
“මියගිහින් තියෙන්නේ මගේ මල්ලි. අයියා නැති වුණෙත් තාත්තා කරපු පිහි ඇනුමක් නිසයි. ඒකෙ වෛරය තමයි මල්ලිට හැමදාම තිබුණේ. ඒ නිසා දෙන්නා අතර නිතරම කෝලාහල ඇති වුණා. එදා හවසත් දෙන්නා අතර ප්රශ්නයක් වෙලා තියෙනවා. මට සද්දෙ ඇහුණත් මම ගියේ නෑ. රෑ වෙලා ඇවිත් බලද්දි මල්ලි මිදුලේ වැටිලා හිටියා. හැමතැනම කරන්ට් වයර් තිබුණු නිසා අපි කිට්ටු වුණේ නෑ..”
මාතර වල්ගම ප්රදේශයේ පියා සහ පුත්රයා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හටගත් ආරවුල නිසා පියා විසින් පුත්රයාට විදුලි සැර වද්දවා ඝාතනය කළ සිද්ධියේ මරණකරුගේ වැඩිමල් සොහොයුරිය එසේ කීවාය.
උදාර මධුශංක හා සුරේෂ් මධුශංක එක කුස උපන් සොහොයුරෝ වූහ. මාතර, වල්ගම ගම්මානයේ මීට වසර දහයකට පමණ ඉහතදී ගැටවරයන්ව සිටි සොහොයුරන් දෙන්නා විටෙක මිතුරන් වැනිය. තවත් විටෙක ගැටුම් ඇති කරගෙන තිබුණේ දකිනවුන් හට වෛරයෙන් පෙළෙන බව හැඟවෙන තරමටය. ඒ තරමටම දෙන්නාගේ සෙල්ලම ලෙල්ලම ප්රසිද්ධිය. සොහොයුරන් දෙන්නාගේ අදහස කෙසේ වෙතත් ඔවුන්ගේ පියාට දෙන්නාගේ අඬදබර එපා වී තිබුණි. මේ අයුරින් දෙන්නා දිනෙක රණ්ඩුවක පැටලී සිටියහ. ටික වේලාවක් ගතවෙද්දී කේන්තියෙන් එතැනට ආ දරුවන්ගේ පියා මන්නයකින් වැඩිමහල් දරුවාට ප්රහාරයක් එල්ල කළේය. පහර කාගෙන ඇද වැටුණු දරුවා මියගොස් තිබුණේ සිය සොහොයුරා ඉදිරියේය. මේ කතාව මීට වසර දහයකට පමණ ඉහතදී සිදුවූවකි.
පිහි ඇනුමකින් වැඩිමහල් පුත්රයා ඝාතනය කිරීමේ චෝදනාවට හිරබත් කෑ පියා වසර ගණනාවකට පසු ගිය වසරේ නිදහස ලබා පැමිණ සිටියේය. එහෙත් වසර ගණනාවක් ගත වුවද තම සොහොයුරා ඝාතනය වීම පිළිබඳ මතකය උදාරගේ සිතින් ගිලිහුණේ නැත. මරණයට වරදකරු වූ තම පියා පිළිබඳ වෛරයෙන් පසු වූ ඔහු නොයෙක් විට තාත්තා සමඟ වාදයට පැටළුණේ අයියාගේ ඝාතනය ගැන කියමිනි. මේ ආකාරයට වසරකට වැඩි කලක් දෙදෙනා අතර විරසකය පැවතීම නිසා උදාරගේ මව ඒ අසල පිහිටි සිය දියණියගේ නිවසේ කල් ගෙවීමට පිටවී ගියාය.
දිනය ඉකුත් 25 වැනිදාය. එදින පස්වරුවේ පියා හා පුත්රයා අතර විරසකයක් ඇතිව තිබුණි. ත්රිරෝද රථයක් කුලී සේවයේ යොදවමින් සිටි උදාර තරමක් මත්පැනට ඇබ්බැහි වී සිටියේය. එවැනි අවස්ථාවක පියා සමඟ සිදු කෙරෙන වාද විවාද ගැටුම් අපමණය. පෙර කී 25 වැනිදා එවැනි දිනයකි. මෙදින රාත්රිය එළැඹී තිබියදී ගෙදරට කිට්ටුව පිහිටි උදාරගේ අක්කාගේ නිවෙසට පැමිණි උදාර ටික වේලාවක් ගත කළේය. නැවත පිටව ගොස් තිබුණේ ද සිය පියාට දෝෂාරෝපණය කරමිනි.
වෙලාව රාත්රී 9.30 පසුවී තිබුණි. තවත් මොහොතක් ගතවෙද්දී දෙදෙනාගේ රණ්ඩුසරුවල් අවසන් වූ බවක් පෙනෙන්නට විය. මේ අතර උදාරගේ සොහොයුරිය නිවෙස දෙසට ගොස් තිබුණේ මල්ලිගේත් තාත්තාගේත් තත්ත්වය දැන ගැනීමටය. ඒ යන අතර අසල්වැසි නිවෙසක කාන්තාවක් ඇයට කියා තිබුණේ ගෙදර මිදුල පුරා කරන්ට් වයර් දමා ඇති බවත් කල්පනාවෙන් යන ලෙසත්ය. ඊට ඇහුම්කන් දෙමින් නිවෙස කිට්ටවට ගිය ඇය දැක තිබුණේ මල්ලි බිම වැටී සිටින බවය. වයර් කිහිපයක් ඒ මේ අත වූයෙන් ඇය ළං නොවූවාය.
දුටු දසුනෙන් තැතිගත් ඇය සිදුවීම පිළිබඳව 119 අංක අමතා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නාය. ටික වේලාවකට පසුව මාතර පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ විමර්ශන ඇරැඹූහ.
ගෙදර දොරකඩ අසල මිදුලේ වැටී සිටි තරුණයාගේ වම් අත මැණික් කටුවත් වැලමිටත් අතර වයරයක් පැටලී තිබිණ. එතැන විදුලි සැර වැදී මරණයට පත්ව තිබුණේ උදාර මධුශංක නැමැත්තාය. නිවසේ ප්රධාන විදුලිය සැපයුම සහිත පේනුව අසලින් ලබාගත් විදුලි වයරයක් ජනේලය, දොර ඇතුළු නිවස වටා ස්ථාන කීපයක ඒ මේ අත ඇද තිබුණි. සිද්ධියට සැක කිසිවෙක් ඒ මොහොතේ අසල නොවීය. සැක බවට පැවසූ පියා ගමෙන් පලා ගොස්ය. පොලීසිය පියවර ගෙන තිබුණේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් කැඳවා ස්ථානය පරික්ෂාවට ලක්කිරීමටය. අනාවරණය වී තිබුණේ නිවෙස තුළින්ම විදුලිය සපයාගෙන ඇති බවය. වැඩිදුරටත් පොලීසිය හෙළි කරගෙන තිබුණේ සැලසුම් සහගතව සිදුකළ ක්රියාවකින් ඝාතනය සිදුකර ඇති බවය. අනතුරුව ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සුනිල් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබුණේ මාතර බස් නැවතුමේ නවතා තිබූ බස් රථයක නිදාගෙන සිටියදීය.
මාතර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන, අපරාධ අංශ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කමල් කිරිඇල්ල, පොලිස් පරීක්ෂක විජේරාම සමඟ පොලිස් සැරයන් 14774 ජයන්ත යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
♦ සමන්ත ප්රදීප් විල්තෙර