
එක්සත් ජාතීන්ගේ 73 වැනි රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණියේය.

ජනාධිපතිවරයා සමඟ විදේශ අමාත්‍ය තිලක් මාරපන, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න, ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එස්. එම්. මරික්කාර්, වඩිවේල් සුරේෂ් සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද පැමිණ සිටියහ.

මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුව අභිනව මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් සංවිධානය කරන ලදී. රාජ්‍ය නායක සමුළුවට සමගාමීව තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගණනාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය. එයින් ප්‍රධාන හමුවීම් ගණනාවක් අප රටට බෙහෙවින් ඵලදායී වූ බව වාර්තා වේ.
මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා සමඟ පැවති හමුව මෙන්ම මිලේනියම් සහශ්‍රක අරමුදලේ ප්‍රධානියා සමඟ පැවති හමුව ද අප රටට බෙහෙවින් ඵලදායී ප්‍රතිඵල ගෙනාවේය.
නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර සාම සමුළුව සහ බෝ නොවන රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇතුළු තවත් විශේෂ අවස්ථා ගණනාවකට ජනාධිපතිවරයා සහ ඇමැතිවරු එක්වූහ. ඊට අමතරව අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාව ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්තිවලට දායක වීමේ විශේෂ අවස්ථා මතු කර දුන් බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
පුරා දින 6ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවර සිදුකළ නිල සංචාරයේ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප පෙළක් මේ සමඟ පළවේ.
►රංජිත් ආනන්ද ජයසිංහ නිව්යෝර්ක් නුවර සිට
සේයාරූ - සුදත් සිල්වා