2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

කොතලාවලින් ඇසෙන සයිටම් සටනේ පසුකම්පනය

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73


කලක සයිටම් අර්බුදය මෙරට ජනසමාජ තුළ මෙන්ම දේශපාලනයේ ඉහළ පුටුවල පවා මහා කම්පනයක් ඇතිකිරීමට සමත් විය. සියලු ගැටලු නිමවී තත්ත්වය යහපත් අතර හැරී තිබියදී පසුගිය සතියේ සයිටම් පසු කම්පනයක් ඇතිවිය. ඒ අධිකරණ තීන්දුවක් හරහාය. ඒ සමඟ සයිටම් කතාවේ නව ප්‍රවනතා හා සිදුවූ සහ සිදුවන්නට යන දෑ පිළිබඳව ඔබට අනාවරණය කරන්නට අප මේ සටහන තබමු.

පළමුව මෙහි නිධාන කතාව සරල මෙසේය. සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ සිසුවියක් අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකරයි. ඒ තමන්ට වෛද්‍ය වෘත්තීයට පිවිසීමට ලියාපදිංචි වීමට ඉඩදෙන නියෝග කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. 2016 වර්ෂයේදී ගොනුකළ නඩුවට 2017 ජනවාරි 31ක දින අභියාචනාධිකරණය තීන්දුව ලැබෙන්නේ සිසුවියට පක්ෂවය. මෙහිදී වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනුකරයි. එහෙත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කළ අතර ලියාපදිංචි නොකිරීමෙන් සිසුවියට සිදුවූ පාඩුවට වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ගෙවන්නටද වෛද්‍ය සභාවට නියෝග කෙරිණි. ඉහත දක්වන ලද සිදුවීමේ අවසන් තීන්දු පසුගිය සතියේ ප්‍රකාශයට පත්වීමත් සමඟම පෙර කී පසු සයිටම් කම්පනය රට තුළ ඇතිවුණි.

මේ වනවිට සයිටම් අහෝසි වී ඇත. සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට සුදුසුකම් අනුව ඇතුළත් කරගෙන ඇත. එසේ නම් මෙම තීන්දුව කුමක්ද? අධිකරණ විසින් දෙනු ලැබූ තීරණය නැවත ප්‍රශ්න කිරීමට අපට හැකියාවක් නැත. එහෙත් මෙම තීන්දුව සමස්ත සයිටම් අර්බුදය හා සසඳා ගැනීම වටී.

පසුගිය කාලයේ සයිටම් කතාවේ අවසන් පරිච්ඡේදය ලියවුණු ආකාරය පිළිබඳව සිහිපත්  කරගමු. නිමක් නැතිව හතර අතේ පැටලී තිබූ සයිටම් අර්බුදයට ජනපති පවා මැදිහත් විය. ඒ අනුව සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්‍වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට අදාළ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වන්නේ පසුගිය ජුනි 20 වැනිදාය. ඒ අනුව සුදුසුකම් පරීක්ෂා කර බලා සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය විද්‍යාලය ඇතුළත් කර ගැනීම ඇරඹුණි. මෙම සිසුන් අන්තර්ග්‍රහණය අවසානයේ සයිටම් අහෝසිවන බව කියවුණි. ගැටලුව නිමා වන්නේ එලෙසිනි.

දැන් මෙම නඩුතීන්දු හා පනත සම්බන්ධ අවස්ථා සම්බන්ධ අවබෝධ කරගත යුතුව ඇත. පනතට අනුව සයිටම් සිසුන් අන්තර්ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලියට සයිටම් උපාධිය ලැබූ මෙම සිසුවිය ඇතුළු පිරිසත් අයත්ය. එවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව වෛද්‍යවරියක් ලෙස ලියාපදිංචියට අවස්ථාව ලබන මෙම සිසුවිය ඇතුළු සයිටම් වෛද්‍ය උපාධිධාරීන් පිරිස ව්‍යවස්ථාදායකයේ පනතට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් විය යුතුය. පනත බලාත්මක කළේ ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රයෙන් බැවින් විධායකය ද මෙයට ඈඳේ. දැන් බැලූ බැල්මට අධිකරණය ව්‍යවස්ථාදායකය හා විධායක අතර ගැටලුවක් නිර්මාණය වී තිබේ. එහෙත් නඩු තීන්දුව තාක්ෂණික කාරණා මත පදම්ව ලබාදුන් බව අප අමතක කළයුතු නැත.

මෙය මෙසේ සිදුවූයේ කෙසේද? ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් නැතත් එය එසේ නොවන්නට තිබූ ඉඩකඩ අප උපකල්පනය කරමු. මෙම සිසුවිය නියෝජනය කරන පිරිස පනත කෙටුම්පත් කරන අවස්ථාවේදී මෙම නඩුව පිළිබඳව යම් දැනුම්දීමක් අදාළ පාර්ශව වෙත සිදුකළා නම් එවිට උපාධිය ලැබූ මෙම ශිෂ්‍ය පිරිස කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම පිළිබඳව යම් වෙනසක් සිදුකිරීමට තිබිණි. නැතිනම් පනත කෙටුම් පත්කර පාර්ශ්වයන්ට ඒ පිළිබඳව සොයාබැලීමට ඉඩ තිබිණි. ජනාධිපතිවරයා ගැසට් පත්‍රය නිකුත් කරන්නේ අගෝස්තුවේදීය. එතැන් පටන් මාසයක් කාලයක් තුළ යම් වෙනසක් කීරීමේ හැකියාවක් තිබිණි. ඒ අවස්ථාව දැන් මග හැරී ඇත. එසේනම් තීන්දුව ක්‍රියාත්මකවීම තුළ ව්‍යාකූල ස්වාභාවයක් නිර්මාණවේද? අපට ඒ පිළිබඳව තව දින කිහිපයක් බලා සිටින්නට වනු ඇත.

මෙම තීන්දු හරහා මතුවන තවත් කාරණා කිහිපයක් මෙසේය. සයිටම් අධ්‍යාපන ක්‍රියාවලිය නියමයෙන් හෝ අනියමින් දැන් පිළිගැනීමකට ලක්ව තිබේ. එවිට සයිටම් ප්‍රමිතිය පිළිබඳව ගැටලුව අභියෝගට ලක්වන බවක් හැඟේ. එම ආයතනයේ උපාධිධාරියෙකුට වෛද්‍ය වෘත්තීය ඉඩහැරේ නම් දැන් කොතලාවලට ඇතුළත්ව සිටින සිසුන්ගේ පසුගිය අධ්‍යාපන පිළිබඳව යම් වටිනාකමක් නිර්මාණය වෙයි. එහෙත් නැවත අප මතු කරනුයේ මෙම නඩු තීන්දුව තාක්ෂණික කාරණා මත පදනම්ව ඇති බවයි. අද වනවිට මෙම තීන්දුවට සමගාමීව සයිටම් අර්බුදයේ පසුගිය පාර්ශවකරුවන්ගේ වර්තමාන මතයට අප ප්‍රශ්න කළෙමු.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලය හෙවත් අන්තරේ සයිටම් අර්බුදය ප්‍රබල පාර්ශවකරුවෙකි. ඒ අනුව අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මේ සංවාදයට එක්කර ගතිමු.

“අපි දන්නා තරමින් නඩු තීන්දුවකට වඩා උඩින් තියෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන පනතක්. මේ පනතට අනුව ගත්තොත් සයිටම් එක අහෝසි වෙනවා. සයිටම් එකේ ශිෂ්‍යයෝ සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය වෙනවා. එහිදී යම් ක්‍රියාවලියකට අනුව තමා ඔවුන්ට උපාධිය ප්‍රදානයක් සිද්ධවෙන්නේ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක පාවිච්චි කරලා කවුරු හරි උත්සහා කරනවා නම් නැවත සුදුසුකම් නොමැති සයිටම් ශිෂ්‍යයෝ ලියාපදිංචි කිරීමක් කරන්න හරි, සයිටම් එකම නැවත නීතිගත මට්ටමකට ගේන්න හරි, අපිට කියන්න තියෙන්නේ නැවත අපි සයිටම් එකට අදාළ අරගලය ආරම්භ කරන බවයි.”

ඔහු මේ සමාගමීව මතුකරණ කාරණා කිහිපයක් ඇත. විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමතිවරුන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව අවධානයෙන් සිටින බව ඔහු පවසයි. තවදුරටත් මෙයට අදාළ සියලු පාර්ශ්ව එකතුකර ගනිමින් සාකච්ඡා සිදුකරන බව ද පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙම සංවාදයට එකතුවෙයි. ඔවුන් මේ වනවිට නඩු තීන්දුවට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එමෙන්ම පසුගිය 26 වැනි දින සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වන නව ප්‍රවණතා පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර ඇත. එම ලිපියෙන් කොටසක් උපුටා දක්වමු.

“මෙලෙසින් සයිටම් අර්බුදය නැවත් කරළියට ගෙන ඒමටත්, ඒ හරහා රජය අපහසුතාවයට පත් කිරීමටත්, වෛද්‍ය සභාව අකර්මණ්‍ය කර තම දේශපාලන බල ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමටත්, වෛද්‍ය ආඥා පනත තමා වටා සිටින කුලී සිවිල් සමාජයේ අවශ්‍යතා අනුව අත්තනෝමතික ලෙස වෙනස්කොට ස්ථාවර සෞඛ්‍ය පද්ධතිය කඩා බිඳ දැමීමටත් කටයුතු කරමින් සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බවයි.”

මේ අනුව සෞඛ්‍ය ඇමැතිවරයාට චෝදනා කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජනය හරහා මතුවන අතුරු ප්‍රශ්න ගණනාවක් පිළිබඳව මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළ බවයි.

සයිටම් සිසුන් වෙනුවෙන් පසුගිය කාලයේ විශාල හඬක් නැගූ සයිටම් සිසුන්ගේ දෙමාපිය සංගමය දැන් විසුරුවා හැර ඇත. එහෙත් මේ පිළිබඳව අදහසක් දැන ගැනීමට අප එහි හිටපු සභාපති ගැමුණු විජේරත්න මහතා ඇමතුවෙමු.

“තාක්ෂණික කාරණා මත නඩු තීන්දුව නිවැරදියි. අපිට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න බෑ. අද අපේ ළමයින්ව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගෙන තියනවා. ඒක අපිට ලොකු දෙයක්. මෙතනදී සුදුසුකම් පරීක්ෂා කරලා තමයි අපේ ළමයි කොතලාවල ආරක්ෂා විශ්වවිද්‍යාලට ඇතුළත් කරගත්තේ. ජාත්‍යන්තර පිළිගත් හොඳ වෛද්‍ය උපාධියක් එතැනින් ලැබෙනවා. සුදුසුම්කම් නැති පිරිස් ප්‍රතික්ෂේප වුණා.”

ඔහු පවසන පරිදි පනතට අනුව මෙම නඩුව ගොනුකර ඇති සිසුවියත් කොතලාවලට ඇතුළත් විය යුතුය. නඩු තීන්දු හරහා යම් ගැටලුවක් නිර්මාණය වී තිබෙන බව ඔහු පිළිගනී. එහෙත් කොතලාවලට ඇතුළත් වූ සිසුන්ටද යම් පිළිගැනීමක් මේ හරහා ලැබෙයි. කෙසේ වෙතත් කොතලාවල වෛද්‍ය පීඨයට තම දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සහ සයිටම් අර්බුදය නිමාවීම සම්බන්ධ ඔහු සතුට පළකරයි. රජයට ස්තූති පළකරයි.

විවිධ පාර්ශව විසින් පළකර අදහස් එසේ වුවත් සමාජ කතිකාවතේ මේ පිළිබඳව වන මත කිහිපයක්ද අප අවධාරණයට ලක් කරමු. ඒ අනුව මෙම නඩුව පිටුපස සිටියේ සයිටම් ආයතනයි. ප්‍රකට නීතිඥයන්ට අධික මුදල් ගෙවා මෙම සියලු කටයුතු සිදුකළේ එම ආයතන වෙයි. නමුත් නඩුවේ ප්‍රතිඵල එනවිට සයිටම් අහෝසි වී ඇත. මෙම තීන්දු කලින් ලැබුණේ නම් එය හොඳ තුරුම්පුවක් වන්නට තිබිණි. සයිටම් නීත්‍යානුකූල බව තහවුරු කිරීමට ඔවුනට හැකිවන්නට තිබිණි. කෙසේ වුවත් දැන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුව ඇත. ඊළඟට ඔවුන් යමක් සිදුකරනු ඇද්ද නැතිනම් නිහඬවනු ඇද්ද කියා දන්නේ ඔවුන්ම පමණකි.

මේ සියලු කාරණා සම්පිණ්ඩනය කළ පසු අපහට අවසාන වශයෙන් කිවයුත්තක් තිබේ. කුමක් සිදුවුවද සිදුවන කිසිවක් තනිකොට සිතීම අනුවණකමකි. සියලු සිදුවීම් දම්වැලක පුරැක් මෙන් එකට ඇමිණී ඇත. ධනය බලය, දේශපාලන, පෞද්ගලික අරමුණු ආදී වූ දහසකුත් දේ සයිටම් පිටුපස තවමත් හොල්මන් කරමින් සිටී. අපිද තැති නොගෙන බලා සිටිමු.

►චමිඳු නිසල් ද සිල්වා