2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

අනියම් බිරියෝ 05යි දරුවෝ 13යි...

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 400

හොඳින් හැඳ පැළඳගත් අයෙක් කඩිමුඩියේ රාත්‍රියේ කොල්ලුපිටිය පොලීසියට පැමිණ තමා වෛද්‍යවරයකු බවත් තම බිරිඳට එරෙහිව පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බවත් එහි සිටි නිලධාරියකුට දන්වා සිටියේය. වෛද්‍යවරයාගේ පැමිණිල්ල වූයේ තමා නිවසට ගිය අවස්ථාවේ බිරිඳ කොස්සක් ඔසවාගෙන ඇවිත් තමාට එම කොස්ස කැඩෙන තෙක් දිගට හරහට පහර දුන්නැයි කියාය.

පොලිස් නිලධාරියා වෛද්‍යවරයා කී ආකාරයටම පොලිස් පොතේ පැමිණිල්ල ලියා ගත්තේ මෙය විභාග කිරීමට දිනයක් පසුව දැනුම් දෙන බව ඔහුට කියමිනි. පැමිණිල්ල ලියාගත් පසු වෛද්‍යවරයාට පොලීසිය අධිකරණ වෛද්‍ය පෝරමයක් ලියා දුන්නේ එයත් රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමටය. වෛද්‍යවරයාගෙන් ඒ පැමිණිල්ල ලැබුණු දිනට පසු දින උදේ 10.45 ට පමණ කාන්තාවක් හඬා වැළපෙමින් කොල්ලුපිටිය පොලීසියට පැමිණියාය.

ඒ තම වෛද්‍ය සැමියා මීට මොහොතකට කලින් නිවසට කඩා වැදී අවුරුදු 2 1/2 ක් පමණ වයසැති දරුවා බලහත්කාරයෙන් රැගෙන ගිය බවට පැමිණිලි කිරීමටය. කළින් දින රාත්‍රියේ දරුවා බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ කොස්සක් කැඩෙන තෙක් පහරදී දරුවා රැගෙන යාම වළක්වා ගැනීමට තමාට හැකිවූ බව වෛද්‍ය බිරිඳ පොලිස් නිලධාරින් සමඟ කියා සිටියාය. වෛද්‍ය සැමියා තමාට එරෙහිවද පොලිසියට පැමිණිල්ලක් දමා ඇති බව ඇය දැන ගත්තේ පොලිසියට ගිය පසුවය. බලහත්කාරයෙන් රැගෙන ගිය දරුවා තමාට යළි ලබාදෙන ලෙස වෛද්‍ය බිරිඳ පොලිසියෙන් ඉල්ලීමක් කළාය.

දෙපාර්ශවයම කැඳවා මේ ගැන විභාගයක් විභාග කරන බව පොලීසිය වෛද්‍ය බිරිඳටද දැනුම් දුන්නේය. කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි  ඊ.එස්. දයාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් වික‍්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා ඉනෝකා කුමාරි මහත්මිය හමුවේ විභාගය පැවැත්වුණු අතර පැමිණිල්ල විභාගය සඳහා වෛද්‍යවරයා හා ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ද කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගෙන්වනු ලැබ සිටියහ.

පැමිණිල්ල විභාගයට පැමිණෙන විට බලහත්කාරයෙන් රැගෙන ගිය දරු පැටියාද රැගෙන එන ලෙස පොලිසිය කර තිබූ ඉල්ලීමක් මත වෛද්‍යවරයා ඒ දරුවාද පොලිසියට රැගෙන ඇවිත් තිබිණි. පොලීසියට ගොස් බිරිඳට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් කර කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාරද ලබාගෙන පිටවගොස් යළි මේ නීත්‍යානුකූල බිරිඳගේ නිවසට ගොස් දරුවා බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබුණ බවට පැමිණිලි විභාගයේදී කරුණු අනාවරණය විය. 

“මෙයාට මට අමතරව තවත් අනියම් බිරියන් පස් දෙනෙක් ඉන්නවා. ඒ අයටත් මෙයාට දාව දරුවෝ ඉන්නවා. මම මෙයත් එක්ක විවාහ වුණාට පස්සේ තමයි මෙයාට තවත් අනියම් බිරියන් ඉන්නවා කියා දැනගත්තේ” යැයි වෛද්‍ය බිරිඳ කියා සිටියාය.

බිරිඳ කියන මේ කතාව ඇත්තද කියා පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් වික‍්‍රමරත්න මහතා වෛද්‍යවරයාගෙන් විමසා සිටියේය.

“ඔව්. ඒ කතාව ඇත්ත. මට අනියම් බිරියෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ බිරියන්ට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. නීත්‍යානුකූල බිරිඳට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දරුවෝ 13 දෙනාගේම පියා මමයි.” වෛද්‍යවරයා කිසිම පැකිලීමකින් තොරව මේ බව පොලිස් පරීක්‍ෂකවරයා සමඟ පවසා ඇත.

“ඇයි මේ දරු පැටියා මේ විදිහට බලහත්කාරයෙන් අරගෙන ගියේ” යැයි කියා පොලිස් පරීක්‍ෂක වික‍්‍රමරත්න මහතා විමසා සිටි අවස්ථාවේ වෛද්‍යවරයා ගත් කටටම කියා ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ සිටින දෙවැනි අනියම් බිරිඳගේ ඇවිටිලි කිරිම නිසා එවැන්නක් කළා යැයි කියාය. දෙවැනි අනියම් බිරිඳටද වෛද්‍යවරයාට දාව සිටින දරුවන් සංඛ්‍යාව තිදෙනෙකි.

කොළඹින් පිට ශික්‍ෂණ රෝහලක වෛද්‍ය සේවයේ නිරතව සිටියදී සේවය අතහැර ගොස් ඇති මෙම වෛද්‍යවරයා එතැන් පටන් පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ නිරතව සිට ඇත. වෛද්‍යවරයාගේ නීත්‍යානුකූල බිරිඳද සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි රැකියාවක නිතරව සිටියදී ඇති වූ ‍ප්‍රේම සම්බන්ධතාවයකින් පසු දෙදෙනා විවාහ වී ඇත්තේ මව්පිය ආශිර්වාදය ඇතිවය.

නීත්‍යානුකූල බිරිඳ පදිංචිව සිටින්නේ කොල්ලුපිටිය ප‍්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයාට අයත් සුපිරි නිවෙසකය. ඒ නිවෙස ජීවිත භුක්තියට යටත්ව වෛද්‍යවරයා තෑගි ඔප්පුවකින් සිය නීත්‍යානුකූල බිරිඳට පවරා ඇත. ජා-ඇළ, වාරියපොළ, පානදුර, කුරුණෑගල, ගල්කිස්ස සහ ගම්පහ යන ප‍්‍රදේශවල වෛද්‍යවරයාගේ අනියම් බිරියෝ පදිංචිව සිටිති. මේ කාන්තාවන් පස්දෙනා සමඟම වෛද්‍යවරයා අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන ඇත්තේ ඔහුගෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවලදීය.

සැමියා ගෙදරින් පන්නා දැමුවොත් දරුවන් තිදෙනාද සමඟ මහමඟට වැටෙන නිසා සැමියාගේ අනියම් සම්බන්ධතා දැන දැනත් ඔහුගේ කැමැත්තට ඉඩදී සිටි බව වෛද්‍ය බිරිඳ පොලීසියේ දී පවසා ඇති බව කියති. නීත්‍යානුකූල බිරිඳ පමණක් නොව අනියම් බිරියන්ට හා දරුවන් 13 දෙනා කිසිම අඩුපාඩුවක් නොමැතිව හොඳට සලකන බව 57 හැවිරිදි වෛද්‍යවරයා පොලීසියේදී කියා ඇතැයි දැන ගැනීමට ඇත.

වෛද්‍යවරයා වැදගත් පවුල් පසුබිමක් ඇති අයෙක් බවත් ඔහුගේ සහෝදර සහෝදරියන් යුරෝපීය රටවල උසස් රැකියා කරන බවත් පොලීසිය කියයි. සහකාර පොලිස් අධිකාරි ඊ.එස්. දයාරත්න මහතාගේ උපදෙස් මත මෙම පැමිණිලි දෙකම සමථ මණ්ඩලයට යොමු කෙරිණි. බලහත්කාරයෙන් රැගෙන ගිය දරුවා පොලිසිය මැදිහත් වී වෛද්‍ය බිරිඳගේ බාරයට පත් කරනු ලැබීය.

♦ ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05