2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

වසා දැමූ ෆොක්ස්වැගන් සුරතලා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 386

කාර් පිස්සුව දැන් කාලයේ උපහාසයෙන් හඳුන්වන්නේ රථගාය කියාය. රථගාය විවිධාකාරය. කාර්වලින් ගමන් කරන්නට ඇති ගාය, කාර් මාරු කරමින් ඒවා භාවිතා කරන්නට ඇති ගාය ආදී වශයෙන් එම ගාය එක් එක් ආකාරයෙන් එකිනෙකෙන් වෙනස් වෙයි. එහෙත් වසර 60කට වැඩි කාලයක් තිස්සේ ෆොක්ස්වාගන් බීට්ල් රථය කෙරෙහි ඇති ආසාව රථගායකට වඩා එක්තරා ආකාරයක පෙම් බැඳීමක් හා සමානය. ෆොක්ස්වාගන් බීට්ල් රථයට පෙම් බැඳීමත්, ඒවා පරිස්සමින් පරිහරණය කරමින් ඒ කෙරෙහි දශක ගණනාවක් පුරා උමතු ආසාව පවත්වාගෙන ඇත්තේ අපේ රටේ වාහන හිමියන් පමණක් නොවේ. 1937 පටන් මූලික හැඩය ඒ ආකාරයටම පවත්වා ගනිමින් කරගෙන ආ ෆොක්ස්වාගන් බීට්ල් රථය නිපදවීම 2019 දී නවතා දමන බවට මේ මාසයේ රොයිටර් වාර්තාවක් පළවී තිබේ. එයින් මෙම වාහනයට සංවේදී අයට, යම් තරමක හෝ සංවේගයක් දැනෙනු නොඅනුමානය. ලෝ පුරා ජනයා බීට්ල් රථය හැඳින්වූයේ Bug – බග් යන ආදරණීය නාමයෙනි. කුරුමිණියාගේ හැඩය ගත් නිසා ඊට Beetle යන නම තැබිණි. පොදු ජනයා ඊට තැබුවේ මකුණා හෝ කුඩා කෘමියා හඳුන්වන Bug යන නමයි.

දශක හතකට වැඩි කාලයක් පුරා ලෝ පුරා වාහන හිමියන්ගේ ජනාදරය දිනාගන්නට මෙම රථය සමත්වීමට බල පෑ හේතු සාධක මෙම රථය නිර්මාණය කිරීමේ අරමුණ තුළම ගැබ් වී ඇති බව පෙනේ. එම අරමුණෙන් මෙම රථය නිර්මාණය කිරීමට මූලිකවම බලපෑවේ “ජනතාවට කාර් රථයක්” නිර්මාණය කරන ලෙස නියෝග කරමින් හිට්ලර් ගෙන ආ සංකල්පයයි. (නාසිවාදය තුළ පවා පොදු ජනයා අරමුණු කොට දුන් නියෝගවල යම් සාධනීය බවක් පවතින බව පෙනී යයි)

“ජනතාව වෙනුවෙන් කාර් රථයක්” යන සංකල්පය යටතේ නාසි ජර්මනියේ සෑම ජර්මානුවකුටම කාර් රථයක් හිමිවිය යුතු බවට හිට්ලර්ගේ අදහස විය. (ඔහුගේ අදහසද එකල නියෝගයක් සේමය) මෙය නිර්මාණය කිරීමේදී හිට්ලර් එම යෝජිත වාහනයේ තිබිය යුතු විශේෂ ලක්ෂණ ලෙස නියම කළ ඒවා අතර පහත සඳහන් දේ ද විය.

1. යෝජිත රථයෙන් වැඩිහිටියන් දෙදෙනකුට හා දරුවන් තිදෙනකුට එකවර යා හැකි විය යුතුය.

2. මූලික වාහනයක ඇති පැයට සැතපුම් 62ක වේගය රඳවාගත හැකි විය යුතුයි.

3. වාහනයේ මිල එවකට ජර්මනියේ භාවිත මුදල් ඒකකය වූ රයිෂ් මාර්ක් (ඩොයිෂ් මාර්ක්වලට පෙර) 990 ඉක්මවා නොයා යුතුය. (එවකට RM990ක් ඇ.ඩො. 396කි) ජර්මානු මෝටර් සයිකලයක එවකට මිල වූයේ සාමාන්‍යයෙන් RM32කි.

4. මෙම රථයේ ඇන්ජිම ජලයෙන් නොව වාතයෙන් සිසිල් (Air Cooler) කරන්නක් විය යුතුය.

1932 සිට 1938 දක්වා ක්‍රියාත්මක වූ ඉහත කී “ජනතාවට කාර් රථයක්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ ඒ කාලයේ, කාර් රථය යනු සාමාන්‍ය ජර්මානුවකුට කිට්ටු කළ නොහැකි සුඛෝපභෝගී භාණ්ඩයකි. කාර් තිබුණේ ජර්මානුවන් 50 දෙනකුගෙන් එක් අයෙකුටයි. මෙම  “Peoples Car” ව්‍යාපෘතියේදී 1932 සිට 1938 දක්වා ජර්මානු යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තයේ විවිධ පර්යේෂණ හා විවිධ අත්හදා බැලීම් කරනු ලැබ වරින්වර මෙම සංකල්පයට ගැලපෙන කාර් නිර්මාණය කිරීම සිදුවිය. අවසානයේ 1937 මැයි 28 දින උත්සාහය ඵල දැරුවේය. ඇඩොල්ෆ් හිට්ලර් යටතේ ජර්මානු කම්කරු පෙරමුණ විසින් නිර්මාණය කළ රථයක් ලෙස මෙම Beetle රථය වාර්තාගත කොට තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ෆොක්ස්වාගන් සමාගමේ කටයුතු නැවත ඇරඹෙන විට එය සැලකුවේ ජර්මන් කාර්මික බලය ප්‍රජාතන්ත්‍රීය ලෝකය තුළ නැවත ගොඩනැගීමක් ලෙසයි. කෙසේ වුවද 2016 වනවිට ෆොක්ස්වාගන් සමූහය, ලෝකයේ විශාලතම අලෙවිය, එම වර්ෂය තුළ වාර්තා කළේය. Audi, SEAT, පෝෂේ, ලැබ්බෝගිනි, බෙන්ට්ලි, ස්කානියා, MAN, Skoda යන සියලුම වාහන නිෂ්පාදන කර්මාන්තයන්ට අදාළ ව්‍යාපෘති යාවී තිබුණේ ෆොක්ස්වාගන් සමූහයටයි.

මෝටර් රථ කාර්මික වෙළඳ පොළෙන් 20%ක් අල්ලාගෙන තිබුණේ ෆොක්ස්වාගන් සමූහය විසිනි. 2016 දී මෝටර් රථ මිලියන 6කට වඩා ඉන් නිපදවනු ලැබිණි. ආදායම යුරෝ බිලියන 77ට ආසන්න විය.

මේ වනවිට ෆොක්ස්වාගන් එකලස් කිරීමේ නිෂ්පාදන පහසුකම් ලෝකය පුරා රටවල් ගණනාවක ව්‍යාප්ත වී තිබේ. මෙක්සිකෝව, ඇ. එක්සත් ජනපදය, චීනය, ස්ලැවොකියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, රුසියාව ඉන් සමහරකි. Forbes Global -2000 තේරීම අනුව ලෝකයේ ධනවත්ම කොම්පැනි 25 අතරට ෆොක්ස්වාගන් අයත් වූයේය. 1999 දී Car of the Century තරගයේ කළ තේරීමේදී සියවසේදී ජනයාහට මහත් සේ බලපෑම් කළ, අනුභාවසම්පන්න බව අතින් හතරවැනි ස්ථානයට ෆොක්ස්වාගන් type 1 Beetle රථය තේරුණේය. (බීට්ල් රථය අභිබවා ගියේ Ford Model T, BMC – Mini, W Citron DS රථ පමණකි)

ෆොක්ස්වාගන් බීට්ල් රථයේ උපත, සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අතර පැතිරෙන රසකතා යාං හෑලි එමට ඇත. ලෝ පුරා ජනයා එම රථයට ඇළුම් කළේ එහි ඇති පිළිරුවක් හා සමාන හැඩයට බවද තැනක සඳහන්ය. බොහෝ ශ්‍රී ලාංකික වාහන හිමියන් පළමුව හිමිකරගත් රථය වූයේද (Second hand) ෆොක්ස්වාගන් බීට්ල් කාර් රථයයි. 1950 දී මෙම රථයේ ශ්‍රී ලාංකික නියෝජිතයා වූයේ කාර් මාර්ට් ආයතනයයි.

ෆොක්ස්වාගන් බීට්ල් රථයට ඇළුම් කරන ශ්‍රී ලාංකික බීට්ල් හිමියන්ගේ සමාජය 1996 පිහිටුවා ගත්තකි. තමන්ගේ රථ ප්‍රදර්ශනය කරමින් වාර්ෂිකව බීට්ල් රථ පෙරහරක් සංවිධානය කරන්නටද මෙම සමාජයේ බීට්ල් හිමිකරුවෝ මෙන්ම සිටිති. ඒ හැරුණු කොට ලෝක ෆොක්ස්වාගන් දිනය ජූලි 01දාට වසරක් පාසා සමරමින් විවිධ උත්සව උද්‍යෝගිමත්ව පවත්වන්නටද බීට්ල් සාමාජිකයන් උනන්දු වී තිබේ. එම වාහනය පිළිබඳ අළුත්වැඩියා, අලෙවි හුවමාරු තොරතුරු බෙදා ගැනීමද ඔවුහු කරති. ඉන් එක් දැන්වීමක් පළකොට තිබුණේ කාලෙකින් නොදුටු දරුවකු සොයන්නාක් මෙනි. එම දැන්වීම කෙටියෙන් මෙසේය. මා අළුත්පිට 1960දී මිලදී ගත් ෆොක්ස්වාගන් බීට්ල් රථය නැවත දැකගන්නට කැමැත්තෙමි. එහි අංකය (අංකය සටහන් කොට තිබිණි) වේ. කරුණාකර මේ ගැන හෝඩුවාවක් දැනගන්නට ලැබුණහොත් කියන්න එම අංක සඳහන් රථය නිට්ටඹුවේ තැනක ඇති වග කියවෙන පිළිතුරක්ද ලැබී තිබිණි.

අමෙරිකා එක්සත් ජනපදයේ ෆොක්ස්වාගන් අලෙවි කිරීම 1979 දී අත්හිටුවීමෙන් අනතුරුව 1990 දී එම අලෙවිය නැවත පටන් ගන්නට ආයතනය දැඩි අරගලයක යෙදී තිබේ. මෙම කාර්යය සඳහා බීට්ල් රථය නවීකරණය කරනු පිණිස එහි ආරම්භක පුරෝගාමියකු වූ Ferdinand Porshe ගේ මුණුබුරා වන Ferdinand Piech එහි කැඳවා තිබුණේය. ඉන්පසු 1998දී &New Beetle” රථය හඳුන්වා දෙනු ලැබුණි. 2018 වසරේ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ බීට්ල් වාහන 11151ක් අලෙවි වී ඇති බව වාර්තා වේ.

කෙතරම් ලාභ ඉපයුවද ඩීසල් දුම විමෝචනය වීමට අදාළ පරීක්ෂණයට තම වාහන අසු නොවන්නට වංචාකාරීව ප්‍රයෝගයක් කළේය යන චෝදනාව නිසා ෆොක්ස්වාගන් සමාගම ලෝකාපවාදයට ලක් වී ඇත. එක්සත් ජනපදයේ (Clean Airact) වායු පවිත්‍රතා පනතේ වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් 2015 සැප්තැම්බර් මාසයේ මෙම සමාගමට එරෙහිව පැවරූ නඩුවේදී සමාගම වරද පිළිගෙන තිබේ.

මෙම අවමානය මකා ගැනීමේ පියවරක් ලෙස බීට්ල් රථය නිෂ්පාදනය කිරීම 2019 නවතාලන්නට සැලසුම් කළේද යන්න ගැන සැකයක් මතු වන්නේ සමාගමේ අමෙරිකානු ප්‍රධානී - හයින්රිච් වෝ බෙකන් (Hinrich Woebckon) ඊට අදාළව කර ඇති ප්‍රකාශය හේතුවෙනි. ඔහු කියා ඇත්තේ බීට්ල් රථය වෙනුවට වායුදූෂණය සිදු නොවන, විද්‍යුතයෙන් දුවන අළුත් රථයක් නව පරම්පරාවට හඳුන්වාදෙන බවයි.

කෙසේ වුවද ඈත සිටින අපටද බීට්ල් රථය නිපදවීම නවතාලීමේ ආරංචියෙන් සමීපතමයකු නැතිවන්නා සේ හැඟීමක් ඇතිවන්නේය. රැපියල් ලක්ෂ දෙකහමාරේ පමණ සිට ලක්ෂ දහය දක්වා ශ්‍රී ලංකාව තුළ අලෙවි වන පරිහරණය කරන ලද බීට්ල් රථයේ මිල කෙරෙහිද මෙම තීරණය මඳකින් හෝ බලපාන බව සිතිය හැකිය.

♦ සමන් පුෂ්ප ලියනගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05