
උදෑසන හිරු කිරණ දිගාමඩුල්ලේ කෙත්වතු සිපගනිමින් තිබියදී අප රැගත් වාහනය අම්පාරේ නවාතැනේ සිට මහඔය මාර්ගයේ ගමන් කරමින් තිබුණි. අපි උහන හරහා රජගලතැන්න කඩමණ්ඩියට පැමිණෙන විට කි.මී. 24ක් ගමන් කර සිටියෙමු. රජගල පුරාවිද්‍යා ස්ථානය යැයි සඳහන් පුරාවිද්‍යා නාමපුවරැව අපගේ ගමනාන්තයට මඟපෙන්වීය. බස් රථයක් වුව යා හැකි පටු මාවතේ කි.මී. 2ක් ගමන් කළ පසු රජගල කඳු පාමුල පිහිටි රථගාල වෙතට ළඟාවිය හැකිය. එයට නුදුරින් පුරාවිද්‍යා කාර්යාලය සහ තොරතුරැ මධ්‍යස්ථානය ද පිහිටා තිබේ.
මෙම ස්ථානයේ සිට අඩි 1038ක් උසැති කඳු මුදුනට දුර කි.මී. 1.5 කි. ඒ සඳහා රථගාලේ සිට වම්පසට සහ දකුණුපසට විහිදුණු මාර්ග දෙකකි. පුරාණයේ භාවිතයට ගත් දකුණුපස මාවත දැඩි බෑවුම තරණය කරන්නේ වනගත පියගැටපෙළ ඔස්සේය. පැරණි පියගැටපෙළ දැන් සම්පූර්ණයෙන් සංරක්ෂණය කර තිබේ. එයට අමතරව අම්පාර මහඔය මාර්ගයේ පුළුකුණාව හමුදා කඳවුර අසලින් වම්පසට දිවෙන මාර්ගය ඔස්සේ (කි.මී. 5) රජගල පුරාවිද්‍යා ව්‍යාපෘති කාර්යාලය වෙතට ජීප් රථයක් හෝ ඩබල් කැබ් රථයකින් පැමිණිය හැකි මාර්ගයක්ද ඉදිකර තිබේ.

රජගල කන්ද
හිරු ක්‍රමයෙන් මුදුන්වෙමින් පැවතියද වනාන්තරයේ රුක්වියන නිසා අවට පැතිර ඇත්තේ සිසිලසකි. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් තුනකට අයත්ව අක්කර 1025ක කඳුවැටිය පුරා විහිදුණු පුරාවිද්‍යා රක්ෂිතය පැතිර තිබේ.
1968.09.28 දින මුලින්ම මෙම බිම පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් නම් කෙරිණි. දකුණේ සිට උතුරට විහිද යන කඳුගැට කිහිපයකින් සමන්විත රජගල විශාල ගල්තලා, ගල් පර්වත සහ කටාරම් කෙටූ ලෙන්, වනාන්තර සහිත සුන්දර පෙදෙසකි. දැනට හඳුනාගෙන ඇති ආකාරයට ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණු සමයේ පටන් අනුරාධපුර යුගයේ අවසානය දක්වා පැතිරැණු ආරාමික ස්මාරක රාශියක් රජගලින් හමුවී තිබේ.
කඳුවැටියේ නැගෙනහිර අන්තයේ ඇතැම් තැන්වල ශීඝ්‍ර බෑවුම් සහිතය. බටහිර අන්තයට වනවිට පිහිටා ඇත්තේ දළ බෑවුමකි. මේ බෑවුම් භූ විෂමතාව ජයගනිමින් සියවස් ගණනාවකට එපිටදී භාවනානුයෝගී භික්ෂූන්ගේ සිත සනහන ආරාම සංකීර්ණයක් ඉදිකිරීමට පුරාණ ඉංජිනේරැවා සමත් වී තිබේ. දැඩි වියළි දේශගුණය ජයගැනීම සඳහා එක් බෑවුමක වැවක් නිර්මාණය කර ඇති අතර ගල්තලාවල ස්වභාවික ගල්කෙම් කිහිපයක් ද පිහිටා තිබේ. කඳු බෑවුම් හරහා ගලා බසින දොළපාරවල් කිහිපයක්ද පවතී. දැනටත් පුරාවිද්‍යා වැඩබිමට අවශ්‍ය පානීය ජලය සපයාගන්නේ මෙම දියපහරවල්වලිනි.

මිල්ල, දඹ, මාදං, වීර, හල්මිල්ල, නා, වෙලන්, යකඩමරං, කළුමැදිරිය, කිරිකෝන් වැනි උත්තුංග ගස් අතරින් දිවයන පියගැට ඔස්සේ අපි කඳු තරණය කරමින් එහි මස්තකයට පිවිසුණෙමු.
මිහිඳු ධාතු
කඳු මුදුනේ පිහිටි ගල්තලාව ඔස්සේ ගමන් කළ විට ගල්කැට යොදා තැනූ නටබුන් දාගැබක් නෙත ගැටේ. එය අසල පර්වතයේ කොටා ඇති ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත් සෙල්ලිපිය නිසා මහාවංශයේ සඳහන් කරැණක් සෙල්ලිපි සාධක ඇසුරෙන්ද සනාථ විය. ඒ මහින්දාගමනයයි. යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික මහිද තෙර තුබෙ යනුවෙන් සඳහන් එම සෙල්ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතාන කියවා අර්ථ සපයන ලදී. මේ දිවයිනේ වාසනා මහිමය පිණිස මෙහි සැපත් ඉඩික තෙරැන්ගේ සහ මහින්ද තෙරැන්ගේ ථූපයයි යන්න එහි අදහස වේ.
මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු ධාතු ලංකාවේ විවිධ පෙදෙස්වල දාගැබ් තනා තැන්පත් කළ බව වංශකතාවල සඳහන්ය. එවකට ප්‍රකට පුදබිමක් වූ රජගලටද එම ධාතු ලැබෙන්නට ඇත.
දාගැබ අසල සිට පහළට ගමන් කළ විට වැව ආසන්නයට පිවිසේ. එයට නුදුරින් පිහිටා ඇත්තේ පුරාණ ගොඩනැගිලි සහිත නටබුන් භූමියයි. අප යනවිටත් එහි සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පැවතුණි. මෙම සංරක්ෂණය සිදුවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස සහ පුරාවිද්‍යා අධ්‍යයනංශය මගිනි. එම අධ්‍යයනංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර අපට හමුවූයේ පුරාවිද්‍යා වැඩිබිම අසලදීය. &1980 දශකයේ කොටි ත්‍රස්තවාදී කටයුතු වර්ධනය වීම නිසා රජගල පුරාවිද්‍යා කටයුතු ඇනහිටියා. ඊට පසු නිදන් හොරැ ආරාම සංකීර්ණය වැනසුවා. 2004 – 2005 වර්ෂවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කඳු පාමුල කාර්යාලයක් ආරම්භ කර පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට විශාල මෙහෙයක් කළා. වර්ෂ 2012 අගෝස්තු මාසයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා ඇතිකරගත් ගිවිසුම අනුව රජගල භූමියේ කැණීම්, සංරක්ෂණය, භූ දර්ශන සැකසීම හා නඩත්තු කිරීම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනංශයට පැවරුණා. මහාචාර්යවරයා පැවසුවේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක රජගල ව්‍යාපෘතියේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනංශයේ මෙහෙයවීම මත කළමනාකාරවරයෙක් සහ නිලධාරීන් 12 දෙනකු යටතේ සේවකයන් 60කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටිති. සේවකයන් බොහෝ දෙනකු අවට ගම්මානවලින් බඳවාගත් අය වෙති.
පැන් මණ්ඩපය
නටබුන් බිමේ ගොඩනැගිලි අතර පැන් මණ්ඩපය සුවිශේෂී වේ. කඳු හරහා ගලා එන දියඋල්පත්වල ජලයෙන් පිරීයන පරිදි සකස් කළ එහි විශාල ගල් පාත්‍ර දෙකකි. කැඩීබිඳී ගිය එම ගල් පාත්‍රයක් සංරක්ෂණය කිරීමට උත්සාහ කරන ආකාරය අපට දැකගැනීමට හැකි විය. ඒ ගැන අදහස් දැක්වූයේ ව්‍යාපෘති කළමනාකාර ආර්.පී.ආර්.කේ. රාජපක්ෂය. &ලංකාවේ එකම පැන් මණ්ඩපය වශයෙන් මෙය හැඳින්වීමට පුළුවන්. මේ විශාල ගල්පාත්‍ර නිදන් හොරැ පුපුරවලා තිබුණේ. මෙම ස්ථානයේ 2015 දී කැණීම් ආරම්භ කර ගොඩනැගිලි සංරක්ෂණය කළා. කැඩී තිබුණු ගල්පාත්‍ර ඊට පසු සංරක්ෂණය කරනවා. ඇතුළත විද සුදුයකඩ කූරැ දමා ගම් වර්ගයකින් අලවනවා. මතුපිටට ගල්කුඩු බදාමයක් ආලේප කරනවා.
රජගල ඉතිහාසය
රජගල කියන්නේ නූතන නාමයක්. මේ ස්ථානයේ පැරණි නාමය ගිරිකුම්භිල. දීපවංශයේ සහ මහාවංශයේ ඒ නම සඳහන්. පසුව මේ ආරාමය අරියාකර විහාරය නමින් හඳුන්වා තිබෙනවා. මේ කඳුවැටිය දුර සිට බලනවිට වැතිරී සිටින කිඹුලකුගේ ස්වරෑපයෙන් පෙනෙන නිසා ගිරිකුම්භිල කියලා භාවිත කර තිබෙනවා. මහාචාර්ය කන්නන්ගර වැඩිදුරටත් කීවේය.
සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි සාධක අනුව රජගල ආරාම සංකීර්ණය ආරම්භ කර ඇත්තේ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසිනි. සද්ධාතිස්ස රජු ගැමුණු මහරජු අනුරාධපුරයේ රජකම් කරන විට දිගාමඩුල්ල සංවර්ධනය කළ බව සඳහන්ය.
මෙහි ඉතිහාසය දැනගැනීමට සෙල්ලිපිවලින් ලැබෙන්නේ නොමඳ දායකත්වයකි. ලෙන්ලිපි, පුවරැලිපි, ටැම්ලිපි හා ගිරිලිපි ඒ අතර වේ. සෙල්ලිපි 80ක් පමණ මින් හමුවී තිබේ. ලෙන් 80ක් පමණද මේ වනපෙත තුළ පැතිර තිබේ. සමහර ලෙන්වල චිත්‍ර ඇඳ තිබූ බවට සාධක සහිතය. ඒ අතර ලජ්ජිතිස්ස රජු ඇතුළු රාජකීය පවුල්වල සාමාජිකයන් ලෙන් කරවූ බවට සාධක සහිතය. එක් ගිරිලිපියක සඳහන් වන්නේ ලජ්ජිතිස්ස රජු සීත ලෙන් 25ක් කරවා පූජා කළ බවය. කඳුවැටියේ ඇති ලෙන් කිහිපයක දැනටත් අධික ශීතල ස්වභාවය අත්විඳින්න පුළුවන්. පසුපසින් ලෙන් කුහරයට ඇතුළුවන සුළං ධාරාව ජල සීරාව සහිත ගල්කුළු අතරින් හමාවිත් ලෙන ඇතුළත සිසිල් වටපිටාවක් නිර්මාණය කරනවා. මෙම ක්‍රමවේදය ස්වභාවික කාර්යයකට වඩා අවශ්‍ය පරිදි සුළං ධාරා ලෙන තුළට ඇතුළුවීමට කටයුතු කළ බව මෙහි පිහිටි සෙල්ලිපියෙන් පැහැදිලි වෙනවා.* මහාචාර්යවරයා පැවසුවේය.
කඳු අතර ඇවිදිමින් දැඩි සේ වෙහෙසට පත්ව සිටි අපි ද සීත ලෙන් තුළට පිවිස සම්පූර්ණ වායු සමීකරණ අත්දැකීමක් විඳගතිමු.
රජගල පිහිටි තවත් විශේෂිත ස්මාරකයක් වන්නේ ගල් උළුවස්ස සහිත පඩිපෙළ හා බිත්තියයි. කළුගලින්ම බැඳි බිත්තිය අසල ලෙන් සංකීර්ණයකි. මෙම ගොඩනැගිල්ල ද සංරක්ෂණය කර තිබේ. ආසනඝරය, පැරණි පොහොය ගෙය, ස්ථූප දෙකක්, දාන ශාලාව, ජන්තාඝරය ආදී ගොඩනැගිලි රාශියක් මේ වනවිට කැණීම් කර සංරක්ෂණය කර අවසන්ය. තවත් ගොඩනැගිලි රාශියක් සංරක්ෂණය කිරීමට නියමිතය.
රජගල ව්‍යාපෘතිය වර්ෂ 2020 වනතෙක් ක්‍රියාත්මක වේ. මහාචාර්ය කන්නන්ගර මෙසේ පැවසුවේ රජගල සංචාරක ආකර්ශනය පිළිබඳවයි.
මේ වනවිට රජගල සංචාරකයන්ගේ ආකර්ශනයක් වෙලා. 2012 මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට වර්ෂයකට සංචාරකයන් 4000 – 5000ක් වගේ පිරිසක් තමයි මේ නටබුන් දැකබලාගැනීමට ආවේ. 2015 වනවිට ඒ සංඛ්‍යාව 22000 දක්වා ඉහළ ගියා. මේ පුරාවිද්‍යා භූමියේ යටිතල පහසුකම් දියුණුවීමත් සමඟ අද ඒ සංඛ්‍යාව තවත් වර්ධනය වෙලා.
ඔබ මේ ලිපිය කියවන විටත් විශාල පිරිසක් නිසංසල මහවන මැද තම ශ්‍රමය වැයකරමින් පුරාණ ආරාමික පරිසරය සංරක්ෂණය කිරීමට වෙහෙස වෙති. එය නැරඹීමට යන ඔබත් ඒ නිර්මල වටපිටාවට හානියක් නොවන සේ හැසිරීම වැදගත්ය.
විශේෂ ස්තූතිය: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන නිලධාරී සුනිල් බණ්ඩාර කෝරළගේට.
සටහන සේයාරූ: කුසුම්සිරි විජයවර්ධන