
මේ වනවිට ඉතා වේගවත් වී ඇති අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල වීම නවත්වා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය බවට පත්ව තිබේ. එසේ නොවුණහොත් අනාගතයේදී රටේ සමස්ත ආර්ථිකය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයද කඩාවැටීමෙන් ඉමහත් අර්බුදයකට මුහුණ පාන්නට සිදුවන බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු හඟවා ඇත.
පසුගිය සතිය තුළ පමණක් රුපියලේ වටිනාකම රුපියල් 163 සිට 171 දක්වා රුපියල් 8කින් හෙවත් සියයට 5කින් කඩා වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව සනාථ වේ. 2018 සැප්තැම්බර් 21 දා රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වී ඇති අතර එය රුපියල් 2.02ක් විය. 2017 වසර අවසානයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 153 වූ අතර දැන් එය 171 වීම සියයට 11ක පහළ යාමක් වී තිබේ. මෙම පහළ යාම ඉදිරියේදී තවත් වැඩිවනු ඇති බවට සැක පහළ කරයි. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ද අනාගතයේදී රුපියලේ අගය තවත් පිරිහෙනු ඇතැයි පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
රුපියල අවප්‍රමාණ වීම නිසා සිදුවන හානි කිහිපයකි. ආනයන භාණ්ඩවලට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වීමෙන් රට තුළ ආනයන භාණ්ඩවල මිල ඉහළ යයි. දැනටමත් මෙය සිදුවෙමින් පවතී. එසේම ශ්‍රී ලංකාවේ ආනයනවලින් සියයට 90ක් පමණ ආවරණය වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලින් නිසා ඒවායේ මිල වැඩිවීමෙන් රටේ පොදු මිල මට්ටම හෙවත් උද්ධමනය ඉහළ යයි. එය ජනතාවගේ ජීවන තත්ත්වයට ඉතාම හානිකර වේ. මෙලෙස ඉහළ යන උද්ධමනය නිසා අපනයනවල මිල ඉහළ යාමෙන් ලෝක වෙළෙඳපොළේ තරග කිරීමේදී අපට සිදු වන්නේ අවාසියකි.
විදේශ ආයෝජකයන් රටේ කොටස් වෙළෙඳපොළේ හා රාජ්‍ය සුරැකුම්පත් ආදියේ කර ඇති මුදල් ආයෝජන ඉවත් කර ගැනීමේ ප්‍රවණතාවක් උද්ගත වේ. එයට හේතුව වන්නේ තමන් ලබන රුපියල්වලට හිමිවන ඩොලර් ආදායම පහළ වැටීමය. ප්‍රධානම හානිය සිදුව ඇත්තේ විදේශ ණය බර ඉහළ නැඟීමය. පසුගිය වසර තුන තුළ ගෙවීමට තිබූ ණය රුපියල් බිලියන 896.9කින් ඉහළ ගොස් ඇති අතර, එයට තවත් බිලියන 472ක් එකතු වී ඇත. රුපියල අවප්‍රමාණය වීම නිසා සෑම ඩොලරයකටම රුපියල් 10ක් වැඩිපුර ගෙවන්නට සිදුව තිබේ.
රුපියල අවප්‍රමාණය වීමෙන් අපේ අපනයන වැඩි වී අපට යහපතක් වූ බව හුවා දක්වන්නට ඇතැම් ඇමැතිවරුන් උත්සාහ ගත්තද සත්‍ය වශයෙන්ම සිදුවෙමින් පවතින්නේ ආනයන වියදම් විශාල ලෙස වැඩි වී අපනයන ඉතා සුළු වශයෙන් වර්ධනය වීමය. ඒ නිසා වෙළෙඳ ශේෂ පරතරය ඉහළ යාමෙන් අපට සිදුවන හානිය විශාල වී ඇත.
කෙසේ වුවද රුපියල අවප්‍රමාණය වීමෙන් සිදුවෙමින් පවතින හානි අවම කරලීම සඳහා ආනයන පාලනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ. අගමැති මෙන්ම මුදල් ඇමැති ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ආනයන පාලනය මේ සඳහා ගතහැකි ක්ෂණික විසඳුම බවය.
මේ හැර ඩොලරයේ අගය ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව මුහුණ දීමේ වැඩපිළිවෙළක් නිර්දේශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රටේ ඉහළම මට්ටමේ ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට යන බවද සැලවී තිබේ. ඩොලරයේ අගය උපරිම ලෙස ඉහළ ගොස් නවතින තීරණාත්මක අගයේදී රුපියල ආරක්ෂාකර ගැනීම සඳහා ගතයුතු පියවර මෙමඟින් සොයා බලනු ඇත. එසේම ඩොලර් රට තුළට ගෙන ඒම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රමවේද සකස් කිරීම ද මෙම කමිටුවට පැවරී ඇති වගකීමක් වේ.
කෙසේ වුවද මේ වනවිට ආනයන සීමා කිරීමට ආණ්ඩුව පටන් ගෙන තිබේ. එහි එක් පියවරක් වශයෙන් බදු සහන යටතේ මෝටර් රථ ආනයනය කිරීමට තිබූ වරප්‍රසාදය අහෝසි කිරීමට යෝජනා කර ඇත. එසේම ආනයනය කරන වාහන සඳහා සීමා කිරීම ද මේ වනවිට පනවා ඇත. වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීමට පෙර වාහනයේ මුළු වටිනාකම එකවර ගෙවිය යුතුයැයි කොන්දේසියක් පනවා ඇත. එසේම වාහන ආනයනය කිරීමට පෙර ඒ සඳහා ලීසිං පහසුකම් නොසපයන ලෙස අදාළ ආයතනවලට නියම කර ඇත. මේ කොන්දේසිවලින් ආණ්ඩුව අපේක්ෂා කරනුයේ වාහන ආනයනය කරන්නන් උදාසීන කිරීමය. මේ නිසා බොහෝ දෙනා වාහන ආනයනය කිරීම නවත්වන අතර වාහන ආනයනය කර අලෙවි කරන සමාගම් අකර්මන්‍ය වෙයි.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් පවසන්නේ පසුගිය සතිය තුළදී වාහන මිල සියයට 5කින් පමණ ඉහළ ගිය බවය. මේ නිසා රට තුළ ඇති වාහනවල මිලද ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් පවතී. අමෙරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටර්ලින් පවුම් වැනි වැනි මුදල් ඒකකවල ද අගය ඉහළ ගොස් ඇති නිසා එම රටවලින් ගෙන්වන වාහනවල ද මිල ඉහළ ගොස් තිබේ.
බොහෝ දෙනා පාවිච්චි කරන සුසුකි වැගන් ආර් මෝටර් රථය ලක්ෂ 34 සිට 36 දක්වා ද රුපියල් ලක්ෂ 69ක්ව තිබූ ටොයෝටා ඇක්සියෝ රථය ලක්ෂ 72 ½ දක්වා ද, ප්‍රිමියෝ රථවල මිල ලක්ෂ 84 දක්වා ලක්ෂ 4කින් ද ඉහළ ගොස් ඇති බව ඔහු කියයි. ආණ්ඩුව පැනවූ ආනයන කොන්දේසි නිසා වාහන ගෙන්වීම අඩුවීම හේතුවෙන් තවදුරටත් වාහන මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිව ඇති බව ඔහු කියයි.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ දැනට ඇති මුලින් ගෙන්වූ වාහන විකිණී අවසන් වූ පසු ඊළඟට ආනයනය කරන තොගවල මිල වැඩිවනු ඇති බවය. තවමත් අලෙවි වෙමින් පවතින්නේ වාහන ආනයනකරුවන් පැරුණි මිලට ගෙන්වූ වාහන වන අතර එයද මන්දගාමී ස්වරෑපයෙන් සිදුවන නිසා ඒවායේ මිලද පහළ දමා විකුණන බව ඔහු පැවසුවේය. කෙසේ වුවත් ඉදිරියේදී වාහන අලෙවිය තවදුරටත් අඩුවනු ඇති බව ඔහුගේ අදහස වේ. මේ නිසා ව්‍යාපාරිකයන් එම ව්‍යාපාරවලින් ඈත් කිරීමට හේතු වෙයි.

ආනයන සීමා කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වන ආර්ථික විද්‍යා මහාචාරිනී ප්‍රේමා පොඩිමැණිකේ මහත්මිය මෙසේ ප්‍රකාශ කරයි.
1977 දී විවෘත වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වනවිට අමෙරිකානු ඩොලරයේ අගය තිබුණේ රුපියල් 7ක මට්ටමේයි. අද වනවිට එය රුපියල් 170 පසුකර තිබෙනවා. මෙම තත්ත්වය අද ඊයේ හදිසියේ ඇතිවූවක් නොව දිගුකාලීනව සිදුවෙමින් තිබුණු ආර්ථික අවපාලනය නිසා සිදුවූ ප්‍රතිඵලයක්. අද වනවිට එහි උපරිමයට ළඟා වී තිබෙනවා. ආනයන පාලනය කිරීමට ආණ්ඩුවට දැනුයි මතක් වී තිබෙන්නේ. ආනයන පාලනය කර දේශීය නිෂ්පාදන වැඩිදියුණු කිරීම මුල සිටම කළා නම් අපට අද වනවිට මේ ගැටලුවට මුහුණපාන්නට සිදුවන්නේ නැහැ. දැන් වුවද සිදුවිය යුත්තේ රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කර ඩොලර්වලින් කරන මිලදී ගැනීම අඩු කිරීමයි.
අපේ රටේ මේ වනවිට ආනයන අපනයන අතරේ විශාල වෙනසක් තිබෙනවා. වාර්ෂික ආනයනය ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැග ඇති අතර අපනයනය පවතින්නේ මිලියන 9ක මට්ටමේයි. බිලියන 11ක් වූ මේ වෙනස ඉක්මනින් සකස් කරන්න බැහැ. මෙයට දිගුකාලීන විසඳුම් දිය යුතුයි. දැන් විඳින්නට සිදුව ඇත්තේ මේ පිළිබඳ අප නොසලකා කටයුතු කිරීමේ විපාකයි. අපේ දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළයුතු අතර එසේ කරමින් ආනයන ක්‍රමයෙන් අඩුකළ යුතුයි. එහෙත් ආනයන අඩු කරනවා යැයි පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය දේවල් එකවර නවත්වන්නට ගියහොත් ජනතාව විශාල පීඩනයකට පත් වෙනවා. අද වනවිට සිදුව ඇති ආර්ථික පීඩනය තවත් ඉහළ යාවි.
අපි ආනයනය කරන්නේ බොහෝ කොට අත්‍යවශ්‍ය ආහාර වර්ගයි. ආනයනවලින් සියයට 90ක් පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයි. ඉතින් මේවා එකවරම අඩුකළහොත් විශාල ගැටලුවක් වෙනවා. එය රටේ ජනතාවගේ ජීවන පැවැත්මට වගේම ආණ්ඩුවේ දේශපාලන තත්ත්වය පවත්වාගෙන යාමට ද අහිතකර වෙනවා. ඒ නිසා එය ඉතාම කල්පනාකාරීව කළ යුතු දෙයක්. අප පමණක් නොව අමෙරිකාව වැනි ප්‍රබල රටවල් පවා මේ වනවිට ආනයන සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. අමෙරිකාව චීනයෙන් ගෙන්වන භාණ්ඩවලට බදු පනවා තිබෙනවා. වාහන ආනයන බදු සියයට 25කින් ඉහළ නංවා තිබේ. එවැනි පරිසරයක් තුළ අපේ රටටද ආනයන පිළිබඳ යළි සලකා බැලිය යුතුව තිබෙනවා. එහෙත් අවාසනාවකට වගේ දැන් අපි කරන්නේ යම් භාණ්ඩයක් රට තුළ හිඟ වූ විට, මිල ඉහළ ගියවිට එයට හේතු සොයාබලා පියවර ගන්නවා වෙනුවට අවිචාරශීලී ලෙස ආනයනය කිරීමටයි. බදු පහළ දමා ආනයනය වැඩි කිරීමයි. සහල්, අල, ලූණු, පරිප්පු ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල විවිධ හේතු නිසා ඉහළ ගියවිට රජය මේතාක් කළේ ජනතාව සතුටු කිරීමට කිසිවක් සොයා නොබලා එකවරම ආනයනය කිරීමයි. ඒ තත්ත්වය වහා නැවැත්විය යුතුයි.
එසේම අපට ආනයන ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා අනවශ්‍ය දේවල් විශාල ලෙස රට තුළට එනවා. අපේ රටේ සුලබ පළතුරු පවා ආනයනය කරනවා. විශේෂයෙන් කෙසෙල් ගෙඩි, අඹ, පේර ආදි රටේ ඇති තරම් තිබෙන පළතුරු ආදිය ආනයනය කිරීමට කිසිදු පාලනයක් කර නැහැ. මේ තත්ත්වය නිසා කූට වෙළෙඳුන් ඒවා ආනයනය කර විශාල ලෙස ලාභ ලබනවා. මෙම තත්ත්වය දේශිය ගොවියාට අහිතකරයි. පිටරටින් ගෙනැවිත් අඩු මිලට අලෙවි කළ විට දේශීය නිෂ්පාදකයා අමාරුවේ වැටෙනවා. එසේම ඇපල්, මිදි, පෙයාස් වැනි පිටරට පළතුරු කිසිදු සීමාවකින් තොරව ගෙන ඒමට ඉඩ දී තියෙනවා.
බෝනික්කන්, සරුංගල්, කෘත්‍රිම සහ ස්වභාවික මල් වර්ග, සුවඳ විලවුන්, පාවහන්, ඇඟළුම්, ක්‍රීඩා භාණ්ඩ ආදී අනවශ්‍ය දේවල් කිසිදු සීමාවකින් තොරව ආනයනය කිරීමට ඉඩ දී තිබෙනවා. ඇතැම් වෙලාවට අපි ගෙන්වන්නේ ප්‍රමිතියෙන් අඩු භාණ්ඩයි. හොඳ නිෂ්පාදන අපේ රටේ තිබියදී ප්‍රමිතියෙන් අඩු භාණ්ඩ මෙලෙස අසීමිතව ආනයනය කිරීමට ඉඩ දීම පැති කිහිපයකින් ආර්ථිකයට අහිතකරයි..
එසේම සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, එට්කා ගිවිසුම වැනි වෙළෙඳ ගිවිසුම් නිසා රටට අනවශ්‍ය භාණ්ඩ පැමිණීමේ ප්‍රවණතාවක් ඇතිව තිබෙනවා. මේ ගිවිසුම් අත්සන් කිරීමේදී ඉතාම කල්පනාකාරීව කළ යුතු වෙනවා. පෞද්ගලික සහ දේශපාලන වාසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොව රටට වැඩදායක ලෙස විදේශ ගිවිසුම් සකස් කළ යුතුයි. ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒ ගැන ජනතාව හා උනන්දුවක් දක්වන අය දැනුවත් කළ යුතුයි. එසේ නැතුව රහසේ කළ යුතු නැහැ.
මා නම් සිතන්නේ දැනට රටේ සිදුව ඇති ආර්ථික කඩා වැටීම යම් පමණකට හෝ අවම කිරීමට කෙටි කාලීන වශයෙන් ආනයන සීමා කිරීම හොඳ වුවත් මේ අවස්ථාවේදී ඉතා කල්පනාකාරීව තීරණ ගත යුතු බවයි. එසේ නොකර අවිචාරශීලී ලෙස ආනයන සීමා කිරීමට ගියහොත් ජනතාවගේ ජීවන බර ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම, ආර්ථික වර්ධනය පහළ යාම ආදී අවාසි සිදුවිය හැකි බව කිය යුතුයි.
►යසවර්ධන රුද්‍රිගු