2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

අවුරුදු දහයෙදි අරාබි රස්සාවට ගිය නමක් නැති දැරිය

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

අප රටේ අලුත උපන් දරුවෙකුට නම් තබන්නේ , එම දරුවාගේ මාපියන්ගේ මැදිහත් වීමෙන්, උපන් වේලාව ආදිය සලකා බලා සුභ අක්ෂර මුල් කර ගනිමින්ය. එහෙත් ත්‍රිකුණාමලය, කින්නියා, කිල්ලන්චිකර්නි, මහත්නගර් ප්‍රදේශයේ ඉපදී, හැදී වැඩුණු දස හැවිරිදි දැරියක වන ඇය, අබ්දුල් මොහොමඩ් ලෙස නම් තබන්නේ ප්‍රදේශයේ සුප්‍රකට රැකියා ඒජන්සිකරුවකු විසිනි.

මේ වනතුරුත් ඇයගේ මාපියන් විසින් තැබූ සැබෑ නම, උපන් දිනය ඇතුළු වැදගත් කරුණු නොදන්නා ඇය, මෙම නම සිතේ රඳවා ගත්තාය. උපතින්ම ඉස්ලාම් ලබ්ධිකයකු වූ ඇය මොහොමඩ් යනුවෙන් නම් කිරීමට උචිත යැයි ඔහු සිතුවා මෙන්ම, ඔහුගේ ඉලක්කය වූ මැදපෙරදිග මුස්ලිම් රාජ්‍යවලට ඒ නම වඩාත් සමීපවීම, ඇය අබ්දුල් මොහොමඩ් යනුවෙන් නම් තැබීමට එම රුකියා ඒජන්සිකරුවා පෙළඹ වූ දෙවැනි කාරණය විය හැකිය.එමෙන්ම අබ්දුල් මොහොමඩ් යන නම පිරිමින් සඳහා යොදන  නමක් වන අතර, හදිසියකදී අවශ්‍ය වුවහොත් ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහාද මේ නම කදිම ලෙස භාවිත කළ හැක්කක් වීම මෙම නම් තබන්නාගේ තෙවැනි අපේක්ෂාව වූවා විය හැකිය. 

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ මෙම ගම්මාන පුරවරය, අතිශයින්ම දුප්පතුන්ගෙන් පිරී ගිය ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ පදිංචි කිසිවෙකුටත් ස්ථිර රැකියා හෝ ස්ථිර ආදායම් මාර්ග නොමැත. ප්‍රදේශයේ පිරිමින් රැකියා සඳහා කුලියට වැඩ කරන අතර, ඇතැම් පිරිමි කුලියට මාළු ඇල්ලීම සඳහා පිටත්ව යති.

ප්‍රදේශයේ පෙනෙන තෙක් මානයේ පවතින්නේ කුඩා පැල්පත් නිවාසයි. සීනි කිලෝවකට, තේ කොළ ග්‍රෑම් 100 කට ගැහැනුන් විකිණෙන තරමට ඔවුහු දුප්පත්කමින් මිරිකී සිටිති. මෙම අබ්දුල් මොහොමඩ් ගේ පියා කුලී වැඩ තම රැකියාව සඳහා කළ අයකු වන අතර, දැන් මහලු වයසේ පසුවේ. ඔහු විවාහයන් දෙකක් සිදු කරගෙන ඇති අතර මෙම අබ්දුල් මොහොමඩ් ඔහුගේ දෙවැනි විවාහයේ දරැවෙකි. ඇයගේ මව අසල වෙරළින් අහුලා ගත් සිප්පි කටුවලින් රැකියා කර පවුල ජීවත් කරවයි.
මෙවන් පසුබිමක හැදී වැඩෙන අබ්දුල් මොහොමඩ් විදේශ රුකියාවක් සඳහා පිටත්ව යෑමට සූදානම් වන්නේ වයස අවුරුදු 10ක තරමේ කාලයේදීය. එහෙත් ඇයගේ වයස වත් හරි හැටි නොදන්නා ඇය, එම රැකියා ඒජන්සිකරුවන් විසින් සකස් කර දුන් ව්‍යාජ උප්පැන්න සහතිකයේ සඳහන් කර ඇති පරිදි එය 2000 වසරේ සැප්තැම්බර් මාසයේ දිනයක්ය.

ඇය මේ සඳහා පුහුණුවීමට ත්‍රිකුණාමලය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානය වෙත යන අතර, එහිදී කල්ල පාස්පෝට්. නී පෝ... නී පෝ. (ඔයා ළඟ තියෙන්නෙ බොරැ පාස්පෝට් එකක්. ඔයා යන්න... ඔයා යන්න... ඔයා තවම බබෙක්.) යනුවෙන් පවසමින්, එම නිලධාරීන් ඇයව එම පුහුණුවෙන් නෙරපා හැර තිබේ.

පසුව එම රැකියා ඒජන්සිකරැවන් ඇය බදුල්ල පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු කර, අදාළ පුහුණුව ලබා දී මුලින්ම සෞදි අරාබිය වෙත ගෘහසේවය සඳහා පිටත් කර තිබේ. එහිදී ඇය මෙම ව්‍යාජ ලිපි ලේඛන සියල්ල මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී එසේ සෞදි අරාබිය වෙත පිටත්ව ගොස් ඇතැයි කියති. එහි වසර දෙකක සේවය කර පැමිණි අබ්දුල් මොහොමඩ් ඉන්පසු කුවේටයේ රැකියාවක් සඳහා යළිත් පිටත්ව යයි. එහිදී ඇය අවුරැද්දයි මාස 09 ක පමණ කාලයක් සේවය කරමින් සිටියදී ඇති වූ හිරිහැර, ගැටලු මත යළිත් ශ්‍රී ලංකාවට පැමිණියාය. එහිදී තම ගමට කුලී වැඩ සඳහා පැමිණෙන, එහෙත් තවමත් නම නොදන්නා පුද්ගලයකු සමඟ එකට ජීවත් වීම ආරම්භ කර තිබේ. ඒ නිත්‍යනුකූලව විවාහ වීමෙන් නොවේ.

මෙම සිදුවීමෙන් කලකට පසුව ඇය දුවකු බිහිකළ අතර ඇයට අවුරුද්දක් පමණ වයසක් ගත වෙත්දී එම සැමියා අබ්දුල් මොහොමඩ් සහ දුව අතහැර දමා ගියේය. පසුව එම දරුවාත් තම මව භාරයට පත් කළ ඇය පසුව හඳුනාගත් සනාන් නැමති අයකු සමග යළිත් එකට ජීවත්වීම ආරම්භ කර තිබේ. ඒ අතරතුර යළිත් පෙර රැකියා ඒජන්සිකරැවන් මගින් අබ්දුල් මොහොමඩ් විදෙස් ගතවීම සඳහා සිය නිවෙසින් පිටත් වූවාය.

ඇයගේ දෙවැනි සැමියා වූ සනාන්, ඇය තෙවැනි වර විදේශ ගත වීම සඳහා නිවසින් පිටත්ව යන විට 1919 හදිසි පොලිස් දුරකථන මධ්‍යස්ථානයට ළාබාල දැරියක් මෙසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර විදේශ ගතවීම සඳහා පිටත්ව යන බවට පැමිණිලි කළ ද, අබ්දුල් මොහොමඩ්ගේ පවුල් පසුබිම් වාර්තා අනුව ඇය තවමත් අවිවාහක කාන්තාවක් වීම නිසා මෙම පැමිණිල්ල පොලිසිය විසින් බැහැර කර තිබේ.

මේ සියලු බාධකයන් මඟහරිමින්, අබ්දුල් මොහොමඩ් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙමින් තෙවැනි වරට ඕමානය වෙත ගෘහ සේවය සඳහා ළඟා වූවාය. එහිදී මාස කීපයක් ගත වත්ම, ඇය සේවය කළ නිවසින් අබ්දුල් මොහොමඩ්ට හිරිහැර, කරදර එල්ලවීමට පටන් ගැනීමත් සමඟ ඇය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් මාස කීපයක්ම ගත කළාය. එහිදී ඇය ඇයගේ මෙම කථාව එහි රැඳී සිටි කාන්තාවන් පිරිසක් සමඟ කියන්නට වූවාය. එය අසා සිටි එම පිරිස අතර සිටි බුද්ධිමත්, වගකීමක් සහිත කාන්තාවක්, සියල්ලන්ටම හොරෙන් මෙම කථාව, ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ඒකකය වෙත නිර්නාමික පැමිණිල්ලක් කළාය.

ඒ ඇසුරෙන් මාස 04ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පරීක්ෂණ පවත්වා මෙම අබ්දුල් මොහොමඩ් 9/19 දින උදෑසන 7.20 ට ඕමානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. - 371 දරන ගුවන් යානයෙන් මෙරටට ගෙන්වා ගනු ලැබීය. ඉන්පසු ඇය කොළඹ වෛද්‍යවරුන් පිරිසක් හමුවට යොමුකර පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී ඇයගේ දැන් වයස අවුරුදු 17 ත්, 18 ත් අතරේ පවතින බව එම වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. අබ්දුල් මොහොමඩ් මේ ආකාරයට ව්‍යාජ ලිපි - ලේඛන යොදා ගනිමින් තුන්වරක් විදේශ ගත කළ මෙම රැකියා ඒජන්සිය, අප රට තුළ පමණක් නොව මුළු ලෝකයම දන්නා සෞදි අරාබියේදී හිස ගසා මරාදැමූ රිසානා දැරිය එරටට යැවූ රුකියා ඒජන්සියම බව හඳුනාගෙන තිබේ. දැනට එම රුකියා ඒජන්සියේ වගකිව යුතු නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ආකාරයට මෙම රුකියා ඒජන්සිය මගින් මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් යොමුකර ඇති අතර, එයින් තවත් පිරිසක් එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බව අනාවරණය වී ඇති අතර ඕමානයේ පමණක් එවැනි දැරියන් 12 දෙනෙකු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින බව අබ්දුල් මොහොමඩ් පවසා තිබේ.

 කටුනායක ටී.කේ.ජී. කපිල