය තුළ අමෙරිකානු ආර්ථිකයේ හැසිරීම මතය. මෙම මතය තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදාක දැක්වූ අදහස් කිහිපයක් උපුටා දක්වමු.
ඒ මහතාගේ පැහැදිලි කිරීමට අනුව ආසියානු කලාපය සහ නැගී එන ආර්ථිකය මෙම අර්බුදයට මුහුණ දී සිටියි. ජාත්‍යන්තර වෙළඳපොළේ දැන් තිබෙන ප්‍රවණතාවය වන්නේ අනෙක් විදේශ විනිමය අනුපාතවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි. ඊට හේතුව වන්නේ අමෙරිකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්රතිපත්තියයි. මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල 11% කින් ද ඉන්දුනීසියානු රුපියල 9% කින් ද ඕස්ට්‍රේලියානු 8.2% කින් ද පිලිපීන පෙසෝව 7.7% කින් ද අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 7% කිනි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළේ හැසිරීම මත තවත් රටවලට ද මෙය බලපා ඇති තත්ත්වයකි.
රුපියලේ අගය බාල්දුවීම හරහා රටේ ආර්ථිකය කඩා වැටෙනවා යනු සම්පූර්ණ වැරදි මතයකි. 2011 - 2012 වර්ෂවල රුපියලේ අගය 12% න් ද 2015 වර්ෂයේදී 9% කින් ද කෙටි කාලයක් තුළ අවප්‍රමාණය වී තිබේ. එම අවස්ථාවේදී ලංකාව සතු විදෙස් සංචිත විශාල වශයෙන් වැය කරමින් 12% වැනි අගයක් පවත්වා ගත්ත ද මෙවර එය සිදුකර නැත. ඉදිරි වසරේ ණය ගෙවීමට සංචිත ඉතිරිව පවතී. පසුගිය අවස්ථාවල රුපියල අවප්‍රමාණය වීම සිදුවූයේ ජාත්‍යන්තර බලපෑම නිසා නොව මෙරට ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. එහෙත් මෙවර රුපියල අවප්‍රමාණය වීම පැහැදිලිවම දේශීය ආර්ථිකයේ බලපෑමක් හේතුවෙන් සිදුවූවක් නොවූවකි. ජාත්‍යන්තර බලපෑමක් හේතුවෙන් සිදුවූවකි.
මේ අතර පසුගිය 21 වන දින රොයිටර් පුවත් සේවයට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබුණේ රුපියල අවප්‍රමාණය වීමේ ගැටලුවට ආක්‍රමණශීලී ලෙස මැදිහත්වීමට මහ බැංකුව සූදානම් බවයි. මේ සියල්ල මෙරට මහ බැංකුව හා ඒ වගකිවයුතු පාර්ශයන්ගෙන් ඉදිරිපත් වන මත හා පැහැදිලි කිරීම්ය. එම මතයන්ට හා පැහැදිලි කිරීම්වලට පක්ෂ විපක්ෂ මත අප ඊළඟට සංවාදයන්ට බඳුන් කරමු.
අමෙරිකානු ආර්ථිකයේ හැසිරීම මත මෙරට ආර්ථික හැසිරෙන්නේ නම් මෙරට ආර්ථිකය හැසිරවීමට මහ බැංකුවක්, මුදල් අමාත්‍යාංශයක් අවශ්‍ය නොවේ. මේ අද වනවිට ඉදිරිපත්වන මතයකි. ඒ පිටුපස ඇති සංවාදයට ලක්විය යුතු කාරණා කිහිපයක් මතුකරමු.

මහ බැංකුවේ මූලික වගකීමක් වන්නේ රුපියලේ දේශීය හා විදේශ අගය ආරක්ෂා කිරීමයි. ලබන වසරේ ණය ගෙවන්නට තිබෙන බව පවසමින් එම වගකීම පැහැර හැරීම සාධාරණ නොවේ. මෙරට පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවලින් අවම වශයෙන් 80%ක් ආනයනික දෑ වලින් සමන්විත වෙයි. එයද මෙරට අද මුහුණපා ඇති ගැටලුවට හේතුවකි. මෙම සමස්ත ක්‍රියාවලිය පාලනය කිරීමට රජයට වැඩපිළිවෙළක් නොවීම හරහා රුපියල බාල්දු වෙමින් ඇත. මේ රජයේ මතයට විපක්ෂයෙන් නැගෙන ප්‍රමුඛතම තර්කයකි.
තවදුරටත් රජයේ ආර්ථික කළමනාකරණය දුර්වලවීම, රුපියල බාල්දුවීමට හේතුවක් ලෙස ඉදිරිපත්වන මතය සාධනය කිරීමට ගෙනහැර පාන කරුණු ඔබ හමුවේ තබමු.
රජයේ භාණ්ඩ හා සේවා පිළිබඳව වර්තන ගිණුම ජූනි මාසයට පෙර සිටම පිරිහීමකට ලක්ව තිබේ. ඒ රජය ගත් තීන්දු තීරණය අනුවය. පැහැදිලිවම අමෙරිකානු ඩොලරය ශක්තිමත් වන බව රජය කල්තියා දැන සිටියද ඒ පිළිබඳව ක්‍රියාමාර්ග අනුගමනය කරනු වෙනුවට නොසුදු තීරණවලට එළඹීම රුපියල මෙතරම් බාල්දුවීමට හේතුවයි.
මෙයට නිදර්ශනයක් ලෙස ජූනි මස 8 වැනිදා රජය නිකුත් කළ රාජ්‍ය සේවකයන් සඳහා තීරු බදු සහන සහිතව රථවාහන ආනයනය කිරීමේ නව ප්‍රතිපත්ති ඇතුළත් ගැසට් පත්‍රය දැක්විය හැකිය. මෙහිදී සිදුවන්නේ ආනයනය දිරිගැන්වීමකි. දෙවතාවකට වඩා වැඩියෙන් තීරු බදු සහන වාහන ගෙන්වීමටත් මෙහිදී අවස්ථාව සැලසිණ. එවිට බොහෝ දෙනෙක් මෙම සහනය ලබාගැනීම හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් රථවාහන ආනයනය ඉහළ යයි. මෙවන් තවත් තීරණය රජය ගැනීමෙන් ආනයන දිරිගැන්වීම මත ඇතිවන තෙරපුම අයහපත් ලෙස ආර්ථිකයට බලපෑම් කර ඇත.

තවත් පසකින් චෝදනා නැගෙන්නේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පමණක් නොව ඉදියානු රුපියලට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇති බවය. එය අප්‍රිකානු මුදල් ඒකකයට සාපේක්ෂව ද අවප්‍රමාණය වී තිබේ.
රජය ගෙනහැර පාන හේතූන්ට විරුද්ධව මතුවන මේ ආදී මතවල මූලික පදනම අවබෝධ කරගැනීම වටී. මෙරට ආර්ථිමය තීන්දු තීරණ ගැනීමේදී වගකිව යුතු පාර්ශ්වය ජාත්‍යන්තර මෙන්ම දේශීය ආර්ථිකයේ හැසිරීම පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බව ඒ අනුව කියවේ. තව ද මෙරට ආර්ථිකමය තීරණය ගන්නා ආයතන අතර අන්‍යොන්‍ය අවබෝධයක් නොතිබීම ද නිශ්චිත ප්‍රතිපත්ති නොවීම ද රුපියලේ බාල්දුව පිටුපස ඇති හේතු අතර වෙයි.
මේ සියල්ල හමුවේ මතුවන තවත් මත තිබේ. රුපියල අවප්‍රමාණය වීම ඇරඹුණේ අද ඊයේ නොවේ. මෙරට අපනයන දුර්වලවීම මේ සියල්ල පිටුපස ඇති පොදු හේතුවයි. අපනයනය ශක්තිමත් වීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යය. පිරිසකට අනුව මෙම රජයට වර්තමානයේදී අපනයන ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් තිබේ. තවත් පිරිසකට අනුව එම වැඩසටහන් ලියවිලි පමණක් වන අතර සාර්ථකත්වය කරා ළඟාවීම අවිනිශ්චිතය.
කෙසේ වෙතත් මෙරට අපනයන ආර්ථිකයේ සීඝ්‍ර කඩාවැටීමක් ඇති බව පැහැදිලි වේ. එය බොහෝ විද්වත්හු අවිවාදයෙන් පිළිගනිති. අපනයන දිරිගැන්වීමට ආනයන යැපුම් ක්රමයේ වෙනසක් ඇති කළ යුතුය. එවිට ඩොලරය හමුවේ රුපියල බාල්දුවීම නවතා ගැනීමට හැකිවනු ඇත. මෙරට ආර්ථික ගැටළුවලට ඉතිහාසය පුරාවටම තාවකාලික පිළියම් විය. එය අද මෙරට ආර්ථික ඛේදවාචකයේ යථාර්ථයයි.
අප අවසාන වශයෙන් නිගමනය කරන්නේ රුපියලේ බාල්දුව යනු හුදෙකලා හේතුවක් මත සිදුවූවක් නොවන බවයි. මේ පිටුපස විවිධ හේතු තිබේ. අමෙරිකානු ආර්ථික බලපෑම ප්‍රබල එක් හේතුවක් විය හැකිය. එය සමස්තය නොවේ. පාට කණ්ණාඩිවලින් රටේ ආර්ථික ගැටලු දෙස බැලුම් හෙළන යුගය නිමාවිය යුතුව ඇත. සෑම තීරණයක්ම අනාගතවාදී විය යුතුය. රුපියලේ බාල්දුව පමණක් නොව ඉතිහාසයේ අභිමානයක් තිබූ රටක් ලෙස නිදහසින් පසු ලෝකය හමුවේ වූ බාල්දුවීම් සියල්ලෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇත.
(රූපවාහිනී සංවාද හා විද්වතුන්ගේ මත ඇසුරින්)
►චමිඳු නිසල් ද සිල්වා