2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

කොළඹ පොත් දැක්මට ආපු ඇත්තන්ගේ කතා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

පසුගිය සැප්තැම්බර් 21දා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව මහා ජනසන්නිපාතයකින් පිරී යන්නට විය. ඒ වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසාය. දින 10ක් පුරා (30දා දක්වා) උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා අඛණ්ඩව මේ ජන ගංගාව ගලා ඒම සිදුවේ. කොළඹ අවටින් පමණක් නොව මහනුවර, අනුරාධපුර, බදුල්ල වැනි ප්‍රදේශවල සිටත් පොත් ප්‍රදර්ශනයට පැමිණ පොත් මිලදී ගෙන දවසක් එම භූමියේ ගතකර යෑමට විශාල පිරිසක් පුරුදුව සිටිති. සමහරු පොත් මිලදී ගැනීමට වාර්ෂිකව කැටයකට මුදල් එකතු කරති. ඒ මුදල් රැගෙන පොත් සැණකෙළියට පැමිණෙති. නූඩ්ල්ස් කමින්, තේ, කෝපි හෝ සිසිල්බීම පානය කරමින් ප්‍රදර්ශන භූමියේ හැසිරෙති. යාලු මිත්‍රයන් හමුවෙති. කතුවරු හඳුනාගෙන ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමටත් සමහරැ පුරුදුව සිටිති.

පොත් ප්‍රදර්ශන කුටිවලට අමතරව ගායන ප්‍රසංග, නාට්‍ය සංදර්ශන, පොත් එළිදැක්වීම්, සාහිත්‍ය සංවාද තැන තැන දැකගත හැකිය. බොහෝ පිරිස් නූඩ්ල්ස් මිලදී ගැනීමටද පෝලිම් ගැසී සිටිනු අපි දුටුවෙමු. පොත් මිලදීගෙන පැමිණෙන දහස් ගණන් පිරිස අතරින් අපි එක් පාඨකයකුට කතා කළෙමු. ඔහු සෙත්සිරිපායේ සේවය කරන රාගම පදිංචි මහින්ද තෙන්නකෝන්ය. මහින්ද පොත් ගැනීමට පැමිණ සිටියේ සිය බිරියත් සමඟය.

මේ පාර පොත් හරි ගණං. අපි හැම අවුරුද්දකම සල්ලි එකතු කරලා පොත් ගන්න එනවා. රු.25,000ක විතර පොත් ගන්නවා. නමුත් මිල ගණන් වැඩිවී ඇති හින්දා මේ පාර ගන්න ලැබුණු පොත් ප්‍රමාණය අඩුයි. මේක ඇත්තටම පොත් දිහා බලලා අතගාලා කෙළ හලලා එන්න පුළුවන් පොළක් වගේ තැනක්. මෙතැනදී දෙන ඩිස්කවුන්ට් එක පොත් සාප්පුවකට ගියත් ලැබෙනවා. නමුත් පොත් ප්‍රදර්ශනයෙන් පොතක් ගන්න එකේ වෙනසක් තිබෙනවා. මෙතැනට එන පිරිස පොත්වලට කැමැති විනයක් තිබෙන කණ්ඩායමක්. ඉතින් ඔවුන්ට ආහාර සැපයීමේදී තරමක් අඩු මිලකට ලබාදිය හැකි නම් ඒක ලොකු දෙයක්. කෑම බීමවල මිල වැඩියි.

අපි මහින්දගෙන් සමුගෙන සිරිමා බණ්ඩාරනායක ශාලා පරිශ්‍රය දෙසට ගමන් කළෙමු. පෙම්වතුන් අත්වැල් අල්ලාගෙන යන අයුරුද කුඩා දරැවන් ගිනි අව්වේ අයිස්ක්‍රීම් රස කරමින් තලු මරන අයුරුද දැක ගැනීමට හැකි විය. ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මානවලට නිර්දේශ වුණු කෘති පිළිබඳ දැන්වීම් පුවරු තැන තැන සවිකර තිබුණි. මෙවර හොඳම කවියා ලෙස රජත පුස්තක සම්මානය හිමිවුණු ළහිරු කිතලගම තරුණ කවියා හමුවුණේ සිරිමා බණ්ඩාරනායක ශාලාව අසල පිහිටි ප්‍රධාන එළිමහන් වේදිකාව අසලදීය. වේදිකාවේ කෙටිකතා කලාව පිළිබඳ කතිකාවක් පැවැත්වෙමින් තිබුණි. ළහිරැ අපට කිව්වේ මෙවැනි අදහසකි.

මම පසුගිය දවස් හතරක්ම ප්‍රදර්ශනයට ආවා. කවිපොත් සල්පිල අසල වගේම ප්‍රදර්ශන භූමියෙත් ඇවිද්දා. යාළුවන් හමුවුණා. පොත් නම් තවම මිලදී ගත්තේ නැහැ. මේ වගේ තැනකට හුඟදෙනෙක් එන්නේ විනෝද වෙන්න. ඒ වගේ කලබලකාරී පරිසරයක නිදහසේ පොත් මිලදී ගත හැකිද කියන ප්‍රශ්නය එනවා. සම්මාන ලැබුණු පොත් ගැන ජනතාව උනන්දු වෙන බව පේනවා. දැන් රු.1000/- 2000/- වගේ මුදලකින් ගන්න පුළුවන් පොතක් දෙකක් පමණයිනේ. ඒක මේ මොහොතේ පවතින රටේ අර්බුදය පෙන්වනවා. සමහරැන්ට විවේචන තිබෙනවා මේක ව්‍යාපාරික අරමුණක් බව. නමුත් මේ අවකාශය සැලසීම හරිම වටිනවා. දුර පළාත්වලින් බස් අරගෙන සෙනඟ ප්‍රදර්ශනයට එනවා. ඒ වගේ සංස්කෘතික අවකාශයක් සාධනීය බවයි මම හිතන්නේ. පොත් ප්‍රදර්ශනය විවේචනය කරන ලේඛක පිරිසක් ඉන්නවනේ. හරිනම් ඔවුන් තමාගේ පොත් ප්‍රදර්ශනයේ අලෙවියෙන් ඉවත් කරගත යුතුයි.

ළහිරැ අවසානයට කියූ අදහස නම් කෙරෙන වැඩක් නොවන බව අපට සිතුණි. ප්‍රදර්ශනයට බණින කිසි කෙනෙක් තමා ලියූ පොත් අලෙවි කුටිවලින් ඉවත්කර ගැනීමට නම් සිතන්නේ නැත.

ලංකා ලේඛක සංවිධානය පවත්වන සාහිත්‍ය සංකථන මණ්ඩපය වේදිකාවේ පැවැත්වේ. බොහෝ පිරිසක් එය දෙස බලා සිටිති. නමුත් සාකච්ඡාවලට සහභාගී වීමට තරම් විශ්‍රාමයක් නම් ඔවුන්ට ඇති බවක් නොපෙනේ. ලංකා ලේඛක සංගමයේ ලේකම් කමල් පෙරේරාගෙන් අපි ඒ ගැන ඇසුවෙමු.

ඕනෑම රසිකයකුට, පාඨකයකුට ගැලපෙන විදිහටයි අපි වැඩසටහන් පෙළගස්වා තිබෙන්නේ. ගැඹුරැ සාකච්ඡා විදිහට නොවේ. මෙතැන වැඩසටහන්වලට හුඟදෙනෙක් ආවත් ඔවුන් මේ සංවාදවලට එක්වීමට කැමැති නැති බව පේනවා තමයි. මේ සංකථන මණ්ඩපය දවස් 6ක් පැවැත්වෙනවා. ඒ අතරින් දෙමළ ජන ගී, කවි හා දෙමළ ළමා වැඩසටහන් හුඟ දෙනෙක්ගේ ප්‍රසාදයට ලක්වුණා. දෙමළ ලේඛකයන්ට සහ රසිකයන්ට එය හොඳ අවස්ථාවක් වුණා.

ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ සරසවි ප්‍රකාශකයන් නිසා ඔවුන්ට වෙන්වුණු අලෙවි කුටි කිහිපයක්ම දැකගත හැකිය. මෙවර ස්වර්ණ පුස්තක සම්මානයද හිමිවුණේ සරසවි ප්‍රකාශනයක් වන සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චි ඇවිත් නවකතාවටය. සරසවි ප්‍රදර්ශන කුටියක් අසලදී අප සමඟ අදහස් දැක්වූයේ එහි ප්‍රකාශන නිලධාරි ශ්‍රීපාලි පෙරේරායි. බ්‍රහස්පතින්දා දිනය වනවිට අප්පච්චි ඇවිත් නවකතාවේ පිටපත් 16,000ක් විකිණිලා තිබෙනවා. ප්‍රදර්ශනය අවසන් වනවිට පොත් 20,000ක් පමණ අලෙවි වේවි කියා සිතනවා. මේ පොතට පාඨකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. එය රසවත්, කියවිය හැකි නවකතාවක් වීමත් එයට ප්‍රධාන හේතුවක්. අපගේ අනෙක් අලුත් ප්‍රකාශන අතරින් ප්‍රභාත් ජයසිංහගේ ස්වර්ණකාය කෙටිකතා පොතත් ශමෙල් ජයකොඩිගේ වීනස්ගේ උපත නවකතාවටත් ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඔහු පැවසූ කරුණු සිහිපත් කරමින් අපි සරසවි ප්‍රකාශන කුටියකට ඇතුළු වුණෙමු. එහි අප්පච්චි ඇවිත් නවකතාව අලංකාර ලෙස ප්‍රදර්ශනය කර තිබුණි. එහි කතුවර සමන් වික්‍රමාරච්චි ලේඛක පාඨක හමුවට සහභාගි වෙමින් සිටියේය. බොහෝ පාඨකයෝ තමන් මිලදී ගත් ඔහුගේ නවකතාවට සමරැ අත්සන් යොදා ගනිමින් ඔහු හා කතා කරමින් සිටියහ.

සූරිය ප්‍රකාශන අලෙවි කුටියේදී අපට හමුවූයේ එහි අධිපති අතුල ජයකොඩිය. අප යනවිට ඔහු පාඨකයන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් සිටිනු පෙනුණි. අද ඩොලරය ඉහළ ගිහින් නිසා මුද්‍රණ කඩදාසිවල පටන් සෑම අමුද්‍රව්‍යයක්ම මිල නැගලා. එහෙම තියෙද්දිත් අපහසුවෙන් තමයි මේ ගාණට පවා පොත් මිල කර තිබෙන්නේ. ප්‍රදර්ශනයට සෙනඟ පැමිණීමේ අඩුවක් දකින්න අමාරුයි. පසුගිය පෝය දිනයේ විශාල සංඛ්‍යාවක් පැමිණියා. තෙරපුණා. එහෙම තෙරපීමක් නැතිව සතියේ දිනවල පොත් ගැනීමට ඉඩ ලැබුණා. ඒ වගේ දවස්වල පොත් අලෙවිය වැඩි බවයි මට පේන්නේ. ප්‍රදර්ශනයට හැමදාම එන්න පුරැදු වුණු පිරිසක් ඉන්නවා. ඔවුන් දූ දරුවන් සමඟ ඇවිත් හැමදාම පොත් ගන්නවා. ස්වර්ණ පුස්තක සම්මාන ලැබුණු හා නිර්දේශ වුණු අපේ ප්‍රකාශනවලට (ස්වයංජාත, සිටුවර පුවත, වණ්ණදාසී) තවමත් ලොකු ඉල්ලුමක් තිබෙනවා.* අතුල ජයකොඩි පැවසුවේය. 

සූරිය අලෙවි කුටියට නුදුරින් පිහිටි දයාවංශ ජයකොඩි ප්‍රදර්ශන කුටියට අපි ගියේ ඉන්පසුවයි. ජයකොඩි සෙනෙවිරත්නගේ නවකතා සොයමින් එන පාඨක පිරිසක් එහිදී දැකගැනීමට ලැබුණි.

එහිදී හමුවූ ප්‍රකාශක දයාවංශ ජයකොඩි මෙසේ පැවසුවේය. ගිය අවුරුද්දට වඩා මේ පාර සෙනඟ හුඟක් වැඩිපුර පැමිණි බවයි මට පේන්නේ. පොත් මිල තරමක් වැඩිවුණත් පාඨකයා ඒක ගණන් අරගෙන නෑ. හැබැයි ඉතින් ප්‍රදර්ශන කුටියට 100 දෙනෙක් ආවොත් 10ක් තමයි පොත් මිලදී ගන්නේ. හුඟ දෙනෙක් පොත්පත් අතපත ගාන්න කැමැතියි. මම නම් කියන්නේ ඒකත් හොඳ දෙයක් බවයි. හැමදාම වගේ මේ පාරත් ජයකොඩි සෙනෙවිරත්නගේ පොත්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ප්‍රේමකීර්ති රණතුංගගේ අවසාන නින්දගම හා ඔහුගේ අලුත් නවකතාව වන මලබාර් නෑයෝ පොතටත් ඉල්ලුමක් තිබෙනවා.

පොත් ප්‍රදර්ශනයේ කවිපොත් සල්පිල පිහිටි ස්ථානය කවියට ලැදි තරැණ පිරිස් මෙන්ම ප්‍රවීණ ලේඛකයන් අතරද ජනප්‍රිය ස්ථානයකි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ලබාදී ඇති ඉඩකඩක ක්‍රියාත්මක මෙහි තරුණ හා ප්‍රවීණ කවීන්ගේ කවිපොත් රාශියක් අළෙවියට තබා තිබුණි. මෙවර අලෙවියට ලැබී තිබුණු කවිපොත් සංඛ්‍යාව ප්‍රමාණයෙන් විශාලය. අප එහි යනවිට එහි පොත් අලෙවි කරමින් සිටියේ සම්මානනීය ලේඛක හා කවියකු ද වන අනුරසිරි හෙට්ටිගේය. ඔහු අපට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

වැඩියෙන්ම විකිණෙන්නෙ රජත පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණු හා නිර්දේශවුණු කවිපොත්. ළහිරැ කිතලගමගේ කවුළු ඇස පාමුල, ආරියවංශ රණවීරගේ තවමත් මල්, සුනිල් විජේසිරිවර්ධනයේ ගිරිමුදුන මගේ නිවහන, රත්න ශ්‍රී විජේසිංහගේ වස්සානෙන් පසු ඒ පොත් අතර තිබෙනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ හා රුවන් බන්දුජීවගේ කවි පොතුත් වැඩිපුර අලෙවි වන පොත් අතර තිබෙනවා. මුහුණු පොතේ ජනප්‍රිය කවි කිවිඳියන්ගේ පොත්වලට විශේෂ ඉල්ලුමක් තිබෙන බව පේනවා. බොහෝ කවි රසිකයන් විවේක ගන්නා තැනක් බවටත් කවි පොත් සල්පිල පත්වෙලා.

පතපොත සාහිත්‍ය ගැන කතා කරමින් සිටි අපි කමත එළිමහන් වේදිකාවට ගොස් කොන්ක්‍රීට් අසුනක හිඳගත්තේ වාද බයිලාවක රස විඳීම සඳහාය.

 කුසුම්සිරි විජයවර්ධන
   සේයාරූ: සුමුදු හේවාපතිරණ